ගිය වසරේ අයියා මේ වසරේ මල්ලී

දසුන් මධුශංක - සචින් චතුරංග

අම්මාගේ අතැඟිල්ලේ එල්ලුණු පුංචි පුතා සිනමා ශාලාවට ඇතුළු වුණේ අයියාගේ දස්කම් බලන්න. හැබැයි පුංචි තිරයේ හිටියේ එයාගේ අයියා වෙනුවට පුංචි භික්ෂුන් වහන්සේ නමක්. පුංචි සංජුට අයියාව හඳුනා ගන්න නම් අමාරු වුණේ නෑ.

ඔහොම ටික වෙලාවක් රිදී තිරයේ දිග හැරෙන ‘සූරිය අරණ’ දිහා බලා සිටි සංජු ගේ හිතට එක පාරටම කේන්තියක් ආවා. පුංචි සංජු කොහොම හරි චිත්‍රපටය අවසන් වන තෙක් ඉවසා ගෙන හිටියා. සූරිය අරණ නිමා වුණි. ඒ සැනින් සංජුගේ නෙත ගැටුණේ අයියාට කැටපොල්ලෙන් ගැසූ සජිත් අයියා. වහා සජිත් ළඟට දිව ගිය සංජු ඇසුවේ ‘ඇයි අපේ අයියාට ඔයා ගැහුවේ’ කියලා.

එදා සිනමාවේ මායාව නොදැන සිටි සංජු එසේත් නැත්නම් සචින් චතුරංග 2010 වසරේ රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලබන්න තරම් වාසනාවන්ත වුණා.

ඉතින් සචින් දැන් ඔයත් සම්මානනීය ළමා නළුවෙක් නේද?

මගේ පැනයත් සමඟ සචින්ගේ මුහුණේ ඇඳුණේ අහිංසක සිනහවක්.

ඔව්, සසර ඉම ටෙලි නාට්‍යයේ මම රඟපෑ හාමුදුරුවන්ගේ චරිතයට තමයි මට හොඳම නළුවා සම්මානය ලැබුණේ.

2009 වසරේදී එම සම්මානයේ සම්මානලාභියා වුණේ සචින් චතුරංග ගේ අයියා. ‘සූරිය අරණ’ චිත්‍රපටය ඔස්සේ ඔබ හමු වූ දසුන් මධුශංක, සචින් චතුරංගගේ අයියා.

දසුන්ට මල්ලි ගැන මොකද හිතෙන්නේ?

මගේ මල්ලි ගැන නම් මට ගොඩාක් සතුටුයි. 2009 වසරේදී ‘සමනළුන්ට වෙඩි තියන්න’ ටෙලි නාට්‍යයේ මගේ රංගනය වෙනුවෙන් මට ලැබුණු සම්මානය මෙවර මල්ලිට ලැබීම ගැන මගේ හිතේ තියෙන්නේ ඇත්තටම කියා ගන්න බැරි තරම් සතුටක්. මගේ මල්ලි විතරක් නෙමෙයි ඕනෑම කෙනෙක් මට වඩා ඉදිරියට යනවාට මං කැමතියි. කවුරුන් හෝ හැකියාව නිසා ඉදිරියට යෑම තුළින් සිදු වෙන්නේ එම ක්ෂේත්‍රයේ දියුණුවක්.

අයියයි මල්ලියි එකට රංගනයේ යෙදිලා නැද්ද?

‘ධවල කඩුල්ල’ ටෙලි නාට්‍යයේ අපි දෙන්නම රඟපෑවා. මල්ලි කළේ මගේ කුඩා කල චරිතය. මම හිතනවා අපි දෙන්නා අපි දෙන්නා ගැන හොඳට දන්න නිසා අපිට ඒ චරිතවලට සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියලා.

දසුන් කළ චරිතවලින් වඩාත්ම කැමැත්තෙන්ම කළ චරිතය මොකක්ද?

සූරිය අරණේ හාමුදුරුවන්ගේ චරිතයට.

ඇයි ඒ ?

මම ප්‍රේක්ෂකයන් අතරට එන්නේ ඒ චරිතයෙන්. ඒ වගේම ඒ චරිතය පෞද්ගලිකව මගේ ජීවිතයට හරිම සුවිශේෂීයි. පුංචි කාලේ ඉඳලා අපි ගෙවල් ළඟ ආරාමෙකට යනවා. අපි ඒ ආරාම වත්තේ සෙල්ලම් කරලත් තියෙනවා. ඒ අත්දැකීම් සමඟ මම චරිතය කළ නිසා තමයි මට, සරසවිය සහ ජනාධිපති යන සම්මාන උලෙළවල්වලදී මම ඇගයීමට ලක් වුණේ.

අයියාටයි මල්ලිටයි හොදටම හාමුදුරුවන්ගේ චරිත රඟපාන්න පුළුවන් නේද සචින්?

අපොයි ඔව්. මට හොඳම ළමා නළුවා සම්මානය ලැබුණේ සසර ඉම ටෙලි නාට්‍යයේ මම කරපු හාමුදුරුවන්ගේ චරිතයට.

සචින් දක්ෂ රඟපාන්න විතරක් නෙමෙයි.

ඔව්, මට සිංදු කියන්නත් පුළුවන්. මම ‘සුවඳ දිදී’ නමින් සී. ඩී. තැටියකුත් කළා. දැන් මට ඕන අයියාත් එක්ක සිංදුවක් කියන්න ඒකත් මම ඉදිරියේදිී අනිවාර්යයෙන්ම කරනවා.

සචින් දැන් පාසලේ කීය වසරේද?

අට වසරේ.

සචින්ගේ අනාගත බලාපොරොත්තු?

ගායනයෙන් හෝ රංගනයෙන් ලංකාවේ පිළිගත් නාමයක් ගොඩ නඟා ගන්න.

දසුන්ට රංගන ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

මට මේ කෙටි කාලය තුළදී එකිනෙකට වෙනස් චරිත කරන්න ලැබීම ඇත්තටම මගේ වාසනාවක්. රංගන කටයුතු නම් මම කරගෙන යන්නේ හරිම ආසාවෙන්. ඉදිරියේදී මල්ලී නම් මුතූ ටෙලි නාට්‍යයෙන් ආදරණීය ප්‍රේක්ෂකයන් හමුවෙන්න එනවා. හැබැයි මම නම් මේ දිනවලදී ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ මගේ අධ්‍යාපන කටයුතුවලට. මොකද මම මෙවර ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා.

දසුන්ගේ අනාගත බලාපොරොත්තුව?

දක්ෂ චරිතාංග නළුවෙක් වෙන්න.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව