වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ඩීමන්ස් ඉන් පැරඩයිස් යාපනයට නැද්ද?

ඩීමන්ස් ඉන් පැරඩයිස් යාපනයට නැද්ද?

ජූඩ් රත්නම් අධ්‍යක්සණය කළ ඩිමන්ස් ඉන් පැරඩයිස් චිත්‍රපටය යාපනය සිනමා උළෙලෙන් අත්හිටුවා වාරණය කොට ඇති බව එහි අධ්‍යක්ෂණවරයා සරසවියට දන්වා සිටියි. එය ඒ සඳහා හඳුනා නොගත් කණ්ඩායමක්ගේ විරෝධය බලපා ඇති වග සිනමාකරු නිවේදනයකින් පවසා සිටියි.

චිත්‍රපටය එම උළෙලෙන් ඉවත් කිරීම පිළිබඳ තමාට මේවනතෙක් නිල පැහැදිලි කිරීමක් නොමැති බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් දන්වා සිටියි. එමෙන්ම මෙලෙස චිත්‍රපටයක් වාරණය කිරීම මඟින් මූලික ප්‍රකාශන අයිතිය උල්ලංඝනයවීමක් සිදුවන බවද ඔහු පවසා සිටියි. ඩිමොන් ඉන් පැරඩයිස් චිත්‍රපටය ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙල නියෝජනය කොට Camerador සහ Golden eye යන සම්මාන සඳහා නිර්දේශය විය. එසේම පසුගිය වසර පුරාවට ලොවපුරා චිත්‍රපට උළෙල ගණනාවකට ඉදිරිපත් වෙමින් සම්මාන කිහිපයක්ද හිමිකරගෙන ඇත.


මේ ඒ වෙනුවෙන් උලෙළේ ප්‍රධාන සංවිධායකවරිය වූ අනෝමා රාජකරුණා දැක් වූ පිළිතුරයි.

ඩීමන්ස් ඉන් පැරඩයිස් චිත්‍රපටයේ මංගල දර්ශනය 2017 වසරේ පැවැත් වුණා. ඉන් පසුව මාස 16 ක් තිස්සේ එහි අධ්‍යක්ෂවරයා දකුණේ විවිධ සිනමා ශාලාවල චිත්‍රපටය ප්‍රදර්නය කළා. ඔහු මෙයින් කතා කරන්නේ උතුරේ ජනයාගේ ප්‍රශ්න පිළිබඳව. ඒ නිසා අප වඩාත් සැලකිල්ල යොමු කළා එය උලෙළේ ප්‍රදර්ශනය කරන්න. මේ මොහොතේ ජූඩ් කළ ප්‍රකාශයේ තිබෙනවා දැනුම්දීමකින් තොරව උලෙළින් එය වාරණය කළා කියලා. නමුත් අපි එහෙම කළේ නැහැ. . අපි එම චිත්‍රපටය ප්‍රදර්ශනය කළ යුතු වේලාව හිස්ව තැබුවා. ඔහු අප හා සාකච්ඡාමය තීරණය ගැනීමකට ආවේ නැහැ. තවමත් ඒ සාකච්ඡා විවෘතයි. ඔහු මේ මොහොතේ ප්‍රකාශ ඉදිරිපත් නොකොට එම සාකච්ඡාවට ඇවිත් තීරණයක් ගෙන උලෙළට එම චිත්‍රපටය ඇතුළත් කොට ප්‍රදර්ශනය කිරීම තමයි කළ යුතු වන්නේ.


සෝමවීර සේනානායක ගුණානුස්මරණ උලෙළ පැපිළියානේ සුනේත්‍රා මහා දේවී පිරිවෙන් පරිශ්‍රයේදී

තෙමසකට පෙර දැයෙන් සමුගත් සෝමවීර සේනානායකයන්ගේ ගුණ සමරු උත්සවයක් මෙම 6 වන දින ප. ව. 2.00 පැපිළියාන සුනේත්‍රා මහා දේවී පරිවෙන් පරිශ්‍රයේදී පැවැත්වේ. සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, අකලංක සේනානයක ප්‍රධාන දෙසුම් පවත්වන අතර මෙම උත්සවයේ මුලසුන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පැපිළියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙනාධිපතති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමි හොබවති. බොරලැස්ගමුව අධ්‍යාපන සහ සංස්කෘතික පදනමේ ප්‍රථම සාමාජිකයා මෙන්ම ප්‍රථම ගිහි අනුශාසකවරයා වූද සෝමවීර සේනානායකයන් විසින් එම සංවිධානය තුළින් ප්‍රදේශයට කරන ලද සේවාවට ප්‍රදේශයේ ජනතාවගේ කෘතඥතාවයද මෙහිදී පළ කෙරේ. ටෙලිනිස සංසදයේ සහාය ඇතිව බොරලැස්ගමුව අධ්‍යාපන සහ සංස්කෘතික පදනම මෙම උත්සවය සංවිධානය කරනු ලබයි. සෝමවීර සේනානායකයන් පිළිබඳ වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කෙරෙන අතර එතුමා පිළිබඳ රචිත විද්වත් ලිපි සංග්‍රහයක්ද එදින එළි දැක්වේ.


සංගීත අධ්‍යක්ෂවරුන්ගේ සංගමයක්

දිවයිනේ සියලු සංගීත අධ්‍යක්ෂවරුන්ගේ සුබ සිද්ධිය සැලසීමේ සහ අනාගතයේ ඇති විය හැකි අභියෝගවලට මුහුණදීමේ අරමුණින් සංගීත අධ්‍යක්ෂවරුන්ගේ සංගමයක් සැප්තැම්බර් මස 22 දා නිල වශයෙන් පිහිටුවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව සංගමයේ සභාපති ලෙස සරත් ද අල්විස්, ලේකම් සමන්ත පෙරේරා, උප සභාපති මහින්ද බණ්ඩාර, උප ලේකම් අර්නස්ට් සොයිසා භාණ්ඩාගාරික සිසිල් සහ උප භාණ්ඩාගාරික රෝහණ බෝගොඩ යන සංගීත අධ්‍යක්ෂවරුන් පත් වී තිබේ.

මෙහි උපදේශක මණ්ඩලය ලෙස ආචාර්ය රෝහණ වීරසිංහ, සංගීතඥ රෝහණ බැද්දගේ, ආචාර්ය වික්ටර් රත්නායක, මහාචාර්ය සනත් නන්දසිරි, විශාරද එඩ්වඩ් ජයකොඩි, සංගීතඥ සුනිල් පෙරේරා සහ විශාරද නන්දා මාලිනී පත් කරගෙන තිබේ.

මෙම සංගමය පිහිටුවීමේ අරමුණ වී ඇත්තේ ඉදිරියේදී සංගීත නිර්මාණකරුවන් හට මුහුණදීමට සිදුවන අභියෝග සඳහා විධිමත්ව මුහුණදීමට ශක්තියක් සලසා ගැනීම සහ කලාකරුවන්ගේ සුබ සාධනයයි. ඒ පිළිබඳ සරසවියට අදහස් දැක් වූ ලේකම් සමන්ත පෙරේරා සංගීතඥවරයා ප්‍රකාශ කළේ කලා ක්ෂේත්‍රයේ පමණක් නොව රටේ අධ්‍යාපන, සෞඛ්‍ය, ව්‍යාපාරික වැනි සියලු ක්ෂේත්‍රවල ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්යන් හමුවේ තිරයෙන් පිටුපස විශාල මෙහෙයක යෙදෙන සංගීතඥයන් ප්‍රමුඛ පිරිස් වෙත ශක්තියක්වීමේ අරමුණින් සමස්ත සමාජයට මෙහෙවරක් කිරීමේ අභිලාශයෙන් මේ සංගමය පිහිටුවා ගත් බවයි.


මෙහෙමත් දේශයක් රූ ගැන්වේ

වයඹ අපි කලා සංගමය මඟින් සත්කාරක වැඩසටහනක් යටතේ නිර්මාණය වන මෙහෙමත් දේශයක චිත්‍රපටයේ රූ ගත කිරීම් පසුගියදා ආරම්භ විය. මාරාන්තික ඩෙංගු රෝගය පිළිබඳ දැනුවත් කෙරෙන කතා පුවතකින් සමන්විත මෙම සිනමා සිතුවම චන්දිම වීරසිංහගේ අධ්‍යක්ෂණයකි.

සේන ගුණවර්ධන, සමන් ගුණවර්ධන මානෙල් චන්ද්‍රලතා, ඩී.බී. ගගොඩතැන්න රාහුල් ශ්‍රීනාත්, සුනිල් රත්නායක, මහේන්ද්‍ර සමන් කුමාර, රසිකා වික්‍රමසිංහ, අනුත්තරා දසනායක විදු අබේරත්න, එනිශා දිල්මා, ප්‍රදීප් පි‍්‍රයංකර, මෙහෙමත් දේශයක් චිත්‍රපටයේ නළු නිළියෝ ය. රවී රංගන මෙහි නිෂ්පාදකවරයාය. සංජීව කුමාරගේ සහාය අධ්‍යක්ෂණයෙන් ද, සමන් ගුණසේකර කලා අධ්‍යක්ෂණයෙන් ද, ධනුෂා මධුරංගනි අංග රචනයෙන් ද මෙයට දායක විය. එරාග තෝරදෙණියගේ කැමරා අධ්‍යක්ෂණයකි. සමන් ගුණවර්ධන සංගීත අධ්‍යක්ෂණයෙන් දායක විය. රමේෂ් රංගනායකගේ ගී පද රචනයකි. ධනුෂා මධුරංගනී ගී ගැයුමෙන් එකතු විය.


සඳසීලීට විශිෂ්ට කලාකරු සම්මානයක්

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සාහිත්‍ය මහෝත්සවය පසුගිය 20 වැනිදා සන්ධවනි ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එහිදී සඳසීලී ප්‍රනාන්දු විශිෂ්ට කලාකරු ප්‍රණාම අභිෂේක සම්මානයෙන් පිදුම් ලැබුවාය.

වයස අවුරුදු 4 සිට රංගනයට ළැදි වූ ඇය විධිමත් අධ්‍යාපනයෙන් පසු බැංකු නිලධාරිනියක ලෙස කටයුතු කළ ද ඇගේ රංගන ලාලසාව ඇත හැරුණේ නැත. සිය කාර්යාලයේ මෙන්ම වෙනත් සංගම්වලද නාට්‍ය නිෂ්පාදනයෙන් හා රංගනයෙන් දායක වෙමින් ඇගේ කෞශල්‍ය මතු කර ගැනීමට ඇය සමත් වූවාය.

ගුවන් විදුලි නාට්‍ය, රූපවාහිනී නාට්‍ය මෙන්ම රූපවාහිනි වෙළෙඳ ප්‍රචාරක දැන්වීම්වලට සිය රංගන දායකත්වය ලබා දුන් ඇය ආචාර්ය ජයලත් මනෝරත්න අධ්‍යක්ෂණය කල 'සූරිය කුසුම' නිවාස පාලිකාව ලෙස ද, සමර ශ්‍රී දඩල්ලගේ අධ්‍යක්ෂණය කළ භවයෙන් භවය චිත්‍රපටයේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය ලෙස ද රංගනයෙන් දායක වූවාය.

සඳසීලී ප්‍රනාන්දු ඇතුළු කලාකරුවන්ට විශිෂ්ට කලාකරු ප්‍රණාම අභිෂේක සම්මානයෙන් පුදනු ලැබූ උත්සවය පැවැත් වූයේ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.


දඟදාස සමුගනී

දඟයා නමින් වඩාත් ප්‍රකට වූ සුනිල් ප්‍රේමකුමාර පසුගියදා අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු හැට දෙකකි. මඩොල්දූව චිත්‍රපටයේ දඟදාසගේ චරිතයට පණපොවමින් රසික ජනාදරයට පත්වූ සුනිල් එතැන් පටන් දඟයා ලෙසට හඳුන්වන්නට පටන් ගත්තේය. චිත්‍රපට රාශියක මෙන්ම ටෙලිසිතුවම් රැසක චරිත මැවූ හෙතෙම දෙදරු පියෙකි. සුනිල්ගේ අවසන් කටයුතු ඊයේ ගල්කිස්ස පොදු සුසුනභූමියේදී සිදුවිය.