වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට 297 ක තරඟයකින් පසු මේ ජයග්‍රහණය මම ලංකාවට ගෙන ආවා

චිත්‍රපට 297 ක තරඟයකින් පසු මේ ජයග්‍රහණය මම ලංකාවට ගෙන ආවා

-තිරංජය දිල්හාන්

ජාත්‍යන්තර සම්මාන දිනූ මුල්ම ලාංකීය පරිගණක චිත්‍රපටය

ජාතික රූපවාහිනියේ මාධ්‍යරූප හා සජීවීකරණ ශිල්පියෙකු ලෙස සේවය කරන පරණමානගේ තිරංජය දිල්හාන් පසුගියදා (ඔක් 05 වනදා) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වූ , "Focus on Ability"කෙටි චිත්‍රපට සම්මාන උළෙලේ දී සම්මානනීය වන්නට වාසනාවන්ත විය. ඔහු සමඟ යෙදෙන මේ කතාබහට නිමිති වනුයේ එයයි.

* ඔ‍බ ලද සම්මානය ගැන පළමුව දැන ගන්න කැමැතියි?

මම අධ්‍යක්ෂණය සහ නිර්මාණය කළ "Silent Sigh" නම් වූ ත්‍රිමාණ සජීවීකරණ කෙටි චිත්‍රපටය වෙනුවෙන් තමයි මේ සම්මානය මට ලැබෙන්නේ ඒ "Most Online votes in the International Catagory" යටතේයි. ඒ අංශයෙන් ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවිම මට සතුටක්.

* මෙයට තේමා වන්නේ කුමක්ද?

ආබාධිත පුද්ගලයින් තමයි මූලික තේමාව කර ගත්තේ. සමාජ මාධ්‍ය මඟින් ඔවුන් ගැන බොරුවට කතා කරමින්, ඔවුන්ගේ දුක්ඛිත ජීවිතය ගැන රූප පාවිච්චි කළාට ඔවුනට සිදුවන යහපත කුමක්ද යන්නයි මෙහි ව්‍යංග්‍යයෙන් අදහස් වෙන්නේ. එය සමාජ ගත කරන්නයි මම මේ කෙටි චිත්‍රපටය නිර්මාණය කළේ.

* මේ සඳහා හොඳ තරඟකාරීත්වයක් තිබුණාද?

මෙම කෙටි චිත්‍රපට සම්මාන උළෙල සඳහා රටවල් 28 කින් චිත්‍රපට ඉදිරිපත් කර තිබුණා. ඒ චිත්‍රපට 297ක් . ඒ අතරින් මගේ "Silent Sigh" චිත්‍රපටය අවසන් චිත්‍රපට කිහිපයට තේරී පත්වුණා. එයින් පසුව මේ ජයග්‍රහණය ලංකාවට ගෙන එන්නට මට හැකි වුණා.

* මේ සම්මාන උළෙලේ විනිශ්චය ගැන ඔබේ අදහස?

මෙම සම්මාන උළෙට විනිශ්චය උදෙසා එක් වුණේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවීණයන් පිරිසක්. ඒ අතර ජාත්‍යන්තර අංශයේ විනිශ්චය මණ්ඩලය සඳහා සම්බන්ධව සිටි පුද්ගලයින් සියල්ලම "Silent Sigh" is a 3-D animation that shows us how face-to-face contact with people is so very important in today's world. The vivid colour palette and melancholy music create an evocative blend of optimistic and wistful.

* මෙහි ඇති විශේෂත්වය?

ශ්‍රී ලංකාව දෙසින් බැලූ විට මෙම සම්මානය සුවිශේෂී එකක්. ඊට හේතුව, ශ්‍රී ලංකාව තුළම නිපද වූ ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක් වෙනුවෙන් ලැබූ ප්‍රථම ජාත්‍යාන්තර සම්මානය මෙම සම්මානය වීම සහ ලංකාවේ මාධ්‍ය ආයතනයක ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණ ශිල්පියෙකු ලැබූ ප්‍රථම ජාත්‍යාන්තර සම්මානය ද මෙය වීම. එය ජාතික රූපවාහිනියද ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසයි හැමදෙනාම පවසන්නේ.

* ඔබේ වෘත්තිය දිවිය ගැන කතා කළොත්?

මම වසර 12ක පමණ සිට වෘත්තීය පළපුරුදු ඇති මාධ්‍යරූප හා සජීවීකරණ (Graphics and Animation Artis) නිර්මාණ ශිල්පියෙකකද් ලෙස කටයුතු කරනවා. ඒ වගේම දේශීය වශයෙන් ද විවිධ සම්මාන උළෙලවලදී සම්මානයට හා නිර්දේශයන් ගණනාවකටම පාත්‍රවී තිබෙනවා.

* ඒ ගැනත් කතා කරමු?

2011 දී OCIC Signis සම්මාන සහතිකය.,2012 දී OCIC Signis සම්මාන සඳහා හොඳම පූර්ව ප්‍රචාරක පටය සහ ත්‍රිමාණ සජීවීකරණය වෙනුවෙන් නිර්දේශ වීම.

2013 දී හොඳම ත්‍රිමාණ සජීවීකරණය වෙනුවෙන් රූපවාහිනී රාජ්‍ය සම්මානය ලැබීම,2014 දී විශේෂ දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන් රූපවාහිනී රාජ්‍ය සම්මානය ලැබීම.,2015 සිට 2017 දක්වා රූපවාහිනී රාජ්‍යය සම්මාන උළෙල සඳහා නිර්දේශවීම් 04 කට නම යෝජනා වුණා.

* ඔබේ පාසල වගේම ඔබ පැමිණි ගමන් මඟ ගැන කතා කළොත්?

ක/අලූත්ගම මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා පසුව මහරගම ජනාධිපති විද්‍යාලයෙන් උසස්පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා.2005 දී මුලින්ම Maya මෘදුකාංගය Wijaya Graphics ආයතනයෙන් හදාරා මම 2008 දී Ingrin  ආයතනයෙන් 3D Modeling and Animation Diploma  පාඨමාලාව හදාරා ඉන් Gold Medal හිමිකර ගත්තා. පසුව, 2013 දී ශ්‍රීලංකා පදනම් ආයතනයෙන් HND In 3D Animation & Visual Effects පාඨමාලාව හැදෑරුවා. මෙම පාඨමාලාවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ නීල් කුරේ මහතා ද මෙහිදී මම විශේෂයෙන් මතක් කළ යුතුයි.

* සම්මාන දිනූ කෙටි චිත්‍රපටය වෙනුවෙන් ඔබට සහාය දුන් අය?

"Silent Sigh" සජීවීකරණ කෙටි චිත්‍රපටය නිර්මාණය කිරීමේදී සහාය දැක්වූ හසාරා රොමෙල්, රසික රන්දුනුගේ, ජේ.සී. නුවන් යන නිර්මාණ ශිල්පීන්ට වගේම නිලාන් කුරේ, තිස්ස සුරේන්ද්‍ර , තරිදු ජයවික්‍රම සහ අයෝම ජයසිංහ යන සැමට ද මම මෙහිදී විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.

* ඔබේ අනාගත බලාපොරොත්තු?

ඉදිරියේදීත් මෙවැනි හොඳ නිර්මාණ කරමින් ලංකාව අන්තර් ජාතික මට්ටමට රැගෙන යාම.