වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




උපන් ගමෙන් පිදුම් ලබන වාමා

උපන් ගමෙන් පිදුම් ලබන වාමා

V.Vamadevan

යාපනය අන්තර් ජාතික සිනමා උලෙළ මෙවර පැවැත් වෙනුයේ සිව් වෙනි වතාවටය. මෙම මස 03 වැනිදා සිට 08 වැනිදා දක්වා යාපනය යේදී පැවැත්වෙන මෙම සිනමා උලෙළේදී ජ්‍යෙෂ්ඨ සිනමාවේදීන් වෙනුවෙන් පිරිනැමෙන යාවජීව සම්මානය මෙවර පිරිනැමෙනුයේ ලාංකික සිනමා ක්ෂේත්‍රය තුළ විශිෂ්ට සිනමා කැමරා ශිල්පියෙකු වූ වී. (වෛරමුත්තු) වාමදේවන් මහතාටය. මේ ඒ නිමිත්තෙන් ඔහු හා කෙරෙන කතාබහකි.

සිංහල සිනමා ක්ෂේත්‍රය තුළ කැමරා ශිල්පීන් ගැන මතකය සිහිපත් කළොත් විරාජමානව වැජඹෙන චරිතයක් ඔබ?

එහෙම නොවුණොත් තමයි පුදුමෙ. ඉන්දියාවේ නම්බ වන් කිව්ව කැමරා ශීල්පීන්ටත් කරන්න බැරි දේවල් මම අපේ සිනමාව තුළ කළා. එයාලත් පුදුම වුණා මම කරපු සමහර නිර්මාණ දැකලා.

සිනමා ක්ෂේත්‍රය පුරාවට ඔබ වාමා?

ඒ මට හුරතලයට ක්ෂේත්‍රයේ අය කියන නම. උප්පත්ති නම වෛරමුත්තු වාමදේවන්. මම නිතර මගේ නම ලිව්වේ වී. වාමදේවන් කියලා. ක්ෂේත්‍රයේ අය මට ලේසියට කතා කළේ වාමා කියලා. ඇත්තටම මාව වාමා කියලා හඳුන්වනවාට මම බොහොම කැමතියි.

නමේ හැටියට ඔබ දෙමළ සම්භවයක පුද්ගලයෙක්?

ඔව්. මම උපන්නේ 1935 යාපනයේ අච්චුවේලු ප්‍රදේශයේ.

ඔබ ජීවිතයේ සුවිශේෂී කඩඉමක් පසුකර ඇති සේම කලා ජීවිතයේත් සුවිශේෂී කඩඉමක් පසු කර ඇති හැඩයි?

මේ අවුරුද්දේ මැයි විසි දෙවැනිදාට මට අවුරුදු අසු තුනක් පිරුණා. ඒ වගේම කලා ජීවිතයටත් අවුරුදු හැට එකක් වෙනවා.

සිනමාවේ ප්‍රවිෂ්ටයට ඔබ කොයි ආකාරයෙන්ද දායක වීම අරඹන්නේ?

මගේ මතකය හරි නම් 1957 දී. මට වයස අවුරුදු විසි දෙකක් විතර ඇති. ගෙදරින් හොරෙන් පැනලා මම කොළඹ ආවා සිනමාවට තිබුණ ආශාව නිසාම. ඒ කාලේ සිනමාවට යනවා කියන්නේ තමන්ගේ අනාගතය අඳුරු කර ගන්න හදන දෙයක් හැටියට තමයි අපේ මවුපියෝ සැලකුවේ. මගේ ආශාව තිබුණේ චිත්‍රපටවලට.

ගෙදරින් හොරෙන් ගිහින් චිත්‍රපට බැලුවා. ඉස්කෝලේ කට් කරලා චිත්‍රපට බැලුවා. මගේ පාඩම් පොත් ඇතුළෙත් තිබුණේ චිත්‍රපටවල පින්තූර නෙගිටිවු කෑලි. මේව පොත් ඇතුළේ තිබිලා අහුවෙලා ගුරුවරුන්ගෙනුත් ගුටි කෑවා. ගෙදරිනුත් බැනුම් ඇහුවා. කොටින්ම කිව්වොත් බ්ලැක් ලිස්ට්. මගේ චිත්‍රපට පිස්සුව නිසා ගෙදර අනික් ළමයි හදාගන්නත් නෑ කියලා මට මවුපියෝ දොස් කිව්වා. බැරිම තැන චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න තිබුණ ආශාව නිසාම ගෙදරින් පැනලා කොළඹ ආවා.

ඉන්දියාවට ගිහින් සිනමා ශිල්පය ඉගෙන ගන්නවා කියලා හිතලා ඒ ආ ගමනේදී මගේ ඥාතියෙකුගේ මාර්ගයෙන් සිලෝන් ස්ටුඩියෝවේ ආරම්භයත් සමඟ එහි වැඩ කරන්න අවස්ථාව ලැබුණා. මගේ අරමුණ වුණේ මෙහි වැඩ කරන ගමන් ඉන්දියාවට ගිහින් ඉගෙන ගන්න. ටෙක්නිකල් ඇසිස්ටන් කෙනෙක් විදියට මම මුලින්ම සම්බන්ධ වුණේ සෝමසේක රන්ගේ දස්කම චිත්‍රපටයට.

ඊට පස්සේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ වනලිය, කවට අන්දරේ, හදිසි විවාහය, ජීවිත පූජාව වගේ චිත්‍රපට බොහොමයක සහාය කැමරා ශිල්පියෙකු ලෙසින් වැඩ කළා. සිලෝන් ස්ටුඩියෝවේ තැනෙන චිත්‍රපට ඩිවලොප් කරන්න ගෙනිච්චේ ඉන්දියාවට. මට ඕනෑ කළේ ඒ එක්ක ඉන්දියාවට ගිහින් එහෙ පුහුණුවක් ලබන්න. සන්දේශය චිත්‍රපටය කරලා ඉවර වෙලා කැමරා ආම්පන්න සිලෝන් ස්ටුඩියෝවේ තිබුණේ මගේ භාරයේ.

ඔය අතරේ ප්‍රේම්නාත් මොරායස් ආවා. ඔහුත් සමඟ මම සීගිරි කාශ්‍යප, ගංතෙර වගේ චිත්‍රපට කීපයක වැඩ කළා. කැමරා ඉන්චාජ් වශයෙන් තමයි කටයුතු කළේ. ඔය අතරේ රජය මඟින් කිව්වා ඉන්දියාවට ගිහින් චිත්‍රපට හදන එක නතර කරලා මෙහෙ ඒවා කරන්න පටන් ගන්න කියලා.

කේ. ගුණරත්නම් 1960 දී සිනමාස් සමාගමේ විජය චිත්‍රාගාරය පටන් ගත්තා හැඳල. ඒකට ආවා එම්. මස්තාන් කැමරාමන් ටෙක්නිකල් ඇඩ්වයිසර් ඩිරෙක්ටර් හැටියට. මමත් විජය චිත්‍රාගාරයට එකතු වුණා. මම තමයි එතැන හිටිය සියලු ටෙක්නිකල් සයිඩ් එකේ දැනුම තිබුණ කෙනා. ඒ නිසා මට කේ. ගුණරත්නම්ගෙන් වගේම එම්.

මස්තාන්ගෙන් විශේෂ සැලකිල්ලක් ලැබුණා. ටෙක්නිකල් සයිඩ් එකේ දැනුම අලුතින් ස්ටුඩියෝවට ගන්න අයට පුහුණුවක් හැටියට ලබා දෙන්න මට බාර වුණා. ඔය අතරේ ස්ටුඩියෝවට නවීන කැමරාවක් ගෙනවා මුල්වරට. මිචෙල් කැමරාව. මේ කැමරාව සිලෝන් ස්ටුඩියෝවේ තිබුණු නිවුවෝල් කැමරාවට සමානයි.

මම කලින් නිවුවෝල් කැමරාව ඔපරේට් කරලා තිබුණ නිසා මිචෙල් කැමරාව ඔපරේට් කරන එක පහසු වුණා. ඔය අතරේ කේ. ගුණරත්නම්, එස්. මහේන්ද්‍රන් කියලා කැමරමන් කෙනෙක් ස්ටුඩියෝවට ගත්තා. සිනමාස් සමාගමේ අපි මුලින්ම කළේ අදට වැඩිය හෙට හොඳයි චිත්‍රපටය. චිත්‍රපටය කරන කොට කැමරාකරණයේදී මතු වෙච්ච ගැටලුවලට මම තමයි විසඳුම් හෙව්වේ. එස්. මහේන්ද්‍රන්ට ඒ ගැන ප්‍රායෝගික දැනුමක් තිබුණේ නැහැ. මට මස්තාන් කිව්වා වාමා හොයලා බලලා මේ චිත්‍රපටය කරන්න උදව් කරන්න කියලා. මම මගේ දැනුම යොදලා චිත්‍රපටයේ වැඩ අවසන් කළා.

මම තමයි එම්. මස්තාන්ට කිව්වේ ගාමිණී ගැන. එහෙම කියලා තමයි ගාමිණීව සිනමාස් සමාගමේ චිත්‍රපටවලට එක් කර ගත්තේ.

චිත්‍රපටයක කැමරාවක් මෙහෙය වූ අතීතය සිහියට නැගුවොත්?

චණ්ඩියා ඇතුළු චිත්‍රපට කීපයකටම සහය කැමරා ශිල්පියා ලෙස මම ඇත්දැකීම් ලබලා තියෙන අතරේ මට අහම්බෙන් තමයි චිත්‍රපටයක කැමරාව මෙහෙයවන්න ලැබුණේ. මගේ වෘත්තීය ජීවිතය නව මඟකට පෙරළුවේ ඔබ දුටු දා චිත්‍රපටයයි. මේ චිත්‍රපටයේ සහාය කැමරා ශිල්පියා වුණේ මම. ප්‍රධාන කැමරා ශිල්පියා වුණේ ලිනී ද කොස්තා.

චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වුණේ ගාමිණී ෆොන්සේකා. චිත්‍රපටයේ අධ්‍යක්ෂ වුණේ ශිවානන්දන්. මොන යම් හේතුවක් නිසා හෝ එදා කොස්තා ෂූටින්වලට ආවේ නැහැ. ගාමිණී මට කතා කරලා කිව්වා වාමා අද තියෙන සීන්ස් ටික ෂූට් කරන්න කියලා. ශිවානන්දන්ට කිව්වා වාමා ඔය කාටත් වඩා හොඳයි බය වෙන්න එපා ශිවානන්දන් කියලා. එදා මම මුලින්ම රූ ගැන් වුයේ ගාමිණී, ජීවරාණි එකට රඟපෑ සීන් එකක්.

චිත්‍රපට කැමරා අධ්‍යක්ෂවරයකු ලෙසින් ඔබ තනිව ගමනක් අරඹන්නේ?

ගාමිණී ෆොන්සේකා ප්‍රධාන නළුවා ලෙස රඟපෑ සූර චෞරයා චිත්‍රපටය. ඒ ඇරැඹුමත් සමඟ ආත්ම පූජා, අටවැනි පුදුමය, උතුම් ස්ත්‍රිය, සුරයන්ගෙත් සූරයා, එදත් සූරයා අදත් සූරයා, හොඳම වේලාව, කවුද රජා ආදී චිත්‍රපට වැලකට මගේ කැමරා අධ්‍යක්ෂණය එක් වුණා.

සිනමා කැමරාකරණයේ ඔබේ ගුරුවරයා ලෙසින් සලකන්නේ?

දකුණූ ඉන්දීය සුප්‍රකට කැමරා ශිල්පී එම්. මස්තාන් මගේ ගුරුවරයා ලෙසින් මම සලකනවා. ඔහුගෙන් මට කැමරාකරණයේ බොහෝ දේ ඉගෙන ගන්න ලැබුණා. ටී. වයි. එම්. සාමි, එම්. ඩී. සුමනසේකරන්ගෙන් කැමරාකරණයේ ප්‍රාථමික අවබෝධය මම ලබා ගත්තා.

කළු සුදු චිත්‍රපට කැමරාකරණයෙන් විස්කම් පාන ඔබ හාපුරා කියා වර්ණ චිත්‍රපට කැමරාකරණයෙනුත් විස්කම් පාන්නේ විචාරක පැසසුම් මධ්‍යයේ?

මනික් සන්ද්‍රසාගරගේ රැම්පේජ් ඉංග්‍රීසි චිත්‍රපටය තමයි මගේ මුල්ම කැමරාකරණයේ වර්ණ චිත්‍රපටය. මගේ මේ චිත්‍රපටයේ කැමරාකරණය වර්ණ භාවිතය, ආලෝකය මම හසුරුවලා තිබුණ ආකාරය පිළිබඳ විදේශීය විචාරයන්ගෙන් පවා මට ප්‍රශංසා ගලා ආවා. දලසේයා පටය ඩිවලොප් කරන්න ගිය ඉන්දියාවේ ලැබ්වල පවා හිටිය ප්‍රවීණයන්ගෙන් මට පැසසුම් ගලා ආවේ මමත් හොඳ පොරක් කියලා.

අවස්ථා බොහොමයකදී ඔබ සම්මානනීය ඇගැයුම් අතර සුවිශේෂ පුද්ගලයෙක් බවට පත් වෙනවා?

ලංකාවේ පළවෙනි ජනාධිපති සම්මාන උලෙළේදී රැම්පේජ් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් මට මුල්වරට එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා අතින් සම්මාන හිමි වෙනවා. ඊට අමතරව තවත් සම්මාන බොහොමයක් මට කැමරාව උදෙසා ලැබිලා තියෙනවා.

ඒ අතරින් සරසවිය සම්මාන උලෙළේදී පිරිනමන රණතිසර සම්මානය සුවිශේෂයි. මීට සති කීපයකට උඩදී මට සිනමා කැමරා අධ්‍යක්ෂවරයකු ලෙසින් ලාංකේය කලාවට ඉටු කළ මෙහෙවර අගයමින් නිදහස් කලා භූෂණ ගෞරව උපහාර ඇගැයීම් සම්මානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මට පිරිනැමුණා.

වෛරමුත්තු වාමදේවන්ට පිට පිට සම්මාන. සතුට දෝරේ ගලනවා ඇති?

මෙවර පැවැත්වෙන යාපනය අන්තර් ජාතික සිනමා උලෙළේදී ජ්‍යෙෂ්ඨ සිනමාවේදීන් වෙනුවෙන් පිරිනැමෙන යාවජීව සම්මානය මෙවර මට පිරිනමන්න කටයුතු කරලා. ඒ ගැන සතුටුයි. ඒත් සම්මාන ලැබුණත් හිතේ දුකකුත් තියෙනවා. මම මේ කතාව කියන්නේ මම ගැනම හිතලා නොවෙයි. අනිත් කාර්මික ශිල්පීන් නළු නිළියන් ගැනත් හිතලා. මට පසුගිය ආණ්ඩුව කාලේ ගෙයක් දෙන්න අනුමත වුණා. අන්තිමට ඒක ගන්න ගියහම ඒකත් මට දුන්නේ නැහැ. කලාකාරයන්ට වාහනයක් ගන්න ණය මුදලක් දුන්නා.

මට ඒ ණය මුදල පාස් වෙලා බැංකුවටත් ආවා මට ඒ ණය මුදල දෙන්න කියලා නිර්දේශ වෙලා. ණය ගන්න බැංකුවට ගියහම ආණ්ඩුව මාරු වුණා කියලා මට දෙන්න තිබුණු වාහන ණය නතර කරලා දැම්මා. කලාකාරයන්ට විශ්‍රාම වැටුපක් ආරම්භ කළා. ඒකට මමත් ඉල්ලීමක් කළා. කොටසකට පැන්ෂන් එක දුන්නා. මට දුන්නේ නැහැ. ඇයි මට එහෙම කළේ කියලා මම චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයාගෙන් ඇහුවා. එයා කියනවා මට විශ්‍රාම වැටුප දෙන්න නම් දැනට දීල තියෙන කෙනෙක් මැරෙන්න ඕනෙලු.

ඔන්න විශ්‍රාම වැටුප් දීමේ න්‍යාය. දැන් බලන්න අපේම සහෝදර කලාකාරයෙක් මැරෙනකන් ඉන්න ඕනේ මම විශ්‍රාම වැටුපක් ගන්න. මම අහන්නේ ඔය ඔල්මොරොන්දන් කාරයන්ගෙන් එතකොට ඔය කාටත් කලින් මම මැරුණොත් මට විශ්‍රාම වැටුප දෙනවද? හැම කලාකාරයෙකුටම කාර්මික ශිල්පියෙකුටම මෙහෙම කරන එක හරි නැහැ නේද? මෙහෙම කෙනහිලිකම් මැද සම්මාන ලබන එක ගැන හිතේ තියෙන්නේ කනගාටුවක්.

දැන් සම්මාන පිට සම්මාන ඔබ වෙත ගලා ආවත් සිනමාවේ සම්මානනීය ඇගැයුම් අතර ඔබ එවක ගිලිහී ගිය පුද්ගලයෙක් වුණා නේද?

මට ඒ අසාධාරණය සිද්ධ වුණා. එවක මට එහෙම කළේ මම දෙමළ ජාතිකයෙක් වුණ නිසා කියලයි මම හිතන්නේ. රෑ මනමාලි, සාගරයක් මැද, බාඳුරා මල්, කොටි වලිගය, උතුමාණනි වගේ චිත්‍රපට රාශියකින් මට ලොකු අසාධාරණයක් සිද්ධ වුණා. සම්මාන දීමේදී විනිශ්චය මණ්ඩලයේ තීන්දු තීරණ කොහොම වුණත් ඒ අසාධාරණය කවුරුත් එළිපිටම කතා කළා. මම එක දෙයක් කියන්නම්. කොටි වලිගය චිත්‍රපටයේ රඟපාපු හැම කෙනාටම පාහේ එක එක අංශයෙන් සම්මාන ලැබෙනවා.

හොඳම කැමරාකරණයට විතරක් නෑ. ඔන්න බලන්න අසාධාරණය. මම කැමරාවෙන් දැක්ක මගේ රූප නිර්මාණයන් තමයි චිත්‍රපටයක් විදියට විනිශ්චය මණ්ඩලයත් බලන්නේ. ඒත් මම දෙමළ වුණ නිසා එවක විනිශ්චය මණ්ඩලවලට මාව අකැපයි. ඒත් සරසවිය සම්මාන උලෙළකදී සිනමා කර්මාන්තය වෙනුවෙන් ජීවිතය කැප කළාට එක වරක් පිදෙන රණතිසර සම්මානය නම් මට දුන්නා.

කැමරා ශිල්පියා තමයි සිනමාවේ ස්ටාර්ලා හදන්නේ කියන අදහස ඔබ වගකීමකින් යුතුව ප්‍රකාශ කරන පුද්ගලයෙක්?

අපි එදා චිත්‍රපටවලට දායක වුණේ සල්ලි බලාගෙන නෙවෙයි. කලාව තමයි අපේ ජීවිතය වුණේ. අපි සල්ලි ඉස්සරහට දැම්ම නම් චිත්‍රපට මෙතරම් හැදෙන්නේ නැති වෙන්න තිබුණා. කැමරාකරුවෝ හැටියට අපි තමයි ස්ටාර්ලා හදන්නේ. ඒක තමයි පරම සත්‍යය. අද ඔය තිරයේ බලපරාක්‍රම පැතිරූ තරු එදා හැදුවේ අපි.

අපිට පුළුවන් නළුවො හදන්නත් නිළියො හදන්නත්. ඒ වගේම විනාශ කරලා දාන්නත්. එක ලයිට් එකෙන් කැමරා කෝණයකින් පුළුවන් ඒ නළුවා නිළිය නග්ගන්න, බස්සන්න. නළුවෝ නිළියෝ කළේ අපි කියන දේ කරන එක. අපි කළේ රූප නිර්මාණයක් තුළින් ඒ අය උස්සල නග්ගල ගන්න එක. නළුවට නිළියට චිත්‍රපට හෝල් එකේ විසිල් පාර චියර් එක දුන්නේ අපි. එදා මෙදා මම මගේ රූප නිර්මාණයෙන් ලාංකේය සිනමාවේ විසිල් පාර චියර් එක අරන් දීලා නැද්ද?

ඔබගේ හැකියාව ගැන පැහැදුණු සමහර චිත්‍රපට නිෂ්පාදකයෝ භාගෙට ෂූට් කරලා තිබූ චිත්‍රපටවල කැමරාකරුවන් ඉවත් කර ඔබ ලවා චිත්‍රපට නිර්මාණය කළ අවස්ථා තිබුණා නේද?

එහෙම ඒවා ගොඩක් තිබුණා. ආත්මා පූජා චිත්‍රපටය මුලින් කැමරා කළේ ඒ. වී. එම්. වාසගම්. ඔහු ඉන්දියාවට ගොස් කැමරාකරණය හදාරලා ආපු කෙනෙක්. ඒත් ඔහුට ප්‍රායෝගික අත්දැකීම් තිබුණේ නැහැ. ඒ වන විටත් ඔහු එම චිත්‍රපටය අඩි එකොළොස් දහසක් ෂූට් කරලා තිබියදී සිනමාස් සමාගමේ අධිපති කේ. ගුණරත්නම් වාසගම් ඉවත් කරලා මට ආත්ම පූජා කරන්න භාර දුන්නා. සමහරුන්ට තිබුණා ඉන්දියාවේ ඉඳල ආවම එයා තමයි කෙරුමා කියලා ලොකු කර ගන්න ගතියක්. අපි මෙහෙ නිසා අගයක් නැහැ. අන්තිමට ඉන්දියාවේ ජෙමිනි ස්ටුඩියෝවේ කැමරාකරුවන්ටත් ඇස් ඇරියේ මේ පුංචි ලංකාවේ වෛරමුත්තු වාමදේවන්.

ලංකාවේ මුලින්ම ෆූජි දළ සේයා පට භාවිත කළ කැමරා ශිල්පියා මමයි. අටවෙනි පුදුමය චිත්‍රපටයට මුලින්ම ෂූට් කළේ ෆුජි දල සේයාපටය. චිත්‍රපටය ඩිවලොප් කරන්න ඉන්දියාවේ ප්‍රසාද් ලැබ් එකට ගෙනිච්චහම එහෙ ලැබ් එකේ අයත් පුදුම වුණාලු මම ලයිටින් කරලා තිබුණ විධිය දැකලා. අන්තිමට ජපානෙන් ආවා ෆූජිවලින් මම කරපු චිත්‍රපටයේ දල සේයාපටය පරීක්ෂා කරන්නත්.

ඔබේ කැමරාකරණයේ රහස?

ඔලුව. මම කළේ ඔළුව පාවිච්චි කරන එකයි. අද කැමරා කරන අයට ඔළුව පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඒතරම් කැමරා දියුණුයි. අද කැමරාව දිහා බලන් හිටියාම ආලෝකය කොච්චරද ඕනේ කියලා බලාගන්නත් පුළුවන්. අපේ කාලේ එහෙම නැහැ. ඔක්කොම හිතෙන් අපේ අත්දැකීම්. එදා තිබුණේ කැමරාකරණයට අපේ බලයක්. අද තියෙන්නේ කැමරාකරණයට උපකරණ බලයක්.

ප්‍රවීණ කැමරා ශිල්පියෙකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ලෙනින් මොරායස් සිනමාවට හඳුන්වා දෙන්නේ ඔබ?

ලංකා චිත්‍රාගාරයේ ඉන්න කොට මම දෙමළ වේදිකා නාට්‍යයක් බලන්න ගියා. ඒ නාට්‍යයේ වේෂ නිරූපණ ශිල්පියා වුණේ ලෙනින්. එහිදී හඳුනා ගත් ඔහුව මා ලංකා චිත්‍රාගාරයට කැඳවාගෙන ආවා. මුලින්ම චිත්‍රපට කීපයක ඔහු ලවා වේෂ නිරූපණය කර ගත්තා. පසුව ඔහු කැමරාව පිළිබඳ උනන්දු වුණා. කොහොම හරි ඔහු බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වුණා. මම ලෙනින් අධ්‍යක්ෂණය කළ සමහර චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂ වුණා.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාත් ඔබත් සමීප මිත්‍රයෝ. කොහොමද මේ මිතුදම ඇති වෙන්නේ?

මම සහාය කැමරා ශිල්පියකු ලෙස වැඩ කරන කාලයේ පටන් මගේ දක්ෂතා හොඳින් හඳුනාගෙන හිටිය කෙනෙක් තමයි ගාමිණී. ඔහු මට කතා කළේ වාමා කියලා. මම සහය කැමරා ශිල්පියා ලෙස වැඩ කළ ශ්‍රී 296 චිත්‍රපටයේ ගාමිණීගේ බිරිය සුමිත්‍රා රඟපෑවා. ගාමිණී එදා චිත්‍රපට දර්ශන තලයට ආවේ ගියේ ඇය හමුවන්න.

ඒ ආපු දවස්වලට මම ගාමිණීට විහිළු කළා. අපි දෙන්නාගේ දීර්ඝ මිතුදමේ ආරම්භය එතන. ගාමිණීට දෙමළ ඉංග්‍රීසි භාෂාවන් හොඳට කතා කරන්න පුළුවන්. ඒ නිසා අපිට භාෂා ප්‍රශ්නයත් ගැටලුවක් වුණේ නැහැ. ගාමිණීගේ උතුමාණනි චිත්‍රපටයේ ඉඳලා ඔහුගේ සියලු චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂක වුණේ මම.

කැමරා අධ්‍යක්ෂණයෙන් කටයුතු කරන ඔබ චිත්‍රපට නිෂ්පාදනයටත් යොමු වෙනවා?

මම නිෂ්පාදනය කළ එකම චිත්‍රපටය රෑ මනමාලී. එහි අධ්‍යක්ෂක වුණේ ගාමිණී ෆොන්සේකා. මගේ චිත්‍රපටයේ රඟපාන්න ගාමිණී කිසිම මුදලක් ගත්තේ නැහැ. මගේ හෝටල් බිල පවා ගෙවලා දැම්මේ ගාමිණී. ඒතරම් සමීප බැඳීමක් අපි දෙන්නා අතර තිබුණා. ගාමිණී අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් පරසතු මල්, අන්තිම රැය චිත්‍රපට දෙක හැරෙන්න අනික් සියල්ල මම තමයි කැමරා කළේ.

හැට වසරක කලා ජීවිතය ගැන ආපසු හැරී බලන කොට ඔබට මොකද අද හිතෙන්නේ?

මම අන්තිමට කැමරා කළේ සූර්යා චිත්‍රපටය. ඒක තවම තිරගත වුණේ නැහැ. මම අපේ සිනමාවට නළුවො නිළියෝ ඇති කළ පුද්ගලයෙක්. ඒ අය ක්ෂේත්‍රයේ වැජඹෙන කොට මම නිහඬ සතුටක් අත්වින්දා. මමත් මේ සිනමාව නිසා බැබලුණා. මට ඕනෑ මේ අපි මහන්සියෙන් ගොඩ නඟපු අපේ කර්මාන්තය ඉදිරියටත් වැජඹෙනවා දකින්න. මොකද සිනමාවෙන් කවදාවත් බත් කන්න හදන්න එපා කියලා මට සමහරු කිව්වත් මට සිනමාව තමයි බත් දුන්නෙත්, සිනමාව නිසයි මම බත් කෑවෙත්.