වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




 අර්ජුන්ගෙන් අහන්න

 අර්ජුන්ගෙන් අහන්න

සිනමා, කලා පිළිබඳ ගැටලු විමසන්නට ඔන්න නැවතත් අවස්ථාව එළැඹිලා. ඔබ කළ යුත්තේ ඔබේ ගැටලු තැපැල් පත් මගින් අර්ජුන්ගෙන් පැන විසඳුම් සරසවිය, ලේක්හවුස්,කොළඹ ලිපිනයට එවීමයි. විජය රඟපෑ ‘මං මුලා වැල්’ චිත්‍රපටය තිරගත නොවුණ හේතුව කුමක්ද?

අජිත් ජෝතිය කරසිංහ

චිත්‍රපටය සම්පූර්ණයෙන්ම වැඩ නිම වුණ වග ආරංචියි. එහි රඟපෑ විජය කුමාරතුංග, ධම්ම ජාගොඩ, යූ. ආරියවිමල්, නිෂ්පාදක මුනිදාස ද සිල්වා වැන්නවුන් මිය ගියා. එහෙත් එය නිර්මාණය කළ තිස්ස අබේසේකරයන් පසු කලෙක මේ ගැන කියා තිබුණේ විජයගේ හඬට සමාන හඬකින් දෙබස් කවන්නට අකැමැති නිසා එහි දෙබස් කවන්නට ඔහුට හිත හදා ගත නොහැකි බවයි. කොහොම වුණත් දැන් තිස්ස අබේසේකරයනුත් අප අතර නැහැ.


කුස ජාතකය ඇසුරෙන් හින්දි හා ද්‍රවිඩ චිත්‍රපට නිෂ්පාදනය වී තිබේද?

සුමිත් සුදර්ශන වතුරුගම

කුස ජාතකය ඇසුරින් නොවුණත් සුරූපී හා විරූපී බව පසුබිම් කරගෙන බොහෝ කතා අතීතයේ පටන් සාහිත්‍යයට මෙන්ම සුරංගනා කතාවලටත් පාදකව තිබෙනවා. ‘බියුටි ඇන්ඩ් ද බීස්ට්’ නමැති සුරංගනා කතාව ඇසුරෙන් තැනුණ චිත්‍රපට මාලාව එයට උදාහරණයක්. 1983 දී පමණ ‘සිරියානෝ ඩි බර්ජෙරැක් නම් සුප්‍රකට ප්‍රංශ චිත්‍රපටය තැනුනෙත් කැත නාසයක් සහිත මිනිසකුගෙ පෙම් කතාවක් පාදක කොට ගෙනයි. ‘සාජන්’ චිත්‍රපටයේ සංජේ දත් පාදය නොන්ඩි ගසන්නේ එය ඉහත චිත්‍රපටය අනුකරණය කළ නිසා බැව් එකල පළ වුණා මට මතකයි. ජාතක පොතින් උපුටා නොගත්ත කුස - පබා වර්ගයේ කතන්දර ලෝක සිනමාවේ බොහෝ විට දැක ගත හැකියි. හේතුව මේ තේමාව විශ්ව තේමාවක්.


දේශීය නළු නිළියන්, ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන් රාත්‍රියටත් අව් කණ්ණාඩි පළඳින්නේ ඇයි?

සමන් ගාල්ලගේ

කැටපල

ඒ ඔවුන් ඔබට හොඳීන් නිරාවරණය වන නිසා විය යුතුයි.


එච්. ආර්. ජෝතිපාලයන් සහ ඇන්ජලින් ගුණතිලක ගයන ‘රුවන් වලා විමානේ’ ගීතය රැගත් චිත්‍රපටය කුමක්ද?

පාලක සමන් පෙරේරා

අල්විස් ටවුම, හැඳල

අම්මෙ ඔබ නිසා චිත්‍රපටය.


නැසීගිය සංගීතවේදී, ගුවන් විදුලි ගායන ශිල්පී සුනිල් ශාන්තයන් ගායනා කරන ‘කෝකිලයන්ගේ කෝකිල නාදේ, ලංකා ලංකා පෙම්බර ලංකා’ නම් වූ ගීතයන් ද්විත්වයේ ගේය පද රචනය කාගේද?

ඩී. එම්. සුනිල් ශාන්ත දිසානායක

රත්මල්ගාර

කෝකිලයන්නේ – හියුබත් දිසානායක ශූරීන්ගේ.

ලංකා ලංකා - අරිසෙන් අහුබුදු ශූරීන්ගේ.


2012. 04. 12 වැනි දින පළ වූ සරසවිය පුවත්පතේ මෙතෙක් හොඳම නළුවන් ලෙස තේරී පත් වූ කලා ශිල්පීන් දුටු විට විශිෂ්ට රංගන ශිල්පීන් දෙදෙනෙක් මා හට සිහි විය. ඒ ටෝනි රණසිංහයන් හා විජය කුමාරතුංගයි. ඇයි ඔවුන් දෙදෙනාට හොඳම නළුවා සම්මානය නොලැබුණේ?

අජිත් ලක්මාල් කට්ටුව, මීගමුව

සම්මාන පිදෙන්නේ ඒ ඒ වසරයන්හී තිරගත වන චිත්‍රපටවල වඩා හොඳම රංගනය උදෙසා ජූරිය මඟින් නිිර්දේශ කරන රංගන ශිල්පීන්ටයි. මේ නිසා අපේ රටේ සිටින අග්‍රගණ්‍ය නළුවකු වන ටෝනි රණසිංහයන්ට හෝ ජනකාන්ත නළුවකු වූ විජය කුමාරතුංගයන්ට හොඳම නළුවා සම්මානය ඇතැම් විට ලැබී නැහැ.

එහෙත් සම්මාන නොලැබූ පමණින් ටෝනි වැනි නළුවන් මෙරට අග්‍රගණය රංගධරයකු නොවැන්නේ යැයි කිසිවකුට කියන්න බැහැ. ඊට හේතුව නළුවකුට වාර්ෂිකව සම්මාන පිදෙන්නේ එම වසර තුළ කෙරෙන රංගනයන් උදෙසා පමණි. පොදුවේ ගත් කළ මේ රංගධරයන් දෙදෙනාගේ රංග ප්‍රතිභාව හැම විටම අගය කෙරෙනවා. මේ තත්ත්වය ලංකාවේ පමණක් නොව පොදුවේ ලෝකයේ වෙනත් රටවලද විශිෂ්ට නළුවන්ටත් සිදු වී තිබෙනවා.


රුක්මණී දේවිය රංගනයේ යෙදෙමින් ගායනා කළ ගීත අඩංගු චිත්‍රපට මොනවාද?

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද, මොරටුව

කඩවුන පොරොන්දුවේ සිට අහසින් පොළොවට චිත්‍රපටය දක්වා ඇය රඟපෑ හැම අවස්ථාවකම ඇයගේ රංගනය වෙනුවෙන් ඇයට ගී ගායනා කළේ රුක්මණී පමණයි.


වාරණයට ලක්ව තිබූ සත්‍යජිත් මාඉටිපේ ගේ’බොර දිය පොකුණ’ චිත්‍රපටයේ වාරණයෙන් නිදහස් වූ බව සරසවිය පුවත්පතේ පළ වූවා. එය අපට නැරැඹිය හැකිද?

ආනන්ද ප්‍රනාන්දු

නිට්ටඹුව

ඉදිරි අනාගතයේදී දැක ගත හැකි වේවි.


ද්‍රවිඩ සිනමාවේ පී. භානුමතී ගැන විස්තරයක් කරන්න.

වියානි ගුණවර්ධන, ශීලා වැන්ඩලින්

වෙන්නප්පුව

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ තෙළිඟු පවුලක උපත ලද පී. භානුමතීගේ සැබෑ නම පාලුවායී භානුමතී රාමක්‍රිෂ්ණායි. ඇය සිනමාවට එක් වන්නේ 1935 දීයි. එමෙන්ම තෙලිඟු සහ දෙමළ චිත්‍රපට දෙසීයකට අධික ප්‍රමාණයක රංගනයෙන් මෙන්ම, අධ්‍යක්ෂණයෙන්, ගායනයෙන්, සංගීත අධ්‍යක්ෂණයෙන්, තිර රචනයෙන්, නිෂ්පාදනයෙන් චිත්‍රාගාර නිරමාණයෙන් ඇය සිනමාවට මහඟු සේවක් කළා. ඇයගේ මුල්ම චිත්‍රපටය වූයේ ‘වාරවිකයමි’ නැමැති චිත්‍රපටයයි.

ස්වර්ගයිම්, ක්‍රිෂ්ණ ප්‍රේම්, චණ්ඩිරාණි, මල්ලිෂ්වරී වැනි චිත්‍රපට රැසක රඟපෑ ඇය කලක් ඉන්දියාවේ පූනාහී චිත්‍රපට ආයතනනයේ කථිකාචාර්යවරියක් ලෙස ද කටයුතු කළාය. එමෙන්ම ඇයගේ ස්වයං චරිතාපදානය ‘නාලෝ නේත්‍ර’ නමින් ප්‍රකාශයට ද පත් කළා.

ඇයට අන්ද්‍රා ප්‍රදේශයේ සාහිත්‍ය සමිතියෙන් හොඳම කෙටි කතා රචිකාවකට හිමි සම්මානය ද ලැබුණා. ඇය විවාහ ගිවිස ගෙන සිටියේ පී. එස්. රාම ක්‍රිෂ්ණ රාවෝ සමඟයි. ජනප්‍රිය භරනි පික්චර්ස් සමාගම පිහිට වූයේ ඔවුන් දෙපොලගේ පුතුගේ නමිනි.

එමෙන්ම ඉන්දියාවේදී සිවිල් පුරවැසියෙකුට පිදෙන ඉහළම තුන් වැනි සම්මානය වන ‘පද්ම භූෂන්’ සම්මානය මෙන්ම ඇය හොඳම නිළිය උදෙසා සම්මාන රාශියක් හිමි කර ගත්තීය. ඇය 2005 දෙසැම්බර් 24 ජීවිතයෙන් සදහටම සමු ගත්තේය.


‘දූවරු’ ටෙලි නාට්‍යයට අමතරව ජයරත්න ගලගෙදර රඟපාන වෙනත් නිර්මාණ තිබේද?

ගිල්බට් පෙරේරා

තලවතුගොඩ

සිහින පුරය කප්සුවහස්කල් ඇතුළු ටෙලි නාට්‍ය විතරක් නොවේ, ඔහු රඟපාන චරිතත් ගොඩාක් තියෙනවා. ඒ හැම එකක්ම විස්තර කරන්න අමාරුයි ගිල්බට්.