විවාහ වෙන්න නොදෙනවායි පැරණි පෙම්වතාගෙන් තර්ජනයක්

කෑගල්ලේ රසිකාවියකගෙන් ආයාචනයක්

‘ආදරණීය උපේක්ෂා’

මේ වන විට ආදරණීය උපේක්ෂා ජනප්‍රිය විශේෂාංගයක් වී හමාරය. වෙනදාට වඩා උපේක්ෂා දැන් ඔබට සමීපය. ඒ ඔබ වෙනුවෙන් ඈ ඇගේ වටිනා සිතුවිලි දිග හරින බැවිනි. පසුගිය සති කිහිපය තුළ ‘ආදරණීය උපේක්ෂා’ ට ලැබුණු ලිපි රාශියකි. ඒවාහි ඇත්තේ බොහෝ සංවේදී පුවත්ය. ඉන් කිහිපයක් උපේක්ෂාට යොමු කොට ඇගේ අදහස් කිහිපයක් අපි ලබා ගත්තෙමු.

‘ආදරණීය උපේක්ෂා’ පිළිබඳ තවත් දෙයක් කිව යුතුයි. ඒ මීට ලැබෙන ප්‍රතිචාර ගැනය. ඒවා පසුගිය දිනවල උපේක්ෂාට ලැබුණු අදහස් උදහස්වලට සමානය. කෙටියෙන්ම කිව්වොත් මල් මෙන්ම ගල් ද මේ සඳහා එවන්නෝ වෙති. සමහරෙක් ‘ආදරණීය උපේක්ෂා’ සඳහා කෙළින්ම චෝදනා එල්ල කරති. ඒවා මඟින් පළමුව සඳහන් කළ අදහස වඩාත් තීීව්‍ර වේ. ඒ ‘ආදරණීය උපේක්ෂා’ බෙහෙවින් ජනප්‍රිය බවය.

මම නිවුන් දරුවන් දෙදෙනෙක්ගේ මවක්. දුවගෙයි පුතාගෙයි වයස අවුරුදු 4 යි මාස 2 යි. මගේ දරුවෝ දෙන්නාම කලාවට යොමු කරන්න මට ලොකු ආසාවක් තියෙනවා. ආදරණීය උපේක්ෂා මගේ බලාපොරොත්තුව ඉටු කර ගන්නේ කොහොමද?

ගාල්ලේ - චම්පිකා නේරංජනී

වෙළඳ දැන්වීම් නිර්මාණය කරන ආයතන තියෙනවා. එම ආයතනයකට ඔබ අයදුම්පතක් යොමු කරන්න. ඊට පස්සේ ඒ අය දරුවෝ ස්ක්‍රීන් ටෙස්ට් එකකට යොමු කරනවා. දරුවන්ට යම් වෙළඳ දැන්වීමකට අවස්ථාව ලැබුණොත් එම ආයතනය ඔබට දන්වයි. හැබැයි චම්පිකා පුංචි දරුවෝ හරියට මල් වගෙයි කියන දේ නම් අමතක කරන්න එපා. පුංචි දරුවන්ගේ මනස බොහොම සැහැල්ලුවෙන් තියෙන්න ඕනෑ. ඒ වගේම දරුවන්ව රංගනය සඳහා යොමු කරනවා නම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා නොවීමේ වගකීමත් ඔබ භාර ගත යුතුයි. දරුවෝ බොන වතුර වීදුරුවේ සිට දරුවන්ගේ සෑම දෙයක් සම්බන්ධයෙන්ම ඔබ අවධානයෙන් සිටින්න.

අක්කේ, මම සහ මගේ පෙම්වතිය එකම ආගමේ නෙමෙයි. ඒ හේතුව නිසාම පමණක් අපේ සබඳතාවයට අපි දෙන්නාගේම මව්පියන් විරුද්ධයි. අපිට අපේ දෙමව්පියන්ගේ හිත් රිද්දන්නත් බෑ. මේ සම්බන්ධය නවත්වන්නත් බෑ.

රුක්ෂාන් සහ රුවන්ගනී - මාරස්සන

අපේ ජීවිතයේ ඕනෑම දෙයක් සාර්ථක කර ගන්න නම් මව්පියන්ගේ ආශිර්වාදය අවශ්‍යයි නෙවෙයි අත්‍යවශ්‍යයි. නංගියි මල්ලියි දෙන්නම මේ ප්‍රශ්නය ගැන බොහොම ඉවසිමෙන් දෙමව්පියන් එක්ක සාකච්ඡා කරන්න. ඒ අයට තේරුම් කරලා දෙන්න වෙනත් ආගම්වල අය වුණත් සාර්ථකව යුග දිවිය ගත කරන්න පුළුවන් කියලා.

මම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවක්. අපේ අසල්වැසි නිවසේ අය මුළු දවස තිස්සේම රේඩියෝ එක මහා සද්දෙන් දානවා. අනේ අක්කේ ඒ ශබ්දය මගේ පාඩම් කටයුතුවලට මහා හිරිහැරයක්. ඒ අයට බොහොම කරුණාවෙන් මගේ අපහසුතාවය කිව්වත් කිසිම ඵලක් නෑ. දැන් වෙනදාටත් වඩා රේඩියෝවේ ශබ්දය වැඩියි.

නිපුනි - පැපිලියාන

රේඩියෝ එකේ ශබ්දය ගැන ඔයා හිතනවා වැඩියි නංගෝ. හැම දේකටම මුල් වෙන්නේ අපේ හිත. නංගි හිත ශක්තිමත් කරගෙන පාඩම් වැඩ ටික කරගෙන යන්න. ඔයිට වඩා අපහසුතා මැද ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගෙන ජීවිතය ජය ගත් අය ඉන්නවා. බාධා හමුවේ නොසැලී අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න.

අක්කේ, මගේ අක්කාට සෞදි අරාබියේ රැකියාවක් ලැබුණා. එම රැකියාව සොයා ගත්තෙත් ගෙදර තියෙන අඟ හිඟකම් නිසාමයි. ඒත් මැදපෙරදිග යන තරුණියන්ට සිදුවන කරදර මම දැකලා, අහලා තියෙනවා. ඒ නිසා මට අපේ අක්කා ගැන හරිම බයයි.

තරින්ද - වෙන්නප්පුව

මැද පෙරදිග යන හැමෝටම කරදර ඇති වෙන්නේ නෑ මල්ලී. යම්කිසි ගැටලුවකට මුහුණ දෙන්න සිදු වුණොත් අක්කාට ඒ ගැන හිත හිත ඉවසගෙන ඉන්න එපා කියන්න. අක්කාට හිරිහැරයක් සිදු වුණු වහාම නීතියේ පිහිට පතන්න පුළුවන්.

මම මීට මාස දෙකකට පමණ පෙර ප්‍රේම සබඳතාවක් පැවැත් වූවා. ඒත් ඔහු විවාහක අයෙකු බව දැනගත් වහාම මම ඒ සම්බන්ධය නැවැත්වූවා. ඒත් අක්කේ මම සහ ඔහු එකට සිට ගත් ඡායාරූපයක් ඔහු ළඟ තියෙනවා. අනේ දැන් ඔහු එම ඡායාරූපය ඔස්සේ මාව බ්ලැක් මේල් කරනවා. මට කිසිවෙකු සමඟ විවාහ වන්නට ඉඩ නොදෙන බව පවසමින් දුරකථන ඇමතුම් ද ඔහු මට ලබා දෙනවා.

තුෂාරි මංජුලා - කෑගල්ල

තුෂාරි මුලින්ම ඔහුගෙන් ලබෙන තර්ජනාත්මක දුරකථන ඇමතුම් සූක්ෂම ලෙස පටිගත කර ගන්න. නංගි ළඟ ඡායාරූපයේ කොපියක් තියෙනවා නම් ඒ සියලු සාක්ෂි සමඟ ඔබ නීති මඟට යොමු වන්න.

මගේ වයස අවුරුදු 19 යි. දැනට නම් මම දුර ගමන් බස් රථයක කොන්දොස්තරවරයෙක් ලෙස රැකියාව කරනවා. ඒත් අක්කේ මම උසස් පෙළ විභාගය නොකළේ අදක්ෂකම නිසා නම් නෙවෙයි. අඟ හිඟකම් නිසා. ඒත් බස් එකට පාසල් ළමයි නැග්ගම සමහර වෙලාවට මගේ හිතට කේන්තියක් ඇවිත් නිකරුණේ ඒ අයට බනිනවා. ඒත් තවත් වෙලාවකට මටම ඒ අය ගැන දුක හිතිලා අඩුවෙන් මුදල් ගන්න අවස්ථාත් තියෙනවා. අනේ අක්කේ, මට හිත හදා ගන්න මාර්ගයක් කියන්න.

නිරෝෂ් - අකුරැස්ස

තමන්ගේ අඩු පාඩුකම් නිසා අනිත් අයව පීඩනයට ලක් කරන්න එපා නිරෝෂ්. ඔයා ජීවිත කාලයම ඔය රස්සාව කරන්න ඕනේ නෑ. දැන් රැකියාවෙන් ලැබෙන මුදලින් යම් මුදලක් ඉතිරි කරගෙන තව අවුරුදු පහකින් හෝ ඔයාගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න.

ඒ අතරේදී ඔයාගේ ඒ අරමුණ ප්‍රයෝජනවත් වන ඩිප්ලෝමා පාඨමාලාවකුත් කරන්න. ජීවිතය ජය ගන්න ඔයාට පුළුවන් මල්ලී. ධෛර්යමත්ව ජීවිතයට මුහුණ දෙන්න.

මම එක්තරා රජයේ ආයතනයක කලක් කළමනාකරණ සහකාරවරියක් ලෙස කටයුතු කළා. එහෙත් එය ස්ථිර රැකියාවක් නෙමෙයි. නමුත් දැන් එම ආයතනයේම කාර්යාල කාර්ය සහායිකාවක් ලෙස ස්ථීර රැකියාවක් ලැබුණා. තනතුරින් පහළ වැටුණු මගේ රැකියාව දැන් මට මානසික වදයක්.

රංගිකා දිල්හාරා - අත්තිඩිය

රංගිකා මේ ගැටලුව නිසා නම් රාජකාරී කටයුතු අතපසු කර ගන්න නම් එපා. දැන් කරන රැකියාව කරන අතරවාරයේම වෙන රැකියාවක් සොයා ගන්න උත්සාහ ගන්න. රැකියාවක් නොලැබී දැන් කරන රැකියාවෙන් ඉවත් වෙන්න නම් එපා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව