වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




ශතකය සමරන හොළිවුඩ් විශ්වය

ශතකය සමරන හොළිවුඩ් විශ්වය

2012 වසර හොළිවුඩ මහ සංස්කෘතියට එක්තරා සුවිශේෂී වසරක් බව බැලූ බැල්මටම පෙනෙන්නකි. අලුතින් එන සිනමාපටවල අති ධාවනකාරී ප්‍රදර්ශනයත්,ත්‍රිමාණ චිත්‍රපටවල සීඝ්‍ර විකාශනයත්, පැරණි චිත්‍රපට ත්‍රිමාණ වී නැවත කරළියට පැමිණීමත් නිසාම හොළිවුඩය එක්තරා අන්දමකට වසන්ත සිරි ගෙන තිබේ.

ඒ කෙසේ වෙතත් හොළිවුඩයේ අභිමානවත් චිත්‍රපට නිෂ්පාදන ක්‍රියාවලියට 2012 වසර අතිශය වැදගත් මෙන්ම ස්වර්ණමය එකක් වන බව නම් එකහෙළා ප්‍රකාශ කළ හැකිය. මන්ද හොළිවුඩයේ පළමුවැනි වාණිජ මට්ටමෙන් ස්ථාපිත චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වූ යුනිවර්සල් නමට මෙම වසරේ සිය වසක් පිරීමයි.

‘යුනිවර්සල්’ අප්‍රේල් මස 30 වැනිදා සිය අභිමානවත් ශතකය සමරන්නේ තමන් හට දින ගණනක් බාල ප්‍රතිමල්ලවයෙක් කරළිය තුළ සිටින පසුබිමකයි. ඒ කෙසේ වෙතත් යුනිවර්සල් එතෙක් මෙතෙක් ආ ගමන සැලකීමේදී එය හොළිවුඩයේ පමණක් නොව ආසියාකරයේ ද තම මුල් විහිදා හමාරය. එකී සාර්ථක ගමන පසුපස වූයේ ද ධෛර්යය සම්පන්න ගමනකි.

හෙතෙම කාල් ලෙමිල් නම් වූ විස්කොන්සිත් ප්‍රාන්තවාසී යුදෙව්වකි. වෘත්තියක් ලෙස ඔහු කළේ රෙදිපිළි වෙළඳාමය. මෙකී කාලය 1900 දශකය එනම් 20 වන සියවසේ ආරම්භය විය. චිත්‍රපටය නොඑසේ නම් චලන චිත්‍රය එතරම් ව්‍යාප්ත නොවූත්, දියුණු මට්ටමක නොතිබුණ නමුත් ප්‍රේක්ෂකයා පොරකමින් චලන චිත්‍ර සටහන් නැරැඹූ යුගයත් එයම විය.

කාල් ලෙමිල් නම් ඒ විස්කොන්සික් ප්‍රාන්තවාසියා තම ඉරණම් ගමන වන චිකාගෝ වෙත ගියේ චලන චිත්‍රය පිළිබඳ ප්‍රේක්ෂක උනන්දුව වැඩී තිබූ ඒ වකවානුවේදීමය. ‘නිකොලොඩියන්’ නම් චිකාගෝ චලන චිත්‍රාගාරයට ගොඩ වැදුණු ලෙමිල් එය තමන්ගේ චලන චිත්‍රපටයේ පිස්සුවට නතු වේ යැයි කිසිදාක නොසිතන්නට ඇත. අවසානයේදී හවුල්කරුවන් ද සමඟ ඔහු නිකලොඩියන් තමන් සන්තකයට ගත්තේ චිත්‍රපට කිරිල්ලෙහි විශාල පිම්මක් පැනීමටය.

ලෙමිල් නිකොලොඩියන් සියතට ගෙන නිකම් නොසිටියේ ඔහුට අලුත් දේ අත්හදා බැලීමට තිබූ උමතුව නිසාය. ඒ සඳහා ඔහු එක්කර ගත්තේ පේට්න්ට් බලපත්‍ර හිමියෙකි. ඔහු ලෝ පතළ විද්‍යාඥයකු වූ තෝමස් අල්වා එඩිසන්ය. එඩිසන් පේට්න්ට් බලපත්‍රයක් ලබාගෙන තිබුණේ සිනමා කැමරා හා ප්‍රක්ෂේපණ යන්ත්‍ර සඳහා නව නිෂ්පාදනයක් ලෙස බිහිවුණු මෝටරය සඳහාය. එඩිසන් ද ලෙමිල් ගේ නිකොලොඩියන් සකහකරුවෙක් වූයේ එහි තාක්ෂණය නිසාවෙනි.

නමුත් වැඩි කලක් යන්නට මත්තෙන් කාල් ලෙමිල්, එඩිසන්ගෙන් ;වන් වුු අතර ඔහුගේ නව ගමන ඇරැඹූයේ ඇබේ ස්ටර්න් සහ ජුලියස් ස්ටර්න් සමඟය. ඔහුගේ නව සමාගම යාන්ති චිත්‍රපට සමාගම විය. නිකොලොඩියන් සමයේ එඩිසන් පවත්වාගෙන ආ බොහෝ සම්ප්‍රදායන් ලෙමිල් වෙනස් කළ අතර තරු සංකල්පය සඳහා මූලිකවම අඩිතාලම යෙදුවේ ඔහුය.

මන්ද එඩිසන්ගේ සමයේ බොහෝ විට චිත්‍රපටයේ තනි භුක්තිය මෙන්ම ප්‍රසාදය හිමි කර ගත්තේ නිකොලොඩියන් නාමය විසිනි. නමුත් ලෙමිල්, එම සම්ප්‍රදාය බැහැර කොට නළු නිළියන් සඳහා ප්‍රසාදයන් ප්‍රේක්ෂකයා වෙනුවෙන් පූර්ණ භුක්තියත් ලබා දී නළු නිළියන් මඟින් චිත්‍රපට ප්‍රචාරණය කර ගැනීමේ කලාව ලොවට හඳුන්වා දුණි.

1909 දී ඇරැඹූ යාන්ති සමාගම ඉන්ඩිපෙන්ඩන්ට් මුවින්ග් පික්චර් කම්පනි ලෙසත් 1912 දී එය යුනිවර්සල් ෆිල්පි මනුෆැක්චරින් කම්පැනි ලෙසත් නිල වශයෙන් ඇරැඹුණු මෙය 1925 දී යුනිවර්සල් පික්චර්ස් ලෙස ස්ථාපිත වී අද දක්වා පැවත එයි.

එතැන් පටන් චිත්‍රපට සමාගමේ නාමය ව්‍යාප්තිය වෙනුවෙන් නොව චිත්‍රපටය හා එහි ප්‍රවර්ධනය වෙනුවෙන් කර්මාන්තය ක්‍රියා කරන ආකාරයට පදනම සැකසූයේ යුනිවර්සල් පික්චර්ස් විසිනි. මේ වන විටත් එය ලෝකයේ දෙවැනි පැරැණිතම චිත්‍රපට නිෂ්පාදන සමාගම බවට පත් වී තිබෙන්නේ ප්‍රංශයේ පැරිසියේ 1895 දී ඇරැඹි ‘ගෝමොන්ට්’ සමාගමට පමණක් දෙවැනි වෙමිනි.

යුනිවර්සල් සාමාන්‍ය චිත්‍රාගාරයක් ලෙස පැවතුණේ 1964 වසර තෙක් පමණි. ඔබ ඩිස්නිලන්තය පියවි ඇසෙන් හෝ රූපවාහිනියෙන් දැක ඇති බව නොඅනුමානය. ඒ ඩිස්නි චරිත උපයෝගි කොට ගෙන සැකසූ දැවැන්ත පසුතල සහ උද්‍යාන මෙන්ම දැවැන්ත ජල තටාක මවිත කරවන සුළුය.

සැබවින්ම අප ඒ අත්දකින ආකෘතිය යුනිවර්සල් ආදේශ කර ගත්තේ 1964 න් පසුවය. එවකට යුනිවර්සල් නිෂ්පාදනය කරන ලද චිත්‍රපට පසුබිම් එකල යොදා ගත් අතර මෑත කාලයේදී ජුරාසික් පාක්, ජෝස්, කිං කොන් වැනි චිත්‍රපට තේමා හොළිවුඩ් හි යුනිවර්සල් වෙතින් ඉදි වුණි. කෙසේ වෙතත් ඩිස්නිලන්තය හා කරට කර සිටීමට යුනිවර්සල් තමන්ගේ මීළඟ පියවර ලෙස ෆ්ලොරිඩා හි මිලන්ඩෝ දිස්ත්‍රික්කයේ තවත් චිත්‍රාගාරයක් ඇරැඹූ අතර පසු කලෙක සුප්‍රකට අධ්‍යක්ෂක ස්ටීවන් ස්පිල්බර්ග් ගේ දායකත්වය තුළින් නව පසුතල නගර ඒ සඳහා ඉදි වුණි. ඒ 1990 දශකයේදීය.

කෙසේ වෙතත් හොළිවුඩයට සීමා නොවූ යුනිවර්සල් 2001 දී ජපානයේ ඔසාකා වෙතත් 2010 දී සිංගප්පූරුවේ සෙන්තෝසා වෙතත් තමන්ගේ අතිශය ආකර්ශණිය පසුතල නගර සංකේන්ද්‍රණය කළ අතර පුරාණ ඊජිප්තුව, ලොස්ට් වර්ල්ඩ්, ටාමගස්තර් වැනි ආකර්ශණීය සිනමාපටවල එන පසුතල උද්‍යාන ඒ සඳහා ඇතුළත කරන ලද්දේ ‘හෙලෝ කිට්’ වැනි ආසියානු ආරේ රූපයන් ද හඳුන්වා දෙමිනි.

 

1941 – 1979 - (ස්ටීවන් ස්පිල්බර්ග්)

වයසින් පරිණත වත්ම යුනිවර්සල් තවත් සිනමා මානයක් සොයා ගියේය. එහි ප්‍රතිඵලයක් වූයේ ‘යුනිවර්සල් කාටුන් පික්චර්ස්’ය. 1990 දශකයේ ත්‍රිමාණ සජීවිකරණය මුල් වරට රූපවාහිනී කතා නාටක තුළට ඇතුළත් කරමින් ඔවුන් ’ද ලෑන්ඩ් බිෆෝ ටයිම්’ නිපද වූයේය. ‘ඇන් ඇමෙරිකන් ටේල්’, ‘බොල්ටෝ’ මෙන්ම මෑතකදී ඉහළම ආදායම් ලැබූ ‘ඩිස්පිකබල් මී’ සජීවිකරණ චිත්‍රපටය දක්වාම යුනිවර්සල් ඉතා සාර්ථක ගමනක් සජීවිකරණයෙන් ගොස් හමාරය.

කොයි කෙසේ වෙතත් යුනිවර්සල් සිය ස්වර්ණමය ශතකය සැමරීමට සියලු කටයුතු යොදා ඇත. ඒ එක් අතකින් තමන්ගේ සාඩම්බර සිනමා ඉතිහාසය තුළ බිහි වූ ගුණාත්මක කෘති කිහිපයක් වර්තමාන පරම්පරාවට දායාද කිරීමට මෙය අවස්ථාවක් කර ගෙන ඇත. ඒ ඔවුන්ගේ සිනමා කෘති 13 ක් ඩී. වී. ඩී හා බ්ලූ රේ පද්ධති සඳහා පරිවර්තනය කොට මේ වසරේ එළි දැක්වීමයි. ‘ටු කිල් අ මොකිංබර්ඩ්’ පළමුවන ප්‍රති සම්පාදිත චිත්‍රපටය ලෙස එළි දැක ඇති අතර ස්පිල්බර්ග් ගේ ෂින්ඩලර්න් ලිස්ට්, ඩ‍්‍රැකියුලා, ෆ්‍රැන්තස්ටීන්, ඕල් ක්වයට් ඔන් ද වෙස්ටර්න් ෆ‍්‍රන්ට් ආදී චිත්‍රපට කිහිපයක් එසේ එළි දැකීමට නියමිතය. එමෙන්ම සියවන ශත සංවත්සරය වෙනුවෙන් සිය ලාංඡනය ද ප්‍රති නිර්මාණය කර ඇති අතර මාර්තු මාසයේ තිරගත කිරීම ඇරැඹූ ‘ද ලොරැක්ස්’ චිත්‍රපටයේ සිට ඒ ලාංඡනය ඇතුළත් කර ඇත.

මේ වසර තුළ ද ‘මනුතාපය’ ඇතුලු දැවැන්ත චිත්‍රපට කිහිපයක් එළි දකින්නට නියමිත යුනිවර්සල් ඉදිරි වසරවලදී ද සිය සිනමා ගමන විප්ලවකාරී ලෙස හැසිරිවීමට වර්තමාන හිමිකරුවන් වන කොමිකාස්ට් හා ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගම් දැනටමත් සැලසුම් කර හමාරය.

යුනිවර්සල් එතෙක් මෙතෙක් නිපද වූ හොඳම චිත්‍රපට:

8 මයිල් - 2002 – (කර්ටිස් නැන්සන්) බැටරිස් නොට් ඉන්ක්ලුඩයි – 1987 (මැතිව් රොබින්ස්)
40 ඩේස් ඇන්ඩ් 40 නයිට්ස් - 2002 – (මයිකල් ලීටන්) 2 ෆාස්ට් 2 ෆියුරියස් – 2003 (ජෝන් සිංලේටන්)

යුනිවර්සල් එතෙක් මෙතෙක් වැඩිම ආදායම් ලද චිත්‍රපට:

ජුරාසික් පාක් – ඇ. ඩො. මිලියන 919.7 මම්මා මීයා - ඇ. ඩො. මිලියන 609.8
ඊ. ටී. ද එක්ස්ට්‍රා ටෙරස්ට්‍්‍රයල් - ඇ. ඩො. මිලියන 792.9 ජුරාසික් පාක් (ද ලොස්ට් වර්ල්ඩ්) – ඇ. ඩො. මිලියන 618.6