සිනමාවේත් මාෆියා කල්ලියක්

සුමිත් ගල්හේනගේ පළමු අධ්‍යක්ෂණය ලෙස එළි දැක් වූ ‘සක්විති දඩයම’ චිත්‍රපටය මේ දිනවල සාර්ථකව එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලා 21 ක තිරගත වේ.

චිත්‍රපටයේ හා කලා ක්ෂේත්‍රයේ අත්දැකීම් දැනගන්නට සුමිත් සමඟ මෙසේ කතාබහකට මුල පුරමු.

ඔබේ පළමු නිර්මාණය හාස්‍ය උපදවන ජනප්‍රිය රැල්ලට හසු වන චිත්‍රපටයක්. මෙවන් චිත්‍රපටයක් කරන්නට පෙළඹුණේ ඇයි?

ඇත්තටම මේ චිත්‍රපටය කිරීමෙන් මම සෑහීමකට පත් වෙන්නේ නැහැ. මගේත් නිෂ්පාදකතුමාගේත් අදහස වුණේ කලාත්මක චිත්‍රපටයක් කරන්නයි. නමුත් අද සමාජය වැඩි කැමැත්තක් දක්වන්නේ කලාත්මක චිත්‍රපටවලට නොවෙයි. මගේ වගේම මෙහි නිෂ්පාදක අධිනීතිඥ නිහාල් ශ්‍රී විතානගේ මහතාගෙත් පළමු චිත්‍රපටය නිසා අපි හිතුවා දැන් යන රැල්ලට චිත්‍රපටයක් හදන්න. අන්න ඒ නිසා තමයි මේ වගේ චිත්‍රපටයක් පටන් ගත්තේ. සිනමාව රැක ගන්නට නම් මේ දෙයාකාරයේම චිත්‍රපට හැදෙන්න ඕනනේ.

සක්විති දඩයම චිත්‍රපටයෙන් සමාජයට ඔබ තිළිණ කරන්න හදන්නේ කුමක්ද?

විරැකියාව, අධ්‍යාපන ක්‍රමයේ ඇති අඩුපාඩු නිසා හරි දැක්මක් නැති තරුණ තරුණියන් සමාජයේ අන්ද මන්ද වෙලා. මේ අයව නිර්මාණය කරල තිබෙන්නේ මේ සමාජ ක්‍රමයයි. මේ අයගෙන් බැට කන්නෙත් ඒ සමාජයේ වෙසෙන අපිමයි.

නොයෙක් වෙස් ගෙන සමාජයේ පෙනී සිටින සක්විත්තන්ගෙන් ඔබව බේරා ගන්න දරණ උත්සාහයක් තමයි මෙයින් අප බලාපොරොත්තු වෙන්නේ. මේ චිත්‍රපටයේ සෑම ජවනිකාවක්ම හාස්‍යය උපදවන අයුරින් සකසා තිබෙන්නේ. මේචිත්‍රපටය නරඹන ඔබට නිරායාසයෙන් සිනහව උපදවන්න සමත් චිත්‍රපටයක්.

විවිධ තරාතිරමේ අය මේ සක්විත්තන්ට හසු වෙලා ඉන්නේ. මේ චිත්‍රපටය නරඹන ඔබට දැනේවි මිනිසුන් මොන විදහටද රවටන්නේ හා රැවටෙන්නෙ කියා. මේ දෙස බලන විට ඔබලාට නිරායාසයෙන්ම සිනහව ගෙන එන ලෙස නිර්මාණය කර තිබීම මෙහි විශේෂත්වයක්. මේ චිත්‍රපටයේ මුල මැද අග ගලා යන ලෙස අර්ථවත් පණිවිඩයක් සමාජයට ගෙන එන කතාවේ අවසානයක් තිබෙන චිත්‍රපටයක් කීවොත් නිවැරැදියි.

ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටියදීම කලා ලොවට පිවිසි කෙනෙක් නේද?

පාසල් කාලයේ සිටම ඇත්ත පත්තරයට ලිපි සැපයුවා. ඉන් පසු 91 වසරේ සිට පූර්ණකාලීනව ඇත්ත පත්තරේ වැඩ කළා. 95 සිට අමාත්‍යාංශ කිහිපයක මාධ්‍ය නිලධාරී සහ මාධ්‍ය ලේකම් වශයෙන් වැඩ කළා. පාසල් අවධියේම තමයි කලා කටයුතුවලට යොමු වුණේ.

ඔබේ පාසල් කාලයට යමු?

බොරැල්ලේ සුසමයවර්ධන මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ සිටම කලාවට මෙන්ම ක්‍රීඩාවෙන් ද දස්කම් දැක් වූවා. පාසල් සාහිත්‍ය සංගමයේ නාට්‍ය හා කලා සංගමයේ සභාපති ලෙස ක්‍රියා කළා. 84, 85 කාලයේ මුලින්ම පාසල් වේදිකා නාට්‍ය රචනයෙන්, රංගනයෙන් අධ්‍යක්ෂණයෙන් තමයි නාට්‍යය කලාවට අත පොවන්නේ.

පාසල් කාලයෙන් පසුව ඔබ කළ වේදිකා නාට්‍යය මොනවාද?

89 වසර්දී ‘වේදිකා’ 91 දී ‘බලරංග‘, 2004 දී ‘පුදන්න පෙර කාපි යකා’ කියන වේදිකා නාට්‍ය තුන රචනය හා අධ්‍යක්ෂණය කළේ මමයි.

සක්විති දඩයම සාර්ථක කරගන්න අභියෝග රැසකට මුහුණ දෙන්න ඇති?

ඇත්තටම ඔව්. මොකද මම දැනගෙන හිටියේ නැහැ ලංකා සිනමාව තුළ මාෆියා කල්ලි ක්‍රියාත්මක වෙනවා කියලා. මේ චිත්‍රපටය කරන්න ගියාම තමයි අත්දුටුවේ. නවක අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු ක්ෂේත්‍රයට එන විට මේ මාෆියා කල්ලිය කැමැති නැහැ. මේ මාෆියා කල්ලිය තුළ නමගිය අධ්‍යක්ෂවරයෙකුත් සිටිනවා. මේ පිරිස කවුද කියලා දන්නවා. අපිටම ලැජ්ජයි මේ අයගේ ක්‍රියාවන් ගැන. නම කියන්නේ නැත්තේ බයට නෙමෙයි. ලැජ්ජාවට.

ඔය කියන මාෆියා කල්ලිය නිසා සිදු වුණේ කුමක්ද?

අපේ චිත්‍රපටයේ පසුතල එහාට මෙහාට වෙනස් කරලා. හඬ පට වෙනස් කරලා. චිත්‍රපටයේ තියෙන විශිෂ්ටභාවය නැති කරලා. මේවා කරන්න අපිට හොරෙන් ඉන්දියාවට පවා ගිහින් තිබුණා. ඇත්තටම මේ අය චිත්‍රපට හදනවාට වඩා කරන්නේ අනුන්ගේ චිත්‍රපට කඩාකප්පල් කරන එකයි. මේක තමා ඒ අයගේ ව්‍යාපාරය. අද සිනමාව කඩා වැටීමට එක් හේතුවක් තමයි මෙම මාෆියා කල්ලිය. නමුත් මේ සියල්ල පාලනය කරගෙන මමත් නිෂ්පාදකතුමාත් එකතු වෙලා චිත්‍රපටය එළියට ගෙනල්ල දැන් චිත්‍රපටය අති සාර්ථක ලෙස තිරගත වෙනවා.

ඔබ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු තෙක් ආ ගමන් මඟ ගැන සිහිපත් කළොත්?

පාසල් අවධියේ සිට තමයි කලා කටයුතුවලට යොමු වුණේ. සැඟවුණු අමුත්තෝ, ගෞව්තමී, ආගන්තුකයාගේ ප්‍රේමය යන ටෙලි නාට්‍යය තුනක් අධ්‍යක්ෂණය කළා. වේදිකා, බලරංග, පුදන්න පෙර කාපි යකා කියන වේදිකා නාට්‍ය තුන අධ්‍යක්ෂණය කළා. යසෝමා, අලිපැටියො ඔයයි මමයි චිත්‍රපට සඳහා සහය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. ආචාර්ය ගාමිණී හත්තොටුවගම මහතාගේ වීදි නාට්‍යය කණ්ඩායමේ අවුරුදු 4 ක් නාට්‍ය හා රංග කලාව විෂයක් විදිහට හැදෑරුවා. වේදිකා නාට්‍ය, රඟපෑම, වේශ නිරූපණය සහ සහය අධ්‍යක්ෂණය, අධ්‍යක්ෂණය කටයුතු සඳහා දායක වුණා. මම මේ ගමන ආවේ බොහොම හෙමින්. අද ඉන්නා තැන දෙස බලන විට සතුටු විය හැකියි. වේදිකා, චිත්‍රපට, ටෙලි නාට්‍ය කියන ක්ෂේත්‍ර තුනේම නියැලී සිටීමට බලාපොරොත්තු වෙනවා.

ඔබ ආ ගමන් මගේ අත්වැල් ඇල්ලුවෝ කවුරුන්ද?

මාව මේ ක්ෂේත්‍රයට යොමු කළේ මගේ පියා සුගුණපාල ගල්හේන. එයා අද අප අතර නැහැ. ආචාර්ය ගාමිණී හත්තොටුවගම මහතා තමයි මගේ ගුරුවරයා. සුනන්ද පුෂ්පකුමාර, සරත් ගුණවර්ධන, අම්ම, අයිය, මගේ යාළුවන් බොහොමයක් ඉන්නවා. ඒ අය අතරින් විශේෂයෙන් මතක් කළ යුතුයි ගුණපාල හේවාබටුවිට, මහින්ද ඉහළගම, සිරිල් ප්‍රනාන්දු යන මහත්වරු. සක්විති දඩයම චිත්‍රපටයේ නිෂ්පාදකතුමාගේ බිරිය වාසනා වීරතුංග මට දුන් සහයෝගය පිළිබඳවත් විශේෂයෙන් මතක් කළ යුතුයි.

මේ චිත්‍රපටයෙන් පසුව අධ්‍යක්ෂණය සඳහා ඔබට තව චිත්‍රපට ලැබී තිබෙනවාද?

ඔව්. චිත්‍රපට දෙකක් ලැබී තිබෙනවා.

සක්විති දඩයම රූගත කිරීම්වලදී අමතක නොවන සිදුවීම් එහෙම නැද්ද?

මෙ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ රෙක්ස් කොඩිප්පිලි, විජය නන්දසිරි, අර්ජුන කමලනාත්, අනූෂා දමයන්ති. චිත්‍රපටයේ අවසාන ජවනිකාව රූගත කරන්න තියෙන්නේ විජය නන්දසිරි (ජැක්සන්) අර්ජුන කමලනාත් (මැක්සිමස්) පොලීසියට බයේ පරණ කාර් එකකින් පැනල යන්න හදනකොට කාර් එක ගඟට පෙරලෙන ජවනිකාවක්. සාමාන්‍යයෙන් කාර් එක ගඟට පෙරලෙන කොට අපි යොදන්නෙ ඩමියක්. නමුත් මේ ජවනිකාව සඳහා ඇත්තටම දෙදෙනෙක් පෙනී සිටියා. ඒ දෙදෙනා තමයි මහින්ද ඉහළගම සහ ප්‍රසන්න ප්‍රදීප් කුමාර.

මේ දෙදෙනා සමඟ කාර් එක ගඟට පෙරලෙන ජවනිකාව රූගත කළා. මේ දෙදෙනා සමඟ ගඟට පෙරලුණු කාර් එකෙන් ටික වෙලාවක් යනකන් මේ දෙදෙනා ගොඩට ආවේ නැහැ.

උඩ සිටි හැමෝම බය වෙලා බලන් සිටියා. ටික වෙලාවකට පසු ගිලුණු තැනට එහායින් දෙදෙනාම පීනලා ගොඩට ආවා. මේ සිදුවීම නම් කවදාවත් අමතක වෙන්නේ

මෙවැනි ජවනිකාවකට ඉදිරිපත් වීම ගැන අගේ කළ යුතුයි.

ඔබේ පවුල් ජීවිකාව ගැන යමක් කිව්වොත්?

මගේ බිරිය තමාරා සිරිවර්ධන, ලොකු දුව තරුෂි අසේලා ගල්හේන, පොඩි දුව හෂිනි චමෝද්‍යා ගල්හේන. දෙදෙනාම කිරිබත්ගොඩ විහාර මහා ;ද්වි විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. පුතා සෙනිත් දක්ෂිණ දියසෙන් ගල්හේන දෙක වසරේ ඉගෙනුම ලබනවා. මේ හැමෝගෙන්ම මම කරන වැඩවලට උපරිමයෙන් සහයෝගය ලැබෙනවා.

ඔබේ ඉදිරි බලාපොරොත්තු?

කාටවත් හිරිහැරයක් නැතිව, කාගෙවත් නිර්මාණ කඩාකප්පල් නොකර මට පුළුවන් ආකාරයෙන් කලාත්මක හෝ වාණිජමය වේවා නිර්මාණයන් තුළින් සමාජයට යහපත් දෙයක් ඉදිරිපත් කිරීම, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට කටයුතු සැලැස්වීම තමයි මගේ බලාපොරොත්තුව.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව