වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




සුළං රැල්ල ගැන හිල්මිගෙන් අහමු

සුළං රැල්ල ගැන හිල්මිගෙන් අහමු

ඔව් . . . මම දඩබ්බරයෙක්

‘මං ඒකට විරුද්ධයි’

ඔහු ළයාන්විතව ගයයි. අර්ථාන්විත පද ගළපයි. සුමිහිරි තනු සකසයි. මේ ත්‍රිත්ව දක්ෂතාවයන් හිමි අප සැම හඳුනන ඔහු ලක්ෂ්මන් හිල්මියි.

කොහොමද ලක්ෂ්මන් අයියා ජීවිතේ?

වැඩිපුරම කාලය ගෙවෙන්නේ සන්දර්ශන වේදිකාවේ.

දිනකට ෂෝ තුන හතරක් තියනවා. පහුගිය කාලේ රටවල් කිහිපයක සංචාරයක නියැලුණා.

ඔබ තරමක් හිතුවක්කාරයෙක්. ඉක්මනින් කේන්ති යන දඩබ්බරයෙක් කියන්නේ ඇත්තද?

පුංචි කාලේ ඉඳලම ඔය දඩබ්බරකම් මාගේ ගාව තිබුණා.

ඇත්තටම කිව්වොත්ම නාහෙට අහන්නේ නැති ළමයෙක් පාසල් කාලයේ. අනවශ්‍ය තැන්වලදී පවා මං හිතුවක්කාර වූ අවස්ථා එමටයි.

එත් වර්තමානයේ නම් අසාධාරණයක් දැක්කාම මගේ ඇඟ ඇතුළේ ඉන්න දඩබ්බරයා පිටතට පැමිණෙනවා.

අපි දැන් කතා කරමු ඔබේ අලුත්ම සංයුක්ත තැටිය ගැන?

ඒකේ නම සුළං රැල්ල. එය නොනවතින ගීත එකතුවක්. මගේ පරණ අලුත් සිංදු එකතුවෙන් නිර්මාණය වූවක් කිව්වොත් නිවැරැදියි.

පැරැණි සිංදු නවකයින් විසින් නැවත ගැයීම පිළිබඳ මොනවද කියන්න තියෙන්නේ?

මං ඒකට විරුද්ධයි. පැරැණි දේ ඒ අයුරින්ම තියෙන්න හරින්න ඕනේ.

පැරැණි දේ අලුත් වෙන්න ඕනේ කියලා කවුරු හරි කියනවා නම් සීගිරියත් අලුත් වෙන්න ඕනේ. එහි සිතුවම්වල ඉන්න ලඳුන්ට ඇඳුම් අන්දවන්නත් ඕනේ.

ඒත් ඔබේ අලුත්ම සංයුක්ත තැටියෙන් ඔබ පැරැණි ගීත යම් යම් වෙනස් කිරීම්වලට බඳුන් කළා නේද? කලකට ඉහතදී කහ මල් අත්තතක් ගීතය රීමික්ස් කොට ගැයුවා නේද?

මං වෙනස් කළේ මගේම ගීත. මගේ දේවල් මට වෙනස් කරන්න අයිතිය තියනවා. මං මේ කියන්නේ අනුන්ගේ ගීත නව පරපුරේ අය තමන්ගේ වගේ රීමික්ස් කොට ගහන එක.

පැරැණි ගායික ගායිකාවනුත් තමන්ගේම සිංදු එක එක ආරවල්වලින් ගැයුවා. මං කළේ එහෙම වැඩක්.

සාක්කු හිස් සංගීතයට දක්ෂයෙක් ඔබ ළඟට ආවොත් මොකද කරන්නේ?

ඒ වගේ දක්ෂයින්ට මං අනන්තවත් උදව් කරලා තියනවා. සල්ලි මට වැදගත් නැහැ. දක්ෂකමයි වටින්නේ.

මංගල නැකතේ, පිංවන්තියේ, රන් රන් රන් සේලේ වැනි හොඳ පද රචනා මෑතකදීී ඔබේ අතින් බිහි වුණේ නැහැ. ඇයි ඒ?

මේ තියන කාර්යය බහුලකම ඒකට හේතුවක්. සංගීිත අධ්‍යක්ෂණය පැත්තෙන් නම් කැසට පට කිහිපයකටම දායක වුණා.

චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යයකට සංගීත අධ්‍යක්ෂණයට හිතක් නැද්ද?

වැඩ කිහිපයකටම කතා කළා. ඒවා සාම්ප්‍රදායික වැඩියි කියලා මට හිතුණා. ඒ අය එක්තරා රාමුවක කොටු කරලා මගෙන් වැඩ ගන්න හැදුවේ. මං ඒකට අකැමැතියි.

මේ අතුරු කතාවකි

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු සරසවියට ළෙංගතු මිත්‍රයෙක්. සරසවියේ චිත්‍රපට නාමාවලිය සකසන්නේ ඔහු.

ඇන්ටන් ලක්ෂ්මන් හිල්මිගේ ළඟ සමීපතමයෙක්. දිනක් ඔහු ගියා රාගම පිහිටි හිල්මිගේ ශබ්දාගාරයකට, පෞද්ගලික කටයුත්තක් සඳහා.

එතැන ඉදිරි දොරටුව අසලට සපැමිණි ඇන්ටන්ට බයිලා ආරට නිම වූ තනුවක් සවනත වැටුණා.

එය වාදනය වී අවසන් වන තෙක්ම තමා ආ වග හිල්මිට සැල නොකර හිටියේ වේග රිද්මයේ වුවත් එම තනුව තදින් ඇන්ටන්ගේ සිතට කා වැදුණ හින්දයි. ශබ්දාගාරයෙන් පිටතට පැමිණි හිල්මි, ඇන්ටන්ව දුටුවා.

මොකක්ද බං අර දාලා තිබුණු මෙලඩිය? ඒක නම් මාරයි.

ඇන්ටන් එහෙම ඇහුවේ හිල්මිගේ දුක සැප අහන්නටත් පෙරයි.

ඒක මගේ අලුත් මෙලඩියක් මචං. කාට හරි කියලා වචන ටිකක් දාගන්න ඕනේ.

ගනිං කොළයකුයි පෑනකුයි මං මේකට නියම වචන ටිකක් දාල දෙන්නම්.

එහෙම කියපු ඇන්ටන් පුටුවකට හරි බරි ගැහුණා. චන්දු සිල්වා (ජොලි සීයා) ගයන බජාර් එකේ ලලක්කා වැනි ගීත ලියූ ඇන්ටන්ට ගීත ලියන එක පුරුදුයි.

පැයක් හමාරක් ගත වුණා. අමුතු තනුවට අමුතුª පද වැලක් ඇන්ටන් ගලපලා.

ඒක හිල්මි පටිගත කොට ගුවන් විදුලි ආයතනවලට බාර දුන්නා.

සිංදුවේ ඇති අපූරුකම නිසා එය නිතර නිතර ඇහෙන්න පටන් ගත්තා.

ඊට පස්සේ හිල්මිට ලැබුණු බැනුම්වල නම් අඩුවක් වුණේ නැහැ. ඒ මෙහි තිබුණු නුහුරු නුපුරුදු වචන නිසා.

ඒත් හිල්මි නම් කියන්නේ මේක හරියට මිසයිලයක් වගේලු.

ඒ ඔහුගේ අනෙක් හැම ගීතයකටම වැඩිය මේ සිංදුව වේගයෙන් ජනප්‍රිය වූ නිසා බොහෝ දෙනා මේ ගීතයට චෝදනා එල්ල කළේ ආදරය ගැන කියන්න මේ වන තෙක් කිසිදු ආදර ගීයකට යොදා නොගත් වචන මේකේ තියෙන බැවින් ආදරය ගැන කියන්න මෙවන් වචන යොදා නොගත යුතු වගත් සමහරෙක් කියනවා.

කෙසේ නමුත් හිල්මි කීවා සේම මෙම ගීතය මිනිසුන් අතරට ගියේ මිසයිලයක තරම් වේගයකින් තමයි.

මෙතෙක් වේලා මා සටහන් කළේ සෙනෙහසේ මුට්ටියේ ගීතය ගැනයි.