මගේ නම රුක්මණී වූයේ රුක්මණී දේවි නිසා

ජයන්තා රුක්මණී සිරිවර්ධන

විද්වතුන් වූ රසවතුන් විශේෂාංගය සඳහා අද එක් වනුයේ විචාරකවරියක්, කිවිඳියක්, ගීත රචිකාවියක්, ලේඛිකාවක්, සාහිත්‍ය අනු මණ්ඩල සාමාජිකාවක්, ජනාධිපති, සරසවිය, සිග්නීස්, ස්වර්ණ සංඛ සම්මාන උළෙල ජූරි සභිකාවක් මෙන්ම වෙළඳ අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්, සමෘද්ධි අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, වනිතා කටයුතු අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ආදී රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ තනතුරු රැසක් හෙබ වූ ජයන්තා රුක්මණී සිරිවර්ධන මහත්මියයි.

* ඔබේ කලා රසඥතාවයේ ආරම්භය කොයි ආකාරයෙන්ද සිද්ධ වුණේ?

මගේ මව මායාවතී පෙරේරා. ඇය ගුරුවරියක්. පියා. ම. පී. ගුණදාස විදුහල්පතිවරයෙක් වගේම හෙළ හවුලේ සාමාජිකයෙක්. අම්මත් තාත්තත් යාළු වෙලා විවාහ වෙලා තියන්නේ දෙන්නට දෙන්නා කවි ලියලා. ඉඳුරුව ගමේ ගෙදර නිතර කෑම මේසයේදී පවුලේ කවුරුත් කලා කටයුතු ගැන කතා කරනවා. නාට්‍යය, චිත්‍රපට, නූර්ති, නාඩගම් ගැන තාත්තාට හොඳ දැනුමක් තිබුණා. නවකතා, කෙටි කතා පොත් පත් වගේම ගීත තැටි එකතුවක් තාත්තා සතු වුණා. නාඩගම් ගීත නූර්ති ගීත සඳහා තාත්තා වඩාත් ඇලුම් කළා. අම්මා වඩාත් ප්‍රිය කළේ රුක්මණී දේවිට. ඇය ගීතයක් අහලා අපෙන් අහනවා ගීතයේ වචනවල තේරුම. මේ වගේ පවුල් පරිසරය තුළ අප තුළ රස විඳීම වගේම භාෂා ඥාණයෙනුත් පෝෂණය වුණා.

* පියාත්, මවත් කලා රසවතුන් වීම ඔබටත් ලොකු ආශිර්වාදයක් වෙන්න ඇති?

නංගිලා දෙන්නයි, මල්ලිලා දෙන්නයි එක්ක මාවත් අම්මයි තාත්තයි නිතර චිත්‍රපට, වේදිකා නාට්‍යය, නූර්ති, නාඩගම් බලන්න එක්කන් ගියා. මට මතක හැටියට මුලින්ම මම චිත්‍රපටයක් බැලුවේ අවුරුදු හතේදී විතර. ඒ කලේ අපි කඩවත ප්‍රදේශයේ නැවතිලා හිටියේ. මුලින්ම බැලුවේ බෞද්ධාලෝකය චිත්‍රපටය කඩවත ඉහළ බියන්විල හෝල් එකක. චිත්‍රපටය බැලුවත් මට චිත්‍රපටය තේරුණේ නම් නෑ. හින්දි ගීත කීපයක් තිබුණා කියලා යම්තම් මතකයි.

* ඔබේ ජීවිතයේ මතකයේ රැඳුණු චිත්‍රපට අත්දැකීම මොකක්ද?

අම්මත් තාත්තත් එක්ක පොත්පත් ගන්න නිතර කොළඹ එනවා. ඒ ආ අවස්ථාවක ගාමිණී හෝල් එකේ සිරියලතා චිත්‍රපටය බැලුවා. මේ චිත්‍රපටය මගේ මනසට කම්පනයක් ඇති කළ චිත්‍රපටයක් වුණා. මේ කෘර ලෝකයේ ඇයි මා උපන්නේ, රූපය ශාපය වේ මාගේ . . . ගීතය ගායනා කරමින් රුක්මණී දේවි රඟපානවා දැකලා අම්මත් මමත් හොඳට ඇඬුවා මතකයි.

* දැනුම් තේරුම් ඇති වෙන කොට ඔබ වඩාත් සිනමාවට ඇලුම් කරනවා නේද?

අලුත්ගම මාලවන බෞද්ධ මහා විද්‍යාලයේ ගුරු නිවාසවල නැවතිලා ඉන්න කොට පාසලට අල්ලපු වත්තේ තමයි අලුත්ගම පොලීසිය තියෙන්නේ. පොලීසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කවරෙකු ආවත් ඔහුත් අපේ ගුරු නිවාසයේ අපිත් අතර සමීප මිත්‍රකමක් ගොඩ නැඟෙනවා. මේ මිත්‍රකම නිසාම පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලැබෙන ආරාධනාවලදී ඔහුගේ පවුලේ අයත් එක්ක මමත් තාත්තාගේ අවසර මධ්‍යයේ නිතර චිත්‍රපට බලන්න ගියා. ඒ ගිහින් බලපු මතක හිටින චිත්‍රපටයක් තමයි කුරුළු බැද්ද. හින්දි චිත්‍රපටත් බැලුවා. නූටාන්, නාර්ගිස්, වෛජයන්තිමාලා රඟපෑ චිත්‍රපට බලන්නත් මම ගොඩක් ආශා කළා.

* කුරුළු බැද්ද බලලා පුණ්‍යා හීන්දෙනියට ඔබ කවියක් ලිව්වා නේද?

මම ආශා කළ නිළිය වුණේ පුණ්‍යා හීන්දෙනිය. ඇගේ රඟපෑමට, ගැමි පෙනුමට වගේම අහිංසක කතාබහට මම පුදුම විදියට පෙම් බැන්ඳා. මගේ යාළුවන් වඩාත් ආශා කළේ ක්ලැරිස් ද සිල්වාට. අපි ඒ කාලේ යොවුන් වියේ දොරකඩ. සමහරු ක්ලැරිස්ව අනුකරණය කළා. මම පුණ්‍යාව අනුකරණය කරන්න ගියේ නැති වුණත් ඇයට මම ආදරය කළා. සිකුරු තරුව බලල මම ඇයට කවියක් ලියලා ඇරියා. එයට පිළිතුරක් ලෙස ඇය මට ලිපියක් එව්වා. මම පුණ්‍යාගේ පින්තූර එකතු කරලා පොතක් හැදුවා. ඒ පුණ්‍යා එව්ව ලිපිය, ඇගේ පින්තූර පොත මා ළඟ තවම තියනවා. මෑතකදී පුණ්‍යා ලංකාවට ආපු මොහොතක මම ලිපියත්, පින්තූර පොතත් ඇයට ගෙනිහින් පෙන්නුවා.

* තිරයේ දැක්ක නළු නිළියෝ සැබෑවට හමු වුණේ, දකින්න ලැබුණේ කොහේදීද?

විසිතුර පත්තරය 1963 දී විතර බෙන්තරට තරු පායයි යනුවෙන් නළු නිළියන් රැගෙන ඇවිත් උත්සවයක් සංවිධානය කළා. ඒ කාලේ නළු නිළියෝ කිව්වොත් මිනිස්සුන්ට දෙයියො වගේ. මහ සෙනඟක් බෙන්තරට එක් වුණා. මමත් යාළුවෝ එක්ක තරු බලන්න බෙන්තරට ගියා. සන්ධ්‍යා කුමාරි, රුක්මණී දේවි, ජීවරාණි, ගාමිණී ෆොන්සේකා වගේම ගායක ගායිකාවොත් ආවා. එතනට ආපු නන්දා මාලිනී රතු පාට ගවුමක් ඇඳලා හිටියේ. ඇය ගලන ගඟකි ජීවිතේ ගීතය ගායනා කළා. රුක්මණී දේවි නිල්පාට සාරියක් ඇඳලා හිටියේ. මේ තරු එකතුවට මිනිස්සු ආවේ කෝච්චිවල වහල උඩ, බස්වල වහල උඩ. ඒ තරම් ජන ගඟක් තරු බලන්න ආවා.

* රැඟුම්, ගැයුම්, වැයුම් වින්දනය කිරීම හැරුණු කොට ඒ සඳහා දායක වීමට අදහස් කළේ නැද්ද?

නැටුම්වලට වගේම චිත්‍ර ඇඳීමටත් මම කැමැත්තක් දැක් වූවා. මගේ තාත්තාට අවශ්‍ය වුණා මට නැටුම් උගන්වන්න. ඉඳුරුව අපේ ගෙදරට නැටුම් කණ්ඩායමක් ගෙන්නලා තාත්තා දහ අට සන්නිය නැටෙව්වා නැටුම් ගැන මා තුළ වඩාත් ආශාව ඇති කරන්න. නැටුම් කලාව මට දීර්ඝ වශයෙන් හදාරන්න බැරි වුණත් මම මගේ දුවට නැටුම් ඉගැන්නුවා.

* ගායන හැකියාවට ඔබ තුළ කැමැත්තක් නැද්ද?

ගුවන් විදුලියේ සිංදු එකතු කරලා මම කැමැති පද මාලාවන් අරන් ලියා තැබීමත් මම කළා. මම පුංචි කාලයේ පටන් අමරදේවයන්ගේ ගීතවලට ප්‍රිය කළා. මගේ හිතේ ප්‍රාර්ථනයක් තිබුණා, කවද හරි මට අමරදේවයන් දකින්න, හමුවන්න ලැබේවා කියලා. ඒ කාලයේ මම ශ්‍රී ලංකා මහ බැංකුවේ රැකියාව කළේ. අපේ කලා සංගමය මඟින් සංවිධානය කළ උත්සවයකට අමරදේවයන් ගෙන්නුවා. එදා අමරදේවයන් ගීත ගායනා කළා වගේම අපිටත් ඔහු සමඟ ගීයක් ගායනා කරන්න ආරාධනා කළා. මමත් ඒ සඳහා කැමැත්තෙන් ගියා. සන්නාලියනේ . . . ගීතය ගායනා කළා වගේම මගේ පුංචි කාලයේ ඉඳලා තිබුණ ආශාවක් එදා ඉෂ්ඨ වුණා. අමරදේවයන් සමඟ අදහස් හුවමාරු කර ගන්න ලැබීම එදා මට උදා වුණා.

* අසහාය ගීත කෝකිලා රුක්මණී දේවි ඔබේ ජීවිතයටත් සම්බන්ධයි නේද?

මගේ මවගේ ප්‍රියතම ගායිකාව රුක්මණී දේවි. ඒ නිසාම අම්මාට මාව හම්බ වුණාම මගේ නමේ එක් කොටසකට රුක්මණී කියලා දැම්මා. ඒ අනුව මම ජයන්තා රුක්මණී වුණා. අම්මා කැමැති වගේම මමත් රුක්මණීට කැමැතියි.

* ඔබ විචාර කලාවට අවතීර්ණ වන්නේ කොයි ආකාරයෙන්ද?

කතෝලික සිනමා පර්ෂදයේ ආධුනික විචාරක තරඟයකට මම විචාරයක් ලිව්වා. එයින් දෙවැනි තැන මට හිමි වුණා. අර්නස්ට් පෝරුතොට පියතුමා, ඈෂ්ලි රත්නවිභූෂණ, බෙනඩික් දොඩම්පේගම වැනි අය මාව දිරිමත් කිරීම මත මා සිනමා විචාර ලිවීමට පටන් ගත්ත.

* ග්‍රන්ථ කර්තෘවරියක් ලෙසිනුත් ඔබ ජනප්‍රසාදය දිනාගත් කතුවරියක් නේද?

මේ වන විට මම පොත් නවයක් ලියා තිබෙනවා. කවි පොත් හතරක්, ළමා පොත් තුනක්, නවකතා හා කෙටි කතා පොත් එක බැගින් මා ලියා තිබෙනවා.

* ඔබේ කාව්‍ය සංග්‍රහ තුළ ලිය වූ ගීත දෙකක් අමරදේවයන් හා නන්දා මාලිනී අතින් ගැයෙනවා නේද?

මම ගොඩක් සතුටු වෙනවා ඔවුන් දෙපළ මගේ ගීත දෙකක් ගායනා කිරීමට තෝරා ගැනීම ගැන. නන්දා මාලිනී කියන රැළි ද නැඟේ හෝගා මුහුද . . ., අමරදේවයන් ගායනා කරන සීතල පිණි බිංදු වැටෙනා . . . ගීතයත් ඒ අතර වෙනවා.

* සිනමාව තුළ ඔබ වඩාත් ඇලුම් කරන්නේ මොන වගේ තේමාවක් සඳහාද?

මානව හැඟීම් සිනමාත්මකව පෙන්වන සිනමා නිිර්මාණයන්ට මම වඩාත් කැමතියි. නිධානය, පරසතු මල්, ගම්පෙරළිය, වැලිකතර, විරාගය, දඩයම, සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා, මචං, ඉර මැදියම වගේ චිත්‍රපටවලට මම කැමැති, මම බලාපොරොත්තු වන සාදනීය සාධකය තියෙන නිසා.

* කලා නිර්මාණ විනිශ්චය ජූරි සභිකයෙක් විදියට ඔබේ නිගමන ගැන ඔබ තෘප්තිමත්ද?

මම මේ තැන හිමි කර ගත්තේ හැම දෙයක් ගැනම අවබෝධයක් ඇතිව. සාහිත්‍ය, චිත්‍රපට, ගීත, කවිය, නැටුම්, විචාර කලාව, පරිපාලනයේ අත්දැකීම්, සමාජ අත්දැකීම්, ජනාධිපති, සරසවිය, ඕ. සී. අයි. සී, ස්වර්ණ සංඛ, රයිගම් ටෙලි සම්මාන, රූපවාහිනි සම්මාන උළෙලවල අත්දැකීම් මේ හැම දෙයකින්ම පරිපූර්ණ වෙලා. එහෙම නැතුව මේ ගැන අවබෝධයකින් තොරව කියලා කාටවත් චෝදනා කරන්න බෑ. සමහරක් ජූරි තීරණ සාමුහිකව වැඩි දෙනාගේ කැමැත්තට ගත්තත් මගේ සෘජු මතය මම ප්‍රකාශ කර සිටි අවස්ථා කිහිපයක්ම තිබෙනවා.

* තිර රචනය පිළිබඳ ඩිප්ලෝමාලාභිනියක් වන ඔබ අද වන තුරුත් තිර රචනයක් ලියන්න උත්සාහ නොගත්තේ ඇයි?

තිර රචනය පිළිබඳ තිස්ස අබේසේකරයන් ඇසුරේ මම අධ්‍යනය කළා. ඒ වකවානුවේ මේ පාඨමාලාව සඳහා යාමට මට අවසර ලබා දුන්නේ එවක ආනයන පාලක සහකාර ලෙස කටයුතු කළ සිව සුබ්‍රමනියම් මහත්මයා. බොහෝ සිංහල අය ඒ සඳහා අප්‍රසාදය පල කරද්දීත් දෙමළ ජාතිකයකු වූ සිව සුබ්‍රමනියම් මහත්මයා මට දක්වපු කාරුණික අනුග්‍රහය මගේ ජීවිතයේ අමතක නොවන එක් සිද්ධියක්. තිර රචනය පිළිබඳ ඩිප්ලෝමාවක් ලැබුවත් මා අතින් තවම තිර රචනයක් බිහි නොවුණේ මට ඒ සඳහා විවේකයක් නොතිබීමයි. බොහෝ අධ්‍යක්ෂවරු මගෙන් තිර රචනයක් ඉල්ලුව අවස්ථා බොහොමයක් තිබුණා. සමහරු මගේ නවකතාව තිර රචනයක් කරන ලෙසත් ඉල්ලා සිටියා.

රාජ්‍ය පරිපාලන සේවයේ නියැලෙද්දී ඔබ අතින් ලිය වුණු ගීතයක් අදත් ගීතවත් වෙනවා නේද?

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලෙස කටයුතු කරන අවධියේ මා අතින් ලියවුණු ගොවි ගීතය අදත් භාවිත වෙනවා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව