|
එකම දැරියක් එකම චිත්‍රපටයක් පට්ටම වැඩක් Pihu
මේ දිනවල බොලිවුඩයෙන් ද එවැනි තවත් සිනමා නිර්මාණයක් පිළිබඳ අසන්නට ලැබෙන්නේ Home Alone චිත්‍රපට මාලාවට වඩා සුවිශේෂ වූ වෙනස්කම් රැසක් ද සමඟින්. එය නම් ජාතික සම්මානලාභි චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන විනෝද් කප්රි විසින් අධ්‍යක්ෂණය කළ Pihu හින්දි චිත්‍රපටය යි. එහි විශේෂත්වය වන්නේ වයස අවුරුදු දෙකක සිඟිත්තියක් වටා ගෙතුණු කතා පුවතක් පදනම් කරගත් එම චරිතය පමණක් ඇතුලත් චිත්‍රපටයක් වීමයි. මීට පෙර බොලිවුඩයෙන් එක් චරිතයක් සහිත චිත්‍රපටයක් දැක ගත හැකි වූයේ 1964 වසරේදීයි. සුනිල් දත් අධ්‍යක්ෂණය කළ Yaadein නම් වූ එහි රංගනයේ දායක වූයේ ද ඔහු යි. තනි චරිතයක් මත පදනම් වූ පළමු බොලිවුඩ් චිත්‍රපටය ද වන්නේ එය යි. බ්‍රිතාන්‍ය අධ්‍යක්ෂ ස්ටීවන් නයිට් විසින් අධ්‍යක්ෂණය කර ටොම් හාර්ඩි රඟ පෑ 2013 වසරේදී තිරගත වූ Locke චිත්‍රපටය ද මේ කුලකයට අයත් වේ.
සමාජ ත්‍රාසජනක චිත්‍රපටයක් වන Pihu මංගල දර්ශනය පැවතියේ පසුගිය 2017 වසරේ ගෝව හිදී පැවති 48 වැනි ඉන්දීය අන්තර්ජාතික චිත්‍රපට උලෙළේදීය. පසුගිය සැප්තැම්බර් 28 වැනිදා සිට එය ඉන්දියාව ඇතුලුව ලොව පුරා තිරගත කිරීම ආරම්භ විය. පුංචි සිඟිත්තිය ලෙසින් පණ පොවන්නේ දෙහැවිරිදි පීහු මීරා විශ්වකර්ම විසිනි. චිත්‍රපටයද ඇයගේ නමින් නම් කිරීම විශේෂ වේ. මෙය නම් අපූරු නිර්මාණයක් බව බොහෝ දෙනාගේ අදහසයි. වයස අවුරුදු දෙකක ළදැරියක ප්‍රධාන චරිතය කර ගනිමින් එම චරිතය පමණක් ඇතුලත් චිත්‍රපටයක් නිර්මාණය කිරීම කෙතරම් විශ්මිත වන්නේ ද? විචාරකයන් පවා මවිත කළ Pihu අධ්‍යක්ෂ විනෝද් පවසන්නේ මෙය සත්‍ය සිදුවීමක් පාදක කොට ගෙන නිර්මාණය කෙරුණු බවයි. සිඟිත්තන් මව්පියන් විසින් තම දෑස මානයේ තබා ගෙන තම පණ මෙන් රකිනා බව කාහටත් රහසක් නොවන කරුණක්. තම දරුවන්නේ ආරක්ෂාව වෙනුවෙන් කැප වන මවුපියන් මොහොතකටවත් ඔවුන් තනි නොකරන්නේ නොදැනුවත්කමින් කුමන ආකාරයේ අනතුරකට ලක් විය හැකිය යන බියෙන්. එසේ වුවත් සිඟිත්තෙකු නිවෙසක තනි වුව හොත් කුමක් සිදු වේවි ද? Pihu චිත්‍රපටය සමඟින් මතුවන වඩාත්ම කුතුහලය දනවන අදහස ද එය යි. Pihu චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ, පීහු නම් දෙහැවිරිදි ළදැරිය තම නිවෙසේ තනිව සිටියදී ඇය වටා පරිසරය සහ එම අවස්ථාවේ අත්දැකීම්වලට පුංචි පීහු ප්‍රතිචාර දක්වන ආකාරය යි.
මෙහිදී විවාහක යුවළක් මුහුණ දෙන ගැටළු සහ පවුලේ සහ දරුවන්ගේ සංකල්ප පිළිබඳව ද සමාජීය බලපෑම් ද විමර්ශනය කරන බව අධ්‍යක්ෂවරයාගේ අදහසයි. චිත්‍රපටයේ තිරපිටපතට දෙබස් කිහිපයක් පමණක් ඇතුළත් වී ඇති අතර චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ළදැරිය හැසිරෙන්නේ කෙසේ ද යන්න මතයි. ඇයගේ රූගත කිරීම් වෙනුවෙන් විනෝද්හට විශාල කැපකිරීමක් කරන්නට ද සිදු වී තිබේ. වැඩිහිටි පුද්ගලයෙකුගේ රංගනයක් මෙන් නොව යමක් තේරුම් ගත නොහැකි දෙහැවිරිදි කුඩා ළදැරියකගේ රංගනය රූගත කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. මේ සඳහා ඇයගේ එදිනෙදා හැසිරීම් අධ්‍යයනය කිරීමට ද ඔහුට සිදු විය. ඒ වෙනුවෙන් රූගත කිරීම්වලට මාස ගණනකට පෙර පීහුගේ මවුපියන් වෙත ලබා දුන් වීඩියෝ කැමරාව ලොකු උපකාරයක් වී ඇත. එහි වූ වීඩියෝ පටය Pihu චිත්‍රපටය වෙනුවෙන් ඉතා ප්‍රයෝජනවත් වූ බව අධ්‍යක්ෂ විනෝද් පවසා සිටී. ඒ සියල්ලටම වඩා විනෝද් මේ පුංචි සිඟිත්තිය තමන්හට හුරුකර ගැනීම සහ මිතුරු කර ගැනීම වෙනුවෙන් මාස හයක කාලයක් කැප කළේය.
මෙහි රූගත කිරීම් වෙනුවෙන් දින 35ක පමණ කාලයක් ගතකර ඇති අතර කුඩා පීහුගේ සුව පහසුව වෙනුවෙන් 20 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් මෙහි රූගත කිරීම් වෙනුවෙන් දායක වී ඇත. Pihu, විනෝද් කප්රිගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටය වන අතර ඔහුගේ කුළුඳුල් වෘත්තාන්ත චිත්‍රපටය Miss Tanakpur Haazir Ho තිරගත කෙරුණේ 2015 වසරේදීයි. වයස අවුරුදු 20 දී පුවත්පත් කලාවේදියකු ලෙසින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ විනෝද්, 2014 වසරේදී සිනමා ලොවට පිවිසෙමින් නිර්මාණය කළ Can’t Take This Shit Anymore වාර්තා චිත්‍රපටය ඉන්දීය ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය. එය නිර්මාණය වී ඇත්තේ, වැසිකිළි පහසුකම් නොමැතිවීම හේතුවෙන් තම සැමියන් අතහැර ගිය කාන්තාවන් හය දෙනෙකුගේ ජීවිත සම්බන්ධ වූ සැබෑ සිදුවීම් පාදක කොට ගෙනයි. |