වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා සක්විති 14 වැනි ගුණානුස්මරණය

සිනමා සක්විති 14 වැනි ගුණානුස්මරණය

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ශූරීන්ගේ 14 වැනි ගුණානුස්මරණ දිනය පසුගිය 29 වැනි දිනට යෙදී තිබිණි. එදින ඔහුගේ පිළිරුවට මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට දී පුෂ්පෝපහාර දැක්වීමක් සිදු කෙරිණි. ඒ සඳහා ගාමිණී ෆොන්සේකා පදනමේ සභාපති දමිත් ෆොන්සේකා මහතා සහ පවුලේ සියලු දෙනා කලාකරුවන් සමඟ එක්ව පුෂ්පෝපහාර දැක්වීය. එයට සමාගාමීව 30 වැනි දින කොළඹ නාරාහේන්පිට රුධිර මධ්‍යස්ථානයේදී ලේ දන්දීමේ පින්කමක් ද සිදු කෙරිණි. එය සංවිධානය කර තිබුණේ අශෝක සෙනරත් මුදලිගේ කලාකරුවාය.

සිටියා නම් 73යි

සිංහල සිනමාවේ එදා මෙදාතුර බිහි වූ කඩවසම්ම නළුවා ඔහුය. අද ඔහු ජීවත්ව සිටියා නම් මෙම මස 09 වැනිදාට අවුරුදු 73 කි. මෙලෙස අප සිහිපත් කළේ විජය කුමාරතුංග නමැති සිංහල සිනමාවේ සුපිරි තරුවයි.

සුවඳ පද්ම ඉරිදා පිදෙයි

කලා ශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ සභාපතිත්වයෙන් යුත් මිහිඳු සංස්කෘතික පදනම 7 වන වරටත් පවත්වනු ලබන සුවඳ පද්ම උපහාර සම්මාන උලෙළ මහාචාර්ය ජේ. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 7 වන දින පස්වරු 3.00 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

එදින ආරාධිත දේශනය පවත්වනු ලබන්නේ මහාචාර්ය දර්ශන රත්නායක විසිනි. කලා ක්ෂේත්‍රයට සහ දේශයට සුවිශාල මෙහෙවරක් ඉටු කළ ජාතික තලයේ පුද්ගලයන්, කලාකරුවන් 16 දෙනකුට එදින සුවඳ පද්ම උපහාර සම්මාන පිදීම සහ කලාකරුවන් 20 දෙනකුට සුවඳ පද්ම රජිත උපහාර සමඟ මූල්‍ය තිලිණයන් ප්‍රදානය කිරීම සිදු කෙරේ. එදින සුසේවාභිමානී සම්මානයේ පිදුම් ලබන්නේ කලා ශූරී ලතා වල්පොල, ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ, පුද ලබන අතර සුවඳ පද්ම ස්වර්ණ සම්මානයෙන් විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක, ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා, පියදාස රත්නසිංහ, මහින්ද කුමාර දලුපොත, බුද්ධදාස විතානාච්චි, ක්ලීටස් මෙන්ඩිස්, වීණා ජයකොඩි, අනුලා කරුණාතිලක, වසන්ති චතුරාණි, පද්මිණී දහනායක, රොෂාන් මහානාම, සරත් පෙරේරා, හීනටිගල ප්‍රේමදාස, ප්‍රේමදාස මුදුන්කොටුව, ජයන්ත රණවක, සරත්චන්ද්‍ර වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් එදින සුවඳ පද්ම උපහාරයෙන් පිදුම් ලබයි.

දඩ ඉමට මුල පුරයි

විශේෂඥ වෛද්‍ය නෙඕමාල් පෙරේරා තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන කුලුඳුල් සිනමා සිත්තමේ මුහුරත් උලෙළ පසුගිය දින හෙජස් කෝට් රෙසිඩන්සිස් හි පැවැත්විණි. එහි ජැක්සන් ඇන්තනි, ස්වර්ණා මල්ලවාරච්චි, මහේන්ද්‍ර පෙරේරා, අකිල ධනුද්ධර ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. කැමරාකරණයෙන් රුවන් කොස්තා ද, අංග රචනයෙන් හර්ෂ මංජුලගේ ද, ගේය පද රචනයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ද, නිෂ්පාදනයෙන් වෛදය නිශානි ප්‍රනාන්දු දායක වේ.