විද්‍යා ගැබ්නියක වෙලා

‘ද ඩර්ටි පික්චර්’ නිසා පසුගිය වසරේ සුන්දරම අත්දැකීම් ලබමින් හොඳම නමක් දිනා ගත් විද්‍යා බාලන් මේ වසරේත් හොඳ පිම්මකට සූදානම් පාටයි.

සුජෝශ් ගෝෂ්ගේ ‘කහානි’ විද්‍යාගේ පෙරැළිකාර රංගනය ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන අලුත්ම සිනමාපටයයි. විද්‍යා මෙහි රඟන්නේ නැති වූ සැමියා සොයමින් යන ගැබිනි කාන්තාවකගේ චරිතයක්.

සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතු මේ දිනවල ජයටම සිදු කරමින් පවතිනවා. ප්‍රවර්ධනයේදීත් විද්‍යා යොදා ගෙන ඇත්තේ අපූරු උපක්‍රමයක්. ඇය මේ දිනවල මාවත්වලදී, සාප්පුවලදී මෙන්ම මාධ්‍ය සාකච්ඡාවලදීත් පෙනී සිටින්නේ ගැබිනි වෙස් ගෙනලු.

‘කහානි’ විද්‍යාගේ දෝතට තවත් සම්මානයක් ගෙන දෙන සිනමාපටයක් බවට සැකයක් නැතැයි කියා බොහෝ විචාරකයන් පවසනවා.

විද්‍යා ප්‍රථම වරට විදූ විනෝද් චොප්රාගේ ‘ෆෙරාරි කි සවාරි’ සිනමාපටයේ ගීතමය නර්තන ජවනිකාවකට ද (අයිටම් නම්බර්) පෙනී සිටියා. මේ රංගන ජීවිතයේ අමරණීය මතකයක් බව විද්‍යා රංගනයෙන් පසු කියා තිබෙනවා.


කෑම වෙනුවට ගුටි

දඩබ්බරකම සායිෆ් ඛාන් නම් නළුවාගෙන් උතුරා යන බව ක්ෂේත්‍රයේ නොදන්නා කෙනෙක් නැහැ. නහයට අහන්නේ නැති මේ ගති ස්වභාවය නිසා වරින් වර ඔහු සැබෑ ජීවිතයේදී ගැටලුවලට මුහුණ පානවා.

පුංචි නවාබ් පදවිය ලැබුණු පසු ඔහු ආරාවුලකට මුල පුරා ඇත්තේ ව්‍යාපාරිකයකු සමඟයි. ඔහුගේ නම ඉක්බාල් ෂර්මා. ෂර්මා පවුලේ අය සමඟ කොල බා ආපන ශාලාවෙන් රෑ කෑම ගනිමින් සිටියදී මේ කලබගෑනිය සිදු වෙලා. යාබද මේසයට පැමිණි සායිෆ්, ඝෝෂා කිරීමට පටන්ගෙන. ඔහුත් සමඟ මිතුරන් දෙදෙනකුත්, පෙම්වතිය කරීනාත්, අම්රිතා අරෝරා, මල්ලිකා ආරෝරා නිළියනුත් පැමිණ තිබෙනවා.

ඝෝෂාව හිසරදයක් වූ තැන ෂර්මා, සායිෆ්ගෙන් නිහඬවන ලෙස ඉල්ලලා. නිහඬ වෙනු වෙනුවට සායිෆ්, ෂර්මාට ‘මෝඩයා’ කියා බැණ වැදිලා. අන්තිමට වචන හුවමාරුව ගුටිබැට දීම දක්වා දුරදිග ගිහින්.

සිද්ධිය අනාවරණය කිරීමේදී මාධ්‍ය ෂර්මාට පක්ෂග්‍රාහි වූවා කියන චෝදනාවත් සායිෆ් එල්ල කරනවා. තමන්ට ෂර්මා පහර දුන් බවට චෝදනා කරන සායිෆ් ද ඒ ගැන පොලීසියට පැමිණිලි කර තිබෙන බව ද පවසනවා.

මේ සායිෆ් දබරයකට මැදි වූ පළමු අවස්ථාව නොවෙයි. 2008 දී ‘පාටිලාභි’ සිනමාපටයේ රූගත කරමින් සිටියදී ඡායාරූප ශිල්පියකුට පහර දීම නිසා ද විත්තිකරුවකු වී තිබෙනවා.

සියලු අලකලංචි මැද සායිෆ්ගේ නිෂ්පාදනයක් වන ‘විනෝද් ඒජන්ට්’ මාර්තු 23 දා තිරගත වීමට නියමිතයි. මෙහි කරීනා ද රඟනවා.


ඩූම් ඩූම් ඩූම්

සිනමාවේ දඩබ්බරයකු කීවත් සල්මන් ඛාන් නම් නළුවාව රසිකයන් දකින්නේ අහිංසක, පරාජිත, පරිත්‍යාගශීලී පෙම්වතකු ලෙසයි.

මේ නිසාම රසිකාවන්ගෙන් ඔහුට ලැබෙන ආදරයත් වැඩි වී තිබෙනවා. එහෙත් ඉදිරියේදී තිරගතවීමට නියමිත ‘ඩූම් 4’ සිනමාපටයේ නම් ඔහු රඟන්නේ දුෂ්ටයාගේ චරිතයයි.

මේ චරිතය ඔහුට හිමි වී ඇත්තේ සල්මන් මෙවැනි ක්‍රියාදාම සිනමාපටයක රඟපෑමේ කැමැත්තෙන් සිටියදීයි. ‘ඩූම්’ සිනමාපට මාලාවේ පස්වැන්නෙහි, එනම් ‘ඩූම් 5’ රඟපෑමට තෝරා ගෙන ඇත්තේ ෂාරුක් ඛාන්ලු.

මේ අනුව ‘ඩූම් 3’ සිනමාපටයේ අමීර් ඛාන් ද ‘ඩූම් 4’ සිනමාපටයේ සල්මන් ඛාන් ද, ‘ඩූම් 5’ සිනමාපටයේ ෂාරුක් ඛාන් ද රඟපෑ පසු ඛාන් ත්‍රිත්වයම රජ කළ සිනමාපට මාලාවක් ලෙස ‘ඩූම්’ නාමාවලිය ඉන්දීය සිනමා ඉතිහාසයට එක් වෙනවා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව