වර්ෂ 2012 ක්වූ අප්‍රේල් 26 වැනිදා බ්‍රහස්පතින්දා




ඓශ්වර්යා ආයෙත් ගැබිනියක්

ඓශ්වර්යා ආයෙත් ගැබිනියක්

රඟපෑවත්, රඟ නොපෑවත් ඇය ගැන කෙරෙන කතා බහ නම් නිමක් නැත. ඓශ්වර්යා රායි බච්චන් මීළඟ සිනමා රංගනය ගැන කතා නොකරන්නේ යළිත් මවක වීමේ කැමැත්තෙන් සිටින නිසා කියා පසුගියදා රාවයක් පැතිරුණි.

අලුත්ම ආරංචියට අනුව ඈෂ් දූ සිඟිත්තිය, ආරධ්‍යා සමඟ ප්‍රංශයේ කාන් සිනමා උළෙලට යාමට සූදානමින් සිටින්නීය. මේ ආරධ්‍යාගේ දෙවැනි විදෙස් ගමනයි. එහිදී ඇයට ඡායාරූප ශිල්පීන්ගෙන්, කැමරා ශිල්පීන්ගෙන් බේරුමක් ලැබේවිද?

ඈෂ්ගේ මුහුණ කෑන්ස් උළෙලේ සුපුරුදු මුහුණකි.

ඈෂ් මේ ගත කරන්නේ සතුට උතුරා යන කාලයකි. ඈෂ් - අභි යුවළ අප්‍රේල් 20 වැනිදා සැමරුවේ පස් වැනි විවාහ සංවත්සරයයි. ඇය ආරධ්‍යාට පසුගිය දිනක පෝලියෝ එන්නත ලබා දුන්නාය.


නැවත හාදු ඔට්ටු නෑ

‘යේ ජවානි හයි දීවානි’ සිනමා පටයේ රඟන්නට දීපිකා පදුකෝන් සහ රන්බීර් කපූර් හිටපු පෙම්වතුන් යුවළ එක් වූයේ අතීතය, රංගනයට බාධාවක් නොවන බව පවසමිනි.

එහෙත් එහි අධ්‍යක්ෂ ආයන් මුඛර්ජි රූගත කිරීම්වලදී පිටපතේ තිබූ සිප වැළැඳ ගැනීමේ දර්ශන කිහිපයක්ම ඉවත් කර තිබේ. එසේ කර ඇත්තේ ඒ දර්ශනවලින් දෙදෙනාම අපහසුතාවට පත් විය හැකි බව ආයන් හොඳටම දන්නා නිසයි.


අලුතින් හිතන බොලිවුඩ් චිත්‍රපට

සාම්ප්‍රදායික ගති සිරිත් පිරි භාරතයේ සම්මතයෙන් බැහැර වී උඩුගං බලා යාම පහසු කාරණයක් නොවේ. එහෙත් බොහෝ අසම්මත පණිවුඩ අපූරුවට කා වැද්දීමේ හැකියාවක් මායාකාර සිනමා සිත්තමකට තිබේ.

ඒ සිනමා සිත්තමක රජ කරන්නේ ඔවුන්ගේ සිත්වල රජ කරන දේවතාවන් සහ දේවතාවියන් නිසයි.

‘විකි ඩෝනර්’ විසි එක් වැනි සියවසේ බොලිවුඩ් නිර්මාණ අතර උඩුගං බලා යන එවන් සිනමා පටයකි.

ආදරයයි, හාස්‍යයයි එකට කැටි කළ මේ සිනමා පටය ශුක්‍රාණු පරිත්‍යාගය, මඳසරු බව කතා තේමාව කරගත් වෙනස්ම නිර්මාණයකි. සිනමා පටය නිෂ්පාදනය කරන්නේ ජෝන් ඒබ්‍රහම්ය.

මෑතක සිට බොලිවුඩය නව විෂය තේමාවන් කතා කිරීමට වැඩි කැමැත්තක් දක්වන පාටය. ‘ඩිස්ලෙක්සියා’නම් ඉගෙනුම් දුෂ්කරතාවෙන් පීඩා විඳින දරුවකු වටා ගෙතුණු ‘තාරේ සමින් පර්’, ‘ඩිල්ලි බෙලි’, ‘අබ් හෝගා ධර්නා අන්ලිමිටඩ්’ වෙනස් මඟක් ගත් කතා තේමාවන්ට හොඳම උදාහරණය.


ත්‍රිමාන මනිෂා

2003 වසරේ තිරගත වූ ‘භූත්’ භයංකර මතකයක් රැඳ වූ සිනමා සිත්තමකි. මෙහි දෙවැන්නට ද දැන් පිඹුරුපත් සැකසී අවසානය. දෙවැන්නෙහි විශේෂත්වය වන්නේ කලකට පසු අති දක්ෂ රංගන ශිල්පිනියකගේ, තවත් අපූරු භූමිකාවක් දකින්න ලැබෙන නිසයි.

මේ සුවිශේෂී නිළිය මනිෂා කොයිරාලය.

ඇය අවසන් වරට රඟපෑවේ ජාතික සම්මානයට පාත්‍ර වූ ‘අයෑම්’ සිනමා පටයේය.

‘භූත්’ දෙවැන්නෙහි නම ‘බූ . . .’ ය. එය හය හැවිරිදි දැරියක වටා ගෙතුණු වෙනස්ම කතාවක් බව සිනමා පටයේ අධ්‍යක්ෂ රාම් ගෝපාල් වර්මා පවසයි.

ත්‍රිමාන තාක්ෂණය භාවිත කරමින් අගෝස්තු අවසානයේදී සිනමා පටය රූගත කිරීමට නියමිතයි.


නම බාර්බි ඩෝල්

ඇය බොලිවුඩයේ අංක එකේ වැජඹෙන්නියයි. එසේ නම් ඇය සින්ඩරෙල්ලාවක් වීම, රතු හැට්ටකාරියක් වීම අරුමයක්ද? සුරූපී කත්‍රිනා මේ චරිත රඟන්නේ සිනමා පටයකට නම් නොවෙයි. චොකලට් දැන්වීමකටයි.

කත්‍රිනා බොලිවුඩයේ පළමු බාර්බි බෝනික්කියයි.

කත්‍රිනා මේ දැන්වීමේ පෙනී සිටීමට දිනකට රුපියල් කෝටි 1 – 1.25 ක් අය කර තිබේ. කරීනා ද දැන්වීමකට පෙනී සිටීමට දිනකට එවැනි මුදලක් අය කරන්නීය.