වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




නමක් නැති මිනිසාගේ නිමක් නැති පෙම් කතා - 3

 නමක් නැති මිනිසාගේ නිමක් නැති පෙම් කතා - 3

අනියම් පෙමකින් ක්ලින්ට් පියෙක් වෙයි

ක්ලින්ට් මැගී ජොන්සන් හා විවාහ වූ බව සත්‍යයකි. එහෙත් දශක ගණනාවකට පසු ඔහු එය තමා අතින් සිදු වූ වරදක් බව පිළිගත්තේ මේ ආකාරයෙන් මාධ්‍යවේදියකුට පවසමිනි. ‘අපේ විවාහ ජීවිතයේ පළවෙනි වර්ෂය ඉතාමත්ම අසීරු කාලයක් වුණා විවාහ වීමට මා ගත් තීරණය වැරැදි සහගත බව මම ඉක්මනින්ම වටහා ගත්තා.

තනිකඩයෙක් හැටියට ජීවත් වුණා නම් හොඳ යැයි මට සිතුණා. මම හැමදාමත් හිතට හිතුණ දේ කළ මිනිහෙක්. කවුරුවත් ඒවාට බාධා කරනවාට මම කැමති වුණේ නැහැ. වාසනාවකට වගේ මැගී කාලයත් එක්ක ඒ ටික තේරුම් ගත්තා. ඒ ටික එයා තේරුම් නොගත්තා නම් අනිවාර්යයෙන්ම වසරක් දෙකක් ඇතුළත අපේ විවාහය අවසන් වෙන්න ඉඩ තිබුණා.’

මේ සමකාලීනව ක්ලින්ට්ගේ ජීවිතයට මැගී හැරෙන්නට සමීප වූ තවත් කාන්තාවක් සිටියේ නම් ඒ ජේන් කැමරන් අගීය. ඇය එක අතකට ඔහුගේ ජීවිතයට ළංව සිටියේ සමීපතම මිතුරියක පරිද්දෙනි. දෙදෙනා අතර ලිංගික සබඳතාවක් තිබුණේ ද යන්න දන්නේ ඒ දෙදෙනා සහ දෙවියන් පමණකි. නමුත් එසේ තිබුණේ යැයි සිතෙන්නේ ක්ලින්ට් පසු කලෙක ජේන් අගී ගැන පැවසූ මේ කතාවෙනි.

‘ජේන් හරිම පුදුම ගැහැනියක්. ඇය කිසි විටෙක මගේ ජීවිතයට ළං වූ මැගී ගැන හෝ වෙනත් කාන්තාවන් ගැන විරුද්ධත්වය පළ කළේ නැහැ.’

පසු කලෙක ඇය සිනමා නළුවකු වූ ජෝෂ් බ්‍රෝලින් හා විවාහ වූවාය.

1955 දී ක්ලින්ට් සිනමා පට හතරක ඉතා සුළු චරිත නිරූපණය කළේය. 1959 වසර දක්වා ඔහුට සිනමාවේ ඉතා සුළු චරිත මිස අඩුම තරමින් උප ප්‍රධාන චරිතයක්වත් ලැබුණේ නැත. කෙසේ වෙතත් ඔහු රූපවාහිනී මාලා ටෙලි නාටක කිහිපයක ද රඟපාමින් සිටියේය. නමුත් ප්‍රේක්ෂක අවධානය දිනා ගත් චරිතයක් ඔහු වෙත ලැබුණේ 1959 සිට 1963 දක්වා කාලය අතර විකාශනය වූ ‘රවුඩි’ මාලා ටෙලි නාටකයෙනි. එම කාලය ඇතුළත ටෙලි නාට්‍ය කෙරේම කැප වූ ක්ලින්ට් එකම චිත්‍රපටයත හෝ රඟපෑවේ නැත.

මාලා ටෙලි නාට්‍යවල ‘ස්ටන්ට් නිළියක’ ලෙස කටයුතු කළ රොක්සානේ ටියුනිස් ක්ලින්ට් හට මුණ ගැසුණේ 1963 වසරේදීය.

‘මුලින්ම අපි ඉතාමත් හොඳ මිතුරන් වුණා. ක්ලින්ට් අද රොක්සානේ හා පැවැති ඇසුර ගැන පවසන්නේ එසේය.

‘ඒ සමකාලීනව මාත් මැගීත් අතර ඒ තරම් හොඳ සම්බන්ධතාවක් තිබුණා කියලා කියන්න බැහැ. අපට දරුවන් හිටියේ නැහැ. මම හිතුවක්කාරයෙක් වගේ මට ඕන දේවල් කළා. මැගී හැම දෙයක්ම ඉවසා ගෙන නිශ්ශබ්දව හිටියා.’

විවාහක හා විසි නව හැවිරිදි කාන්තාවක වු රොක්සානේ ඒ වන විට තම සැමියාගෙන් වෙන්ව සිටියාය. ඇයට ක්ලින්ට් බෙහෙවින් කැමති වූයේ ඇය නිදහස් හා ස්වාධීන දිවි පෙවෙතක් ගත කළ හෙයිනි. කිසිවතු වෙත තම ජීවිතයේ බර දෙන්නට ඇය කැමති වූයේ නැත.

ක්ලින්ට් හා රොක්සානේ අතර සම්බන්ධතාව දුර දිග ගියේය. 1963 වසර අග වන විට ඇය වටහා ගත්තේ තමා ක්ලින්ට් නිසා ගැබ්ගෙන ඇති බවයි. ඒ පිළිබඳ ඇය ඔහුට කිසිවක්ම නොකියා හදිසියේ අතුරුදන් වූවාය.

එය නිදහස් අදහස් දැරු රොක්සානේ ගේ ස්වභාවය වූ නිසාම ක්ලින්ට් ඒ පිළිබඳ වැඩිදුර කල්පනා කළේ හෝ කලබල වූයේ ද නැත.

එමෙන්ම රොක්සානේ කෙටි කලකට තමාගෙන් ඈත් වී සිටින්නේ තම ලෙයින් හැදුණ දරුවකු කුස දරාගෙන බව ද ක්ලින්ට් දැන සිටියේ නැත.

රොක්සානේ එසේ තම ගර්භණීභාවය තනිවම පිළිගත්තේ ඇයි? සමහර විට ඒ බව දැනගතහොත් ඊට ක්ලින්ට් දක්වන ප්‍රතිචාරය පිළිබඳ ඇය බිය වූවා වන්නට පුළුවන.

කෙසේ වෙතත් ක්ලින්ට් හට ඒ වන විට රොක්සානේ පිළිබඳ සිත සිතා සිටින්නට කාලයක් තිබුණේ නැත.

ඒ සර්ජියෝ ලියොනි නමැති අධ්‍යක්ෂවරයාගේ ‘ෆිස්ට් ෆුල් ඔෆ් ඩොලර්ස්’ යන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඔහුට පැවරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වෙමින් තිබූ හෙයිනි. අවසානයේ ක්ලින්ට් ඊස්ට්වුඩ් නමැති නළුවාගේ දෙවැනි උපත සනිටුහන් කළ එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑම ක්ලින්ට් හට බාර වූයේය.

ක්ලින්ට්ගෙන් ඈත්ව නිහඬව සිටි රොක්සානේ ටියුනිස් සෙඩාර්ස් සිනායි රෝහලට ඇතුළු වූවාය. 1964 ජූනි 17 දා ඇය දියණියකට උපත ලබා දුන් අතර එම බිලිඳියට කිම්බර් ටියුනිස් යන නම ද තැබුවාය. රොක්සානේ තම දියණියට ක්ලින්ට් ගේ වාසගම තබන්නට උත්සුක වූයේ නැත.

කලකට පසු ක්ලින්ට්ට රෙක්සානේගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.

‘මාව බලන්න එන්න. ඔයාට පෙන්නන්න යමක් තියෙනවා’ ඇය කීවාය.

‘මට පෙන්වන්න? මොනවාද?’ ඔහු විමසුවේය.

‘එහෙම කියන්න බැහැ. එන්න’ ඇය තමා සිටින තැන පිළිබඳ ක්ලින්ට්ට විස්තර කළාය.

ක්ලින්ට් රොක්සානේ දුන් ලිපිනයට ඇය සොයා ගියේය.

රොක්සානේ ක්ලින්ට්ගේ දෑත් මත කිම්බර් දියණිය තබන විට ඔහු ගල් ගැසුණේය.

‘ඔයාගේ දරුවා’ රොක්සානේ කීවාය.

‘මගේ?’

‘ඔව් . . . ඔයාගේ’ රොක්සානේ පැවසුවේ සිනාසෙමිනි.

එහෙත් රොක්සානේ දැරිය හදා වඩා ගන්නට ක්ලින්ට්ගේ උපකාර අවශ්‍ය යැයි කීවේ නැත. තමා හා දැරිය ඇසුරේ වැඩි කාලයක් ගත කරන්නැයි ක්ලින්ට් හට බල කළේ ද නැත.

එපමණක් නොවේ. ක්ලින්ට් ඊස්ට්වුඩ් ඩොලර් චිත්‍රපට හරහා හොලිවුඩයේ ඉහළම ජනප්‍රියත්වයක් ලබන විට පවා රොක්සානේ තමා හා ක්ලින්ට් අතර පැවැති ඇසුර හා ඔහුට දාව උපන් දරුවා පිළිබඳ මාධ්‍යයන්ට හෙළි කරමින් අනවශ්‍ය වාසි ලබා ගන්නට උත්සාහ කළේ නැත.

ඇය දිගින් දිගටම කීවේ ‘ක්ලින්ට් තමාගේ මිතුරකුª පමණි’ කියාය.

වෙස්ට් සයිඩ් ස්ටෝරි (1961), ද බර්ඩ්ස් (1963) හා බ්ලූ සිටි (1986) යන චිත්‍රපට තුනේ පමණක් ඉතා සුළු චරිත රඟපෑ රොක්සානේ ක්ලින්ට් හා තමා අතර පැවැති ඇසුර යාන්තමට හෝ හෙළි කළේ 1986 දී පමණය.

කෙසේ වෙතත් ඩොලර් චිත්‍රපට සාර්ථක වෙද්දී ක්ලින්ට් මැගී ජොන්සන් වෙත යළි සමීප වී සිටියේය.

‘අලුත් ජනප්‍රියත්වයත් එක්ක හොලිවුඩයේත්, ඉන් පිටතත් බොහොම උත්සවවලට, සාදවලට මට ආරාධනා ලැබුණා. ඒවාට තනියම සහභාගි වෙන්න බැරි වුණා. මැගී එක්ක ඒවාට සහභාගි වෙද්දී අපි අතරේ සම්බන්ධතාව ආයෙමත් අලුත් වුණ බවක් දැනුණා’ ක්ලින්ට් සිය චරිතාපදානයේ සඳහන් කරයි.

කෙසේ වෙතත් තම සැමියා යුග දිවියෙන් පිටත දියණියකගේ පියකු බව මැගී දැන සිටියේ නැත. එහෙත් මවකවීමේ අවශ්‍යතාව ඇයට තදින් දැනෙමින් තිබිණි.

ලබන සතියේ මැගීට මවු පදවිය