වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




30 වැනි සංවත්සරය සමරයි!

සඳකඩ පහණ 28 වැනිදා ගම්පහදී

ගම්පහ ගෝතමී කණිෂ්ඨ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය ඉදිරිපත් කරන සුනිල් එදිරිසිංහයන්ගේ සඳකඩ පහණ ගායන ප්‍රසංගය මේ මස 28 සෙනසුරාදා සවස 6.30 ට ගම්පහ සුමේධ විද්‍යාලයීය රඟහලේදී පැවැත්වෙයි.

සුසිල් අමරසිංහ ප්‍රමුඛ දිවයිනේ දක්ෂතම වාදක මණ්ඩලයක් විසින් සංගීතය මෙහෙයවනු ලබන මෙම ප්‍රසංගයේ පිටපත පුෂ්කර වන්නිආරච්චි විසින් ලියන ලද්දකි.


 

30 වැනි සංවත්සරය සමරයි!

ධාරණ නාට්‍ය කණ්ඩායමෙන් ඔබට ඇරැයුම්

ධාරණ වීදි නාට්‍ය කණ්ඩායම ඔවුන්ගේ 30 වැනි සංවත්සරය සමරන්නයි මේ සූදානම් වෙන්නේ.

ඇන්ටන් මිහිඳුකුල, කුමුදුනී මිහිඳුකුල ඇතුළු සියලු දෙනාගේම සහයෝගයෙන් මෙවර පවත් වන්නේ යාතිකා කියන විකල්ප නාට්‍ය සංදර්ශන මාලාවක්.

ඒ වගේම නාට්‍ය වැඩමුළු මාලාවක්, මෘත ශරීරාගාරය නමින් වේදිකා නාට්‍යයක් ද වේදිකා ගත වෙනවා. යාතිකා විකල්ප නාට්‍ය සංදර්ශනය පැවැත් වෙන්නේ මේ මාසයේ 28 වැනිදා මීගමුව අක්කර පනහ සමෘද්ධිගම තරුණ ශාලාවේදී.

මේ හැම අංගයක්ම ඔබ වෙනුවෙන් වේදිකා ගත වුණත් ඔබ වෙනුවෙන්ම වෙන් වූ වැඩ මුළුවක් පැවැත්වෙන බව ඔවුන් කියන්නේ සතුටින්. ඊට ඔබ කැමැත්තක් දක්වනවා නම් වැඩි විස්තර 2/4, විජය පාර, 3 කුරණ, මීගමුව යන ලිපිනයට, ලිපිනය ලියූ මුද්දර කවරයක් හා අයැදුම්පතක් යොමු කිරීමෙන් දැනගන්නට හැකියි.වැඩ මුළුවෙන් පස්සේ ඔවුන්ගේ නිර්මාණවලට සහභාගි වීමට ද ඔබට අවස්ථාවක් ලැබෙන බවත් ධාරණ වීදි නාට්‍ය කණ්ඩායම පවසනවා.


කවරයේ කතාව

මේ දිනවල පුංචි තිරයේ දිග හැරෙන ආදරියේ ටෙලි සිතුවමේ අසංකාගේ චරිතයට ජීවය දෙන පියුමි පුරසිංහ අද සරසවිය කවරය සරසයි. ඉකුත්දා යුග දිවි ඇරැඹූ පියුමි ‘ආදරේ අහස තරම්’ සහ ‘උත්පලා’ ටෙලි නාට්‍යය ඔස්සේ ඔබ හමු වෙයි.

රිදී තිරයත් රංගනයෙන් හැඩ කළ පියුමි ඉදිරියේදී විකාශය වීමට නියමිත ‘සුපිරි වාසනා’, ‘මුතු කුඩයක් යට’ ඇතුළු ටෙලි නාට්‍යය ගණනාවක් සඳහා රංගනයෙන් දායක වී ඇත.


හල්පිට සමුගෙන වසර හයයි

අතිශය ජනප්‍රිය ගී පද රචකයකු හා ප්‍රවීණතම නිවේදකයකු ලෙස ශ්‍රී ලාංකේය කලා කෙත සුපුෂ්පිත කළ හේමසිරි හල්පිටයන් දැයෙන් සමුගෙන මෙම 28 (අනිද්දා) වැනිදාට වසර හයක් සපිරේ.

සොඳුරු මතකයන් රැසක් අප හදවත් හි ඉතිරි කරමින් සියල්ලන් හැර ගිය හල්පිටයන් වෙනුවෙන් 28 වැනි දින දානමය පුණ්‍යකර්මයක් ඔහුගේ දයාබර බිරිය ධම්මි හල්පිට, පුතු දිනූෂ හල්පිට සහ ලේලිය පත්මි හල්පිට ගේ ප්‍රදානත්වයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇති අතර වසර අවසානයේ හල්පිටයන් අනුස්මරණය කරමින් ඔහු අතින් ලියැවුණු ජනප්‍රිය ගී ඇතුළත් සී. ඩී. තැටි දෙකක් එළි දැක්වීමට සහ ගී ප්‍රසංගයක් පැවැත්වීමට ද ඔවුන් බලාපොරොත්තුවෙන් සිටී.