ඉතින් ඔන්න එහෙනම් ආයෙමත් ආදරෙන්

මේ ලෝකයේ සර්ව සම්පූර්ණ මිනිසුන් හෝ පූර්ණ වශයෙන්ම අයහපත් මිනිසුන් හෝ නොමැත. සරලව ගතහොත් අපට කිසිවෙකුත් කළු චරිත ලෙස හෝ සුදු චරිත ලෙස හෝ වර්ග කළ නොහැක.

එම සමාජ යථාර්ථය ඔස්සේ ගලා යන යොවුන් ප්‍රේමය ළඟදීම දවසක පුංචි තිරයට කැන්දා ගෙන එන්නේ ආයෙමත් ආදරෙන් ටෙලි නාට්‍යයෙන්. සුනෙත් මාලිං ලොකුහේවා ‘ආයෙමත් ආදරෙන්’ අධ්‍යක්ෂණය කළ නවතම ටෙලි නිර්මාණය.

මේනක රාජපක්ෂ, නිමන්ති පෝරගේ, ලෝචනා ඉමාෂි, කාවිංග පෙරේරා, සංඛේත් වික්‍රමගේ, නුවන්ගි බණ්ඩාර, තුෂාරි වේහැල්ල, වසන්ත ජයසිංහආරච්චි, සුරංගි රුවන්මලී, ආනන්ද අතුකෝරල, ශිරෝමිකා ප්‍රනාන්දු සහ ඉෂාන් ගම්මුදලි රංගනයෙන් දායක වෙන ආයෙමත් ආදරෙන් රූපවාහිනියට ලියන්නෙත් සුනෙත්මයි.

කැමරා අධ්‍යක්ෂණයෙන් සුරේෂ් ධම්මික, සහය අධ්‍යක්ෂණයෙන් ධනුෂ්ක ජයවර්ධන සහ වසන්ත අමරසිංහ, කලා අධ්‍යක්ෂණයෙන් අජිත් හත්වැල්ල, අංග රචනයෙන් උහාන් ඕවිට හා සංස්කරණයෙන් ශාන් අල්විස් සුනෙත්ට සහයෝගය ලබා දුන්නා.

ආයෙමත් ආදරෙන් ටෙලි සිතුවම හැඩ වෙන්නේ දිනේෂ් සුභසිංහ ගේ පසුබිම් සංගීත නිර්මාණයෙන් සහ ඇන්ටන් ජේ. ප්‍රනාන්දුගේ ගේය පද රචනයෙන්. ඔබ හමුවට පළමු වරට එන ‘ආයෙමත් ආදරෙන්’ ප්‍රභාත් රෝෂණ් ගේ නිෂ්පාදනයක් වන අතර එහි නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කළේ සහන් වර්ණකුලසූරිය.


සුමුදු වෙල්ලාලගේ නවතම ටෙලිය ‘හුස්ම සහ ඔක්සිජන්’

‘හුස්ම සහ ඔක්සිජන්’ සුමුදු වෙල්ලාලගේ නවතම ටෙලි සිතුවම. කොළඹ නගරයේ වෙසෙන යෞවනයින්ගේ ජීවිතයේ ඔබ නොදුටු මානයන් දුටු සුමුදු වෙල්ලාලගේ සහ ලසන්ත ෆ‍්‍රැන්සිස් තිර පිටපත ලියූ හුස්ම සහ ඔක්සිජන් ටෙලි නිර්මාණය විශ්වජිත් කරුණාරත්නගේ කැමරාකරණයක්.

මෙම ටෙලි නිර්මාණයේ සහාය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේ චමින්ද පෙරේරා. සංස්කරණයෙන් රංග සිංහාරගේ. කලා අධ්‍යක්ෂණයෙන් සුරන්ජිත් බණ්ඩාර යටවර සහ වේෂ නිරූපණයෙන් නාරද ධනංජි තොටගමුව දායක වෙනවා.

නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කරන්නේ රාජා රණසිංහ. මෙම ටෙලි සිතුවම රසික ජිනසේනගේ විධායක නිෂ්පාදනයක් සහ Endless World නිෂ්පාදනයක්.

හුස්ම සහ ඔක්සිජන් ටෙලි නිර්මාණය විචිත්‍රවත් වන්නේ නීල් අලස්, මාදනී මල්වත්තගේ, බිමල් ජයකොඩි, ධර්මප්‍රිය ඩයස්, සම්පත් ජයවීර, සමනලී ෆොන්සේකා, තනුජා දිල්හානි, සමාධි ලක්සිරි, සරත් කරුණාරත්න, උපුල් වීරසිංහ, බන්දුල විජේවීර, නයනා රඹුක්කනගේ, ලාල් කුලරත්න සහ දයා වයමන්ගේ රංගනයෙන්.


සහන් - ශිවා එක්ව මේ සුරම්‍ය පාරාදීසයට

‘මේ සුරම්‍ය පාරාදීසය’ට ඔබට ඇරැයුම් කරන්නේ ජය ප්‍රකාශ් ශිවගුරුනාදන්. මේ සුරම්‍ය පාරාදීසය, සුදු හාමිනේ, සරා සහ සුභා, කප් සුවහස් කල් ඇතුළු ජනප්‍රිය ටෙලි නාට්‍ය නිෂ්පාදනය කළ සහන් විජේසිංහගේ දහ හතර වෙනි ටෙලි නිෂ්පාදනය. මෙහි මුහුරත් උළෙල පසුගියදා පැවැත් වුණා.

ගයනා සුදර්ශනී, ගිරිරාජ් කෞෂල්‍ය, චිත්‍රා වාකිෂ්ට, ලක්ෂිකා ෆොන්සේකා, උද්දික ප්‍රේමරත්න, ශ්‍රීමාල් වෙඩිසිංහ, සරත් දික්කුඹුර, සුලෝචනා වීරසිංහ, අනුෂ්ක සතරසිංහ, නිමාලි කපුගේ, රංජන් සුරේ කුමාර, මධූ නිත්‍යානි, දයානන්ද හේවගේ, ධනුෂ්ක රත්නායක සහ සනත් රවීන්ද්‍රගේ රංගනයෙන් හැඩ වෙන මේ සුරම්‍ය පාරාදීසය සගා ෆිල්ම් ආයතනය වෙනුවෙන් සහන් විජේසිංහගේ නිෂ්පාදනයක්. සහන් මේ පාරාදීසයට එන්නෙ නිෂ්පාදනයෙන් විතරක් නෙමෙයි, ඔහුගේ රංගනයත් ඉදිරියේදී ඔබට දැකගන්න ලැබේවි.

පුංචි තිරයට එක්වන්න බලාපොරොත්තු වෙන මේ ටෙලි කතන්දරය ලිව්වේ තුෂාරි අබේසේකර. මේ සුරම්‍ය පාරාදීසය සුරම්‍ය වෙන්නේ තුසිත අනුරාධගේ කැමරාකරණයත්, රුචිර සංජීවගේ වේෂ නිරූපණයත්, රෝහණ හේවාවිතාරණගේ කලා අධ්‍යක්ෂණයත් නිසා. නිෂ්පාදන කළමණාකරණයෙන් ගාමිණී සෝමරත්නත්, නිෂ්පාදන අධීක්ෂණයෙන් ගයානා සුදර්ශනී දායක වෙනවා.


කවරයේ කතාව

මෙවර සරසවිය කවරය හැඩ වන්නේ සම්මානනීය රංගන ශිල්පිනී සබීතා පෙරේරාගේ ආකර්ශනීය රුවිනි. විරාගය, පොඩි විජේ, බඹසර බිසව්, සිසිල ගිනි ගනී, දෙවෙනි ගමන ඇතුළු සිනමාපට ගණනාවක් සිය ප්‍රතිභා පූර්ණ රංගනයෙන් හැඩ කළ සබීතා අවසන් වරට දායක වූයේ අබා සිනමා පටය සඳහායි.

ජනාධිපති සම්මාන, සරසවිය සම්මාන ඇතුළු සම්මාන රාශියකින් පිදුම් ලැබූ ඕ මේ දිනවල ඔබ හමුවන්නේ පුංචි තිරයේ දිග හැරෙන භාර්යාවෝ ටෙලි සිතුවමෙනි.

වේෂ නිර්මාණය - ගයනි සමරසිංහ

ඇඳුම් මෝස්තර - රොහාන් ඉන්ද්‍රජිත්

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව