වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




සුබ උපන් දිනයක් මාලිනී !

සුබ උපන් දිනයක් මාලිනී !

ලෝකය රඟ මඬලකි. අපි එහි නළුවෝ වෙමු. එහෙම කිව්වේ ශේක්ෂ්පියර් බව ඇත්තය. එහෙත් මේ රඟ මඬලේ ජීවත්වන හැමෝම නළුවෝ ලෙස ඉස්මතු නොවෙති. ඔවුන් ජීවිතයේ විවිධ ඉසව්වන්හි ජීවත්වීම වෙනුවෙන් විවිධ භූමිකාවන් මවනු ලබන බව ඇත්තය. එහෙත් ඔවුහු නළු නිළියන් ලෙස සාමාන්‍යයෙන් හඳුන්වනුයේ නැත. එහෙත් ජීවන වෘත්තියක් ලෙස හෝ ආත්ම තෘප්තිය උදෙසා රංගනයේ යෙදෙන කලාකරුවන් අතරෙහි ලා ගැනෙන රංගධරයන් නැතහොත් රංගවේදිනියන් අප හැමගේම ජීවිතය ස්පර්ශ කොට අපේම සතුට ද කඳුළ ද කැටි කොට යළි අපටම ජීවිතය මේයැයි පුද කොට පසක් කොට සිටී.

ලාංකික සිනමාවේ මතු නොව ලෝක සිනමාවේ ද අප දකින මහා රංගධරයන්ගේ රංගාවේෂයන් තුළ අප දකින්නාවූ ද විඳින්නාවූ ද පරම සත්‍යය එය වන්නේය. සමහර විට ඔවුනගේ ජීවිතයේ සැබැවින් ඇති හැඟීම් හෝ සිතුවිලි අපට ද දායාද නොකොට ඔවුහු මිනිස් ජීවිත හා සිදුවීම් පරාරෝපණය කරති. මේ පිරිස වූ අතළොස්සක් සැමවිටම අප බුහුමණට පාත්‍ර වනුයේ ඔවුන් එම කලාව උදෙසා කරනු ලබන අප්‍රමාණ වූ කැපවීම සලකා බැලීමෙනි. අප විසින් මේ ලිපිය ලියනු ලබනුයේ එබඳු නිළියකගේ ජන්ම දිනය වෙනුවෙනි. එය යෙදෙනුයේ මෙම තිස් වැනි දිනට ය. එදින ලෝක සිනමාව වෙනුවෙන් සලකා බලන විට ලොව සුපතල යුනිවර්සල් සමාගමේ ද ජන්ම දිනයයි. මේවසරට යුනිවර්සල් සමාගමේ ජන්ම සියවස යෙදෙයි. අප නිළි රැජන එපමණ වයස් ගත නොවන්නී ය. ඇය සිය රංගන ජීවිතයේ අඩ සියවස ලබන්නී එන වසෙර්ය.

ඇය නමින් මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා නම් වන්නීය. මාලිනී යනු ලාංකික සිනමාවේ ජීවමාන යුගාන්දරය වන්නීය. ඇය එලෙස හැඳීන්විය යුත්තේ රංග කාර්යයයෙහි ඇය ගත කළ කාලය සලකා බැලීමෙන් නොවේ. ඇතැම් විට එයට වඩා දීර්ඝ කාලයක් රංගනය ජීවන වෘත්තිය කර ගත් නළු නිළියෝ සිටිති. එහෙත් කාලාත්‍රය ඉක්මවා මාලිනී සිනමාවේ නිළි රැජන ලෙස විරුදාවලි ලබන්නට හේතු වූයේ කුමක් ද? ඇය ජීවමාන පුරා වෘතයක් ලෙස සලකා කටයුතු කරන්නට හේතු වූයේ කුමක් ද? ඇතැම් කල නළු නිළියන්ගේ චරිත නිර්මාණයෝ මහා ප්‍රශංසා ලබති.

එහෙත් කල් යත්ම ඔවුන් පිළිබඳ අසන්නට වත් නොලැබෙයි. ඉඳහිට කලක ඔවුන් විසින් රඟනු ලබන ඇතැම් චරිතයක් දැක ඔවුන් පිළිබඳ විමසා සිටින රසිකයනට ඔවුන්ගේ අධ්‍යාත්මය ද ප්‍රතිභාව ද හෙළි කරන්නේ යැයි කියනු ලබන පරක් නැති ප්‍රශස්තිවලින් ද වසඟ කරවන සුළු මනෝරම්‍ය වූ අදහස් වලින් ද පුවත්පත් පිටු ගණන් සැරැසෙන ලිපි කියවන්නට ලැබෙයි. ඔවුන ද අපි තරු නොවෙමු යැයි කියමින් තරු වලටත් වඩා තරු වෙති. එකල්හි ඒ හා සමාන රංගනයක් එයට පෙර හෝ මතු යම් දිනයක් මෙලොව බිහිව නැතැයි යන ශෛලියයෙන් යුතුව තවතවත් ලිපි පළ වෙයි.

එහෙත් එයින් පසුව ද එබ½දු වූ ආශ්චර්යයන් යළි යළි ද වෙනත් අය වෙතින් සිදු වෙයි. එවිට අර පෙර තැනැත්තා අමතක ව ගොසිනි. එහෙත් මාලිනීගේ රංගන කාර්යය එබන්දක් නොවෙයි. ඇය සිනමාවේ විවිධ වූ චරිත මැවූ බැව් ඇත්තය. එහෙත් හැමවිටම ඇයගේ අලුත් සිනමා හෝ ටෙලිවිෂන රංගනය කවරේ දැයි විමසන්නට තරම් රසිකයෝ අද ද රොද බැඳ සිටිති. ටෙලිවිෂනයේ ආක්‍රමණයත් සමඟ සිනමාව අරක් ගත් බොහෝ සුපිරි තරු අලුත් රසිකයන් හමුවේ ආගන්තුකයන් බවට පත් වූහ. අද ද මෙරට සිනමා ප්‍රබෝධය පිළිබඳ බොහෝ දෙනා කතා කරති.

පෙර වසරයන්ට සාපේක්ෂව සිංහල චිත්‍රපට ප්‍රේක්ෂක සංඛ්‍යාවේ ගණනින් වර්ධනයක් බැලූ බැල්මට ඇති යැයි මම විශ්වාස කරමි. එහෙත් එම වර්ධනයට සාපේක්ෂව සිනමා රසිකයන්ගේ වර්ධනයක් ඇතියැයි කිසි විටෙකත් කිව හැකිද? සිනමා ප්‍රේක්ෂකයන් හුදෙක් චිත්‍රපට නරඹන්නෝ එහි ආශ්වාදයෙන් පමණක් මත් වෙති. එහෙත් රසිකයෝ යනු එබන්දන් නොවෙති. ඔවුහු සිනමාවේ තරු ගුණයෙන් මත්ව එකී තරුවලට පෙම් බඳීති.

මේ තාරකා ගුණයට පෙම් බඳීන්නෝ අද ද එමට සිටිය ද ඒ බහුතරය එදා මෙන් සිනමාහලට ගොඩ වැදී එහි ඇති විසල් අඳුර මැද මැවෙන දැවැන්ත රූපවලට වසඟ වන්නෝ නොවෙති. ඔවුන්ගේ පරම සිහිනය මැවෙනුයේ එතරම් පුළුල් නොවූ ටෙලිවිෂන තිරය මතය. එය සමහර විට සිනමාවටත් වඩා නවීකරණය වූ බව ඇත්ත වුවත් ටෙලි විෂනය යනු කලාගාරයක් නොව ගෘහ භාණ්ඩයක් යන්න පහසුවෙන් බැහැර කළ නොහැක.

එහෙත් ටෙලි විෂනය විසින් ජනිත කරනු ලබන එක් දවසක් රෑට පමණක් පායන තාරකා ගොන්න මැද මාලිනී ෆොන්සේකා ට පමණක් හිස ඔසවා සිටිය හැක. එසේ වන්නට නම් පෙර පින් සහිත ව ජනිත විය යුතු යැයි අපි සිතමු. පෙර පින් යනු අන් කවරක්වත් නොව තම විෂයයෙහි ලා කරන්නාවූ කැපවීම පිළිබඳ අවංක බාවය පිළිබඳ සහතිකයකි. නැතිනම් පින් මද කල සදෙව් විමනින් බැසිය යුතු වෙයි. එබඳු තාරකා නාමාවලියක් ඉදිරිපත් කරන්නට කිසි සේත් බැරි කමක් නැත.

මාලිනී සිනමාවට පිවිසෙනුයේ දෙවඟනකගේ විලාසයෙන් නොවේ. ඇය කරළිය මගින් ජනිත කළ නිළියකි. එයට අමතරව පාසලේ දී එස්.මළල් නම් ප්‍රවීණ නර්තන ආචාර්ය වරයා සමීපයෙහි නර්තනය හදාරා තිබුණා ය. එහෙත් ඇයගේ වේදිකා පිවිසුම ද සමකාලීන බොහෝ නිළියන්ට නොලැබුණ වාසනාවකි. ඇය සිනමාවට පිවිසෙනුයේ සිනමාව පිළිබඳ අලුතින් සිතන පරම්පරාවක සිනමාකරුවකු සමඟ ය. ඒ හැරත් ලාංකික සිනමාවේ මහා පුරුෂයෙකු වූ ජෝ අබේවික්‍රමයන්ගේ සෙවනැල්ල ද ඇයට ලැබිණ.

ඇය සමඟ මුල් චිත්‍රපටයේ රඟපාන අනෙක් නිළිය ඒ වනවිටත් සිනමා රංගනය පිළිබඳ අපේ රටේ කිසියම් මානයක් ගොඩ නැංවූ නිළියක වූවාය. ඇය අනුලා කරුණාතිලක ය. අනුලා ඒ වනවිට ‘පරසතු මල්’ සහ ‘චණ්ඩියා’ යන චිත්‍රපට යුගලෙහිම චරිත මැව්වා ය. එහි අනෙක් චරිතය මවන්නේ ඩොමී ජයවර්ධනය.මේ ප්‍රතිභාපූර්ණ නළු නිළි එකතුව බැලූ බැල්මටම අලුත් නිළියකට ඇති විශාල අභියෝගයක් බැව් කිවයුතුය. ප්‍රතිභාපූර්ණ නළුනිළියන් අතරම තම රංගනය පිළිබඳ අභියෝගයක් ඇතිවෙද්දී එහි අලුත් රංගන ශිල්පියකුට වන්නේ තමන් සුරැකීමට ය. එහෙත් මාලිනී එම අභියෝගය ජය ගත්තා ය.

මේ අතරවාරයේම ඇය එම චිත්‍රපට හා චරිත ඇයගේ බවට පත් කර ගත්තාය. මේ කාර්යයේ දී ඇය සෙසු බොහෝ නිළියන්ගෙන් වෙන්වන එක් කරුණක් නම් ඇය රඟන කවර චරිතයක් හෝ ඇයගේ ම බවට පත් කර ගැන්මට ඇය දරන එම උත්සාහයයි. අහවල් චරිතය මා රඟපෑවේ නොදැනුවත්කම නිසා හෝ වැරැදීමකින් වැනි සම්ප්‍රලාප ඇය නොකිව්වාය. නිධානයේ අයිරින් හෝ සොල්දාදු උන්නැහේගේ පේමක්කාට පමණක් නොව ‘තුෂාරා’ හි තුෂාරා වෙනුවෙන් ද ‘සුහද පැතුමේ’ චමිලා වෙනුවෙන් ද ඇය පෙනී සිටියාය.

අර චරිතයට වඩා මේ චරිතය උසස් යැයි කීම විචාරකයන්ට හෝ වෙනත් අයට බාර කළාය. තමන් වෘත්තිය නිළියක බැව් ඇය දැන උන්නාය. මගේ මතකයේ රැදෙන එක් කරුණක් නම් ඇය රඟ පෑ ‘බඹරු ඇවිත’් විචාරකයන්ගේ නොමඳ පැසසුමට ලක්ව එල්ෆින්ස්ටන් සිනමාහලේ තිරගත වද්දී රිට්ස් සිනමාහලේ තිරගත වූයේ සිරිල් පී.අබේරත්නගේ ‘සැල’ී චිත්‍රපටයයි. එහෙත් ඇය ‘බඹරු ඇවිත්’ හි හෙලන් ගැන පුවත්පතකට කතා කළ ආකාරයෙන්ම සැලී චිත්‍රපටය ද මගේ රංගන ජීවිතයේ සුවිශේෂ කඩඉමක් ලෙස කියා සිටියාය.

‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ සුසිලා ලෙස ඇය කළ රංගනය මොස්කව් සිනමා උළෙලේ පැසසුමට ලක්වන පුවත පළ වනවිට මෙරට තිරගත වූයේ ‘සූරයා සූරයාමයි’ චිත්‍රපටයයි. ඇය එහි නිලන්ති නම් වූවාය. එහෙත් ඇය එම චිත්‍රපටය විසින් ඉල්ලා සිටි නාගරික ඉහළ පැලැන්තියේ වට්ටෝරු ගත චිත්‍රපට චරිතය මැවීම උදෙසා ද එහි ඇති විවිධ අවස්ථාවන් නිරූපණය සඳහා ද ඇගේ අසමසම ප්‍රතිභාව බිඳකුදු අඩු නොකොට දායාද කළාය.

මාලිනීගේ ඉතිහාසයේ විචාරකයන් කතා කරන්නට ඉතිරි කර ගන්නේ සැලී හෝ නිලන්ති නොව හෙලන් සහ සුසිලා බැව් ඇත්තකි.එහෙත් නිළියක ලෙස ඇය එම චරිත දෙක වෙනුවෙන්ම ඇය සමසමව පෙනී උන්නාය. එය කෙනෙකුට මාලිනී කරන්නා වූ වරදක් ලෙස හුවා දක්වන්නට හැකිය.එහෙත් මගේ තර්කය නම් ඉඳුරාම වෙනස්ය. එය නිළියකගේ හෝ කලාකරුවකුගේ නිර්මාණය පිළිබඳ අවංක කැපවීමය. මේ කැපවීම ම ඇය සිනමාවේ හා ටෙලි විෂනයේ ද පෙන්වූවාය. ඇය චරිතයකට පිවිසෙන්නේ යමකට පේවුණ බැතිමතියක හැටියටය.එකී බැතිමතියකට කැප කරන්නට බැරි යමක් නැත.

සිනමාවේ ජනප්‍රිය ඕපාදූප මෙන්ම රසිකයන්ගේ නොමඳ ආදරයට ඇය ලක් වන්නට ගත්තේ හැටේ දශකයේ අග භාගයේය. මේ අවදිය මෙරට සිනමාවේ සමස්ත හැඩ තළ වෙනස් කරන යුගයකි.

එහෙත් බොහෝදෙනා රංගනය යැයි උකහා ගත්තේ ඒ වනවිටත් ශේෂ ගත ව තිබූ දකුණු ඉන්දියානු විලාසයේ රඟපෑමේ ශෛලියයි. එය වෙනස් කිරීම පහසු කටයුත්තක් නොවීය. එයට වසර හය හතකට පෙර මානමූල ලෙස ගාමිණී ෆොන්සේකා නම් නවක නළුවා ‘දෛවයෝගයේ’ සෙසු නළුවන්ට වඩා වෙනස්ම ආකාරයකට රඟනු දුටු එදවස සිටි ජනප්‍රියම සිනමා විචාරකයා එය වටහා ගත්තේ නැත.

එබැවින් ඔහු එයට වඩා පඹයෙක් චරිත නිරූපණය කළා නම් හොඳ යැයි ලිව්වේය. මාලිනී ආරම්භයේ සිටම විචාරකයන්ගේ කුරිරු වදන්වලට ලක් නොවූවාය. එහෙත් මුල් යුගයේම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, යසපාලිත නානායක්කාර, නීල් රූපසිංහ, ලෙනින් මොරායස් වැනි සිනමාව දන්නා සිනමාකරුවන් මෙන්ම සිනමාව පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා සිනමා කරුවන් අතට ද ඇය පත් වූවාය. එහෙත් මේ හැමවිටම ඇයට ඇගේ අනන්‍යතාවය රැක ගන්නට හැකි විණ.

ඉන්දියාව ඇසුරු කොට බිහි වූ සිනමා කලාපයේ නළුවන් ගේ සිනමා ආයු කාලය වැඩිය. මේ නිසාම බොහෝ නළුවන් වසර ගණනක් වීරයන් ව සිටිය දී නිළියෝ එක්කෝ විවාහ දිවියට ඇතුළත් වෙති. නැත්නම් අදාළ නළුවා රඟන ඊළඟ චිත්‍රපටයට එන විට පෙම්වතියගේ සිට මවගේ චරිතයට හැඩ ගැසෙති. එහෙත් මේ කලාපයේ එකම නිළියකට පමණක් නළුවන් දෙදෙනෙකු සමඟ සිනමාවේ යුග දෙකක් කාලය අතික්‍රමණය කිරීමට හැකි වූවා නම් ඒ මාලිනී ෆොන්සේකාට පමණකි. අනෙක් අතට ඇය වේදිකාවෙන් සිනමාවට පිවිසිය ද මේ මාධ්‍යය දෙකෙහි වෙනස අවබෝධ කර ගත්තාය.

අපේ නළු නිළියනට වේදිකාව යනු හොඳම පාසලක් වුවද මේ මාධ්‍යයෙන් අනෙක වෙන්කොට රංගනයේ යෙදීමේ සීමාවන් හඳුනා ගත නොහැකිවඇතැමෙකු අතරමං වන අයුරු පෙනෙන්නට තිබෙයි. එහෙත් සිනමා රංගනයේ දී රඟපෑ යුත්තේ අදාළ කැමරාව විසින් ග්‍රහණය කර ගන්නා රූපයේ පරිමාවේ සීමාව ඇතුළත හසුවන ශරීරාංගය පමණක් බැව් මාලිනී පසක් කොට පෙන්වනුයේ ඇය මුලින්ම රංගනයේ නියැලි ‘පුංචි බබා’ චිත්‍රපටයේ දීමය.

ඇය වේදිකාවෙන් ඇරැඹුණ ගමන සිනමාවේ කිරුළ දක්වා ගෙන ආවාය. සිනමාවේ දී ඇය ‘සසර චේතනා’ නමින් චිත්‍රපටය නිර්මණය කරනුයේ සිනමාකාරියක් වන්නට වුවත් එහි ලා ඇය කළ වැදගත්ම කාරණය බොහෝදෙනා සිනමාව හැර යන සමයක විශාල වියදමක් දරා සසර චේතනා චිත්‍රපටය නිර්මාණය කිරීමයි.

ඇය නිළියක ලෙස සිනමාවේ තම ස්වීය අනන්‍යතාව පළ කර සිටිය ද සිනමාකාරියක් ලෙස විශාල නාමයක් ගොඩනඟා නොගත්තාය. කෙසේ වෙතත් ඇය දෙවන අධ්‍යක්ෂණය වූ අහිංසා නිර්මාණය කරද්දී ම ටෙලි විෂන මාධ්‍යයට අවතීරණය වූවාය.

මෙරට ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසි මුල්ම කාන්තාව ඇය නොවෙතත් සිනමා රංගනයෙන් ටෙලිවිෂන මාධ්‍යයට පිවිසි මුල්ම නිළි අධ්‍යක්ෂවරිය ඇයයි. නිරූපමාලා ඇයගේ මුල්ම ටෙලි අධ්‍යක්ෂණය විය.

එතැන් පටන් ඇය සිනමාවේ මෙන්ම ටෙල ිවිෂනයේ ද වඩාත්ම ඉල්ලුමක් ඇති නිළියක වූවාය. ඉන්දියාවේ වැජඹුන බොහෝ නිළියන් ටෙලිවිෂනයට පිවිසෙනුයේ සිනමාවේ ඇයට ඉල්ලුම නැති වූ කල එයින් බේරෙන්නටය. එහෙත් මාලිනිය ටෙලි විෂනයට පිවිසෙනුයේ ඇය ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ සිටියදීමය. එමෙන්ම මා මුලින් සඳහන් කළ යුගාන්දරය වඩා තීවෘ කරන මාලිනිය මේ මාධ්‍ය දෙකම සමබරව තබා ගන්නීය. ඒ නිසාම ආකාස කුසුම් සමඟ ඇය යළිත් ජාත්‍යන්තර කීර්තියට පත් වන්නීය.

ඇය ටෙලිවිෂනයේ ද සිනමාවේ ද එකවර තම සළකුණ තබන්නට සමත් වන්නීය. මේ නිසාම ඇය හඳුන්වා දිය යුත්තේ වේදිකා නිළියක ලෙස ද නැත්නම් සිනමා නිළියක ලෙස ද එසේත් නැත්නම් ටෙලිවිෂන නිළියක ලෙස ද යන්න අනාගතයේ දවසක කිසිවකුට පැන නැගෙනා ප්‍රශ්නයට දිය යුත් එකම පිළිතුර නම් ඇය නිළියක බවය. ඇය කිසිම මාධ්‍යයක සිරකාරියක නොවූ බවය. කොටින්ම ඇය අපේ රංගන ලෝකයේ තෙස්පියානුවරිය බවය.

මේ චරිතය අපේ වීරවරියක් වනුයේ ඇයගේ රංගන දිවිය මහත් අභියෝගාත්මක එකක් බැවිනි. එය එසේ වනුයේ ඇය බිහි වන සමාජ පද්ධතිය ඇය ජීවිතය මුහුණ දෙන විවිධ ගැටලු සලකා බැලීමෙනි. ඇය රංගන ලෝකය ජය ගත්තේ තරමක් විශාල වූ තම පවුලේ බර ද කරට ගනිමිනි. සාමාන්‍යයෙන් ජීවිතයක පොදු හැල හැප්පීම් අනේක විධ කරදර දුක් දෝමනස්සයන් හට ද ඇය මුහුණ දුන්නාය. එහෙත් මේ සියල්ලට මුහුණ දෙන්නට ඇයට හැකියාව තිබිණ. මේ කිසිවක් තම වෘත්තිය ජීවිතය දවා හළු කරන සාධක බවට පත් කර ගන්නට ඇය ඉඩ හැරියේ නැත.

ඇය රංගනය ආවේශයක් කර ගත්තේ නැත. වහා තමා මිදෙන චරිතයෙන් මිදී සරළ කාන්තාවක් බවට පත් වන්නට ඇයට හැකියාව තිබිණ. තම අභ්‍යන්තරයේ කුමන කැලඹිළි තිබිණ ද මේ සියල්ල තම වෘත්තිය ඉදිරියේ අමතක කරන්නට ඇයට හැකියාව තිබිණ. එය කෙනෙකුට පහසුවෙන් නොලැබෙන හැකියාවකි. බොහෝ විශිෂ්ටයෝ සිය ජීවිතයේ කැලඹීම් හමුවේ ඉලක්ක සපුරා ගැන්මෙහිලා දුර්මුඛ වෙති. එහෙත් මාලිනිය සිය ජීවිතය හැඩ ගස්වා ගනුයේ මේ පෞද්ගලිකත්වය සිය වෘත්තිය ඉදිරියේ දෙවැනි කොට තබමිණි.

එය එක් අතකින් ලොව මිල අධිකම කලාව ලෙස සැලකෙන සිනමාවේ දී එහි ආයෝජකයන්ට පහසුවත් , අධ්‍යක්ෂවරුන්ට නිදහසත් ලබා දෙන්නකි. මේ නිසාම නිර්මාණයක දී වඩාත් පහසුවෙන් වැඩ කළ හැකි නිළිය ලෙස ඔවුහු විසින් ඇය හඳුන්වා දෙනු ලබති. මෙය වඩාත් වැදගත් වනුයේ වර්තමානයේ දී ඉතා පහසුවෙන් පිවිසිය හැකි ක්ෂේත්‍රයක් වන රංගන ක්ෂේත්‍රයට පිවිසෙන බොහෝ තරුණ තරුණියන් එහි හැසිරෙන ආකාරය සලකා බැලීමෙනි. මාලිනී වැන්නියක රංගනයේ නියැලි චරිත අධ්‍යයනය අලුත් පරම්පරාවකට කෙතරම් වැදගත් ද එමෙන්ම ඇය එහි සෙස්සන් සමඟ කටයුතු කළ ආකාරය ඕනෑම වෘත්තියකගේ පැවැත්ම උදෙසා අධ්‍යයනයට වැදගත්ය. එම නිසාම පුංචි බබා සිට අද මේ දක්වාම නිළියන් කීදෙනෙක් සිනමාවට පිවිසුණ ද එහි ඇය හා සම වන්නට හැකි වූයේ නැත.

මේ තිස් වැනිදා යනු මාලිනියගේ උපන් දිනයයි. සරසවිය ඇයගේ සිනමා රංගනයට වඩා වැඩිමහල්ය. ඇයගේ මුළු රංගන ජීවිතයේම හැඩ තළ සියල්ල සරසවිය හඳුනා ගත්තීය. ඇය සරසවිය සිනමා උළෙලේ දී හොඳම නිළිය ලෙස ද ජනප්‍රිය නිළිය ලෙස ද රණ තිසර සම්මානයෙන් ද පුද ලද්දීය.ඇය ගේ ජයග්‍රහණයේ දී පමණක් නොව ජීවිතයේ හැම විටකම සරසවිය හැම විටම ඇය සමඟ සිටියාය. එබැවින් මාලිනියගේ උපන් දිනයට කාටත් කලින් සුබ උපන් දිනයක් පතන්නට සරසවිය මේ අවස්ථාවක් කොට ගනී. මාලිනී සුබ උපන් දිනයක් වේවා.