වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




ඇතුගලගේ මහ සමයම එළි දකී

ඇතුගලගේ මහ සමයම එළි දකී

මහාචාර්ය ආරියරත්න ඇතුගල අලුත් නිර්මාණ කාර්ය මහ සමයම. ජන සම්ප්‍රදායන් ආශ්‍රයෙන් නිර්මාණය වූ මහ සමයම දැවැන්ත වේදිකා නාට්‍යයක්.

නෙළුම් පොකුණේ පැවති චාම් උත්සවයකදී මූලික වැඩ කටයුතු ඇරැඹුණ මහ සමයම සඳහා ප්‍රවීණ මෙන්ම නව පරපුරේ දක්ෂ නළු නිළියන් කැලක් සම්බන්ධවයි.

ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනී, විජය නන්දසිරි, ශ්‍රියන්ත මෙන්ඩිස්, නිශ්ශංක දිද්දෙණිය, සහන් රන්වල, ඉන්දිකා උපමාලි, මාධනී මල්වත්ත, චතුරිකා පීරිස්, සේනානායක වේරලියද්ද ඒ අතර ඉන්නවා.

සංගීතය මෙහෙයවීම කෝලිත භානු දිසානායකගෙන්.

රංග වින්‍යාසය රවි බන්දු විද්‍යාපති, චන්න විජේවර්ධන සහ දර්ශන පියරත්න යන අයගෙන්.

රචනය සහ අධ්‍යක්ෂණය මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ වන මහ සමයමහි පුහුණුවීම් නොබෝ දිනකින් ඇරැඹේ.

 


රත්නා තුර්කි යයි

අපේ ප්‍රවීණ නිවේදිකාවක් වන රත්නා පුෂ්පා කුමාරිට අපූරු අවස්ථාවක් හිමි වුණා. ඒ මේ මාසයේ 24 වැනිදා සිට 30 වැනිදා දක්වා තුර්කියේ අන්කරා නුවර පැවැත්වෙන අන්තර් ජාතික ළමා නාට්‍ය උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරන්නයි.

ඒ නියෝජනයත් සමඟින් ඈ අද දවසේ ‘ළමයින් සඳහා නාට්‍ය ක්‍රියාකාරකම්’ යන මැයෙන් වැඩමුළුවක් ද මෙහෙය වන බව අපට ආරංචි වුණා.

ඒත් සමඟම රත්නා ලියූ  ‘ACTIVITIES FOR THEATRE AND NON THEATRE PEOPLE’  කියන කෘතියත් එළි දැක්වීමට නියමිතයි.

ළමා කුසලතා සංවර්ධන වැඩසටහන හා ජාතික නාට්‍ය ආයතනය හරහා විශාල කාර්යභාරයක් ඉටු කරන රත්නා පසුගියදා දිරිය ප්‍රසාදිනී සම්මානයෙන් පිදුම් ලැබීමට තරම් වාසනාවන්තියක් වුණා.


ටෙලි දෙකකට ලක්ෂ්මන් ගේ ගී

බිඳුණු සිත් සුවපත් වෙන්නෙත් සඳරේඛා හිනැහෙන්නෙත් ලක්ෂ්මන් මල්ලවආරච්චි ගේ ගේය පද තාලෙට කිව්වොත් ඔබ පුදුම වේවි.

හැැබැයි පුදුමයි! ඒත් ඇත්තයි. දෙපැති දහර, ආදරවන්තයෝ, හිම කැදැල්ල ආදී ටෙලි නිර්මාණ සඳහා ගීත රචනා කළ හැට හැත්තෑව දශකයේ ජනප්‍රිය නවකතාකරුවකු වූ ලක්ෂ්මන් මල්ලවආරච්චි අලුත් ටෙලි නාට්‍ය දෙකකටම ගීත රචනා කරලා.

ඒ අතරින් ප්‍රසන්න ජයවර්ධන අධ්‍යක්ෂණය කරන ‘බිඳුණු සිත්’ ටෙලි නාට්‍යයට සහ නිමල් ජයවීර අධ්‍යක්ෂණය කරන ‘සඳරේඛා’ ටෙලි නාට්‍යයට.

‘බිඳුණු සිත්’ හි ලක්ෂ්මන්ගේ ගී පද වෛද්‍ය ඈෂ්ලි පෙරේරා සමඟ නිලානි කාංචනා නම් වූ නවක ගායන යුගළයේ හඬින් ගීතවත් වන අතර එහි සංගීත නිර්මාණය සංගීත් වික්‍රමසිංහගෙන්.

‘සඳරේඛා’ ටෙලි සිතුවමේ ලක්ෂ්මන්ගේ ගී පද උමාරියා සිංහවංශ ගයන්නේ නවරත්න ගමගේ ගේ සප්ත ස්වර තනුවට.


මර්සිට සැත්කමක්

රටම හිනැස්සූ මර්සි එදිරිසිංහගේ මේ තොරතුරු ඇසුවොත් ඔබේ නෙතට කඳුළක් නැගේවි. මේ ඇය පිළිබඳ දුක්මුසු ආරංචියක්. මට කාලයක් තිස්සේ දකුණු කකුලේ පොඩි රිදීමක් තිබුණා.

මං ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. කාලෙකට පස්සේ කකුල ඉදිමුණා. ඊට හේතුව හොයා ගත්තු වෛද්‍යවරයා කිව්වේ ගර්භාෂයේ ඇති ගෙඩියක් නිසා වේදනාව හටගත් බව. ඉක්මනින් එය ශල්‍යකර්මයක් මගින් ඉවත් කරන්නත් ඕනෑ බව ඔහු පැවසුවා.

ඒ නිසා පසුගිය 11 වැනිදා මුළු ඇඟම සිහි නැති කරලා ඒ ඔපරේෂන් එක කළා. දැන් නම් ටිකක් සනීපයි. වෛද්‍යවරු කියනවා දිගටම රෙස්ට් කරන්නලු. එත් මට එක තැනකට වෙලා ඉන්න බැහැ.

මං බොහොම කඩිසරව ඉන්න කෙනෙක්. කෙසේ නමුත් මේ වෙනකම්ම මගේ රාජකාරි සහ කලා කටයුතුවලින් බැහැරව කාලය ගත කලේ. හැකි ඉක්මනින් මගේ පුරුදු දිවිය අරඹනවා.

එයට පෙර පසුගියදා මර්සි එදිරිසිංහගේ දයාබර මෑණියන්ගේ අවසන් කටයුතු සඳහා මන්සි වුණු ඇයත් සමඟ දුක බෙදා ගත් වරකාපොල අමේපුස්ස ගම්වාසීන්ට, ඊට සහභාගි වූ කලාකරුවන්ට, මිත්‍රයන්ට, නැදෑ හිතවතුන්ට, පවුලේ පිරිසට, ගම්පහ ශාන්ත පීතර විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු කන්‍යා සොහොයුරියන්ට, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක, කතානායක චමල් රාජපක්ෂ, රඹුක්කන පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික ප්‍රේමදාස, කරු ජයසූරිය, කබීර් හෂීම් යන මහත්වරුන්ට ස්තුති කරන්නත් ඇය අමතක කෙරුවෙ නැහැ.