වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ නොවන මගේම FB එක

මගේ නොවන මගේම FB එක

පුවත්පත් කියවන ඔබට ගාමිණී වේරගම කියන නාමය අසු නොවී තිබෙන්න විදිහක් නැහැ. මෙරට සිටින අති දක්ෂ විචාරකයන් අතර කෙනෙකු ලෙසට ඔහු හඳුන්වා දෙන්න පුළුවන්. වේරගම ලියූ ලිපි ද නිරන්තරයෙන් පුවත්පත්වල පළ වෙනවා. ඔහු සරසවිය අපට වැදගත් වන්නේ විචාරකයකු ලේඛකයකුව හින්දා පමණක් නොවේ. මෙවර සරසවිය උලෙළේ ජූරි සභාවේ සභාපතිවරයා වුණෙත් ඔහු. ගාමිණී වේරගමට ෆේස්බුක් ගිණුමක් තියෙනවා. ඒක ගැන කියලා එක එක දෙනා ගාමිණීට විවිධ කතා කියනවා.

'මං ඔයාට රික්වෙස්ට් එකක් එව්වා. තෑන්ක්ස් ඇක්සෙප්ට් කළාට.'

එක් කෙනෙක් කියනවා.

එදා ඔයාගෙ මං එවපු මැසේජ් එකට හොඳ රිප්ලයි එකක් දුන්නා.

තව කෙනෙක් කියනවා. හැබැයි ගාමිණී නෙවෙයි උත්තර දෙන්නේ.

මොකද ගාමිණී මහත්තයෝ ඔයාගේ මිත්‍රයො ෆේස්බුක් එක ගැන කියන ඒවට මුකුත් කියන්නේ නැත්තේ.

මේ තත්ත්වය බලාගෙන හිටපු සහෘදයෙක් ගාමිණීගෙන් අහනවා.

සද්ද නැතුව ඉන්නෙ නැතුව මං මොනවා කරන්නද. මට ෆේස් බුක් එකක් නැහැනෙ.

එහෙනම් අර යාළුවා ගාමිණී මහත්තයාගේ නමින් තියෙන බොරු ගිණුමකට රැවටිලද.

මිත්‍රයත් ඇස් උඩ තියාගෙනම ඇහැව්වා.

නැහැ නැහැ. ඒක ඇත්ත එකක්. ඒත් මට ෆේස් බුක් එකක් නැහැ.

ගාමිණී කියපු ඒ කතාව නම් මිත්‍රයට අපබ්‍රංසයක්. ඒ බව දැනගෙන ගාමිණී දිගටම කතා කළා.

මේකනෙ. මගේ නමින් තියෙන ෆේස්බුක් එක හැදුවෙ මගේ දුව. එයා තමයි ඒක මේන්ටේන් කරන්නේ. මට එවන මැසේජ්වලට උත්තර දෙන්නෙත් එයා. ඒ පිටුවට තමයි ඔය හැමෝම ගොඩ වෙලා ඉන්නේ. මට ඕවට කොහෙද වෙලාවක්.


අනෝජා අලුත් ගෙදරක

ජගත් කීර්තියට පත් අනෝජා වීරසිංහ නව නිවහනක පදිංචිව ඇත. 25/2, පස්වැනි පටුමග, විමලවත්ත පාර, නුගේගොඩ ඇගේ නව ලිපිනයයි.


දුකට හේතුව

සඳුන් විජේසිරි ප්‍රසංග වේදිකාවට නැංගොත් අනිවාර්යයෙන්ම ගයන ගීතයක් තියෙනවා. ඒ ගීතය නිසාමයි ඔහු සමහරු වේදිකාවට නංවන්නේ. ගෝවේ ගෑනු පරාදයි තමයි ඒ ගීතය. එඩී ජූනියර් සමුද්‍ර දේවි නාට්‍ය වෙනුවෙන් පළමුව ගයා දෙවනුව සඳුන් ගැයුවත් වැඩි දෙනෙකුට මතක සඳුන්ගේ ගැයුම තමයි. ඉකුත් දිනයකදී මේ ගීය ගැන මතක් කර කර සඳුන් බොහොම කනස්සල්ලෙන් පසුවුණා. ඒ එය ලියූ ගීත රචකයා වූ චන්දි ගුණතිලක වියෝ වූ නිසා. චන්දි ගෝවේ ගීතය ඇතුළු ගීත හයක් සමුද්‍ර දේවි නාට්‍යයේ නව නිෂ්පාදනය වෙනුවෙන් ලිව්වා. මාදම්පිටියේ සුසාන භූමියේදී චන්දිගේ අවසන් කටයුතු සිදු කළා. සඳුන් එයට සහභාගි වෙලත් දුකින් පසු වුණා. ඒ ඊට ඇවිත් තිබුණේ සඳුනුයි තව එකම එක කලාකරුවකු පමණක් වීම නිසයි.


සොඳුුරු තාත්තලගේ සොඳුරු පුතාලා

මේ ඉන්න දෙන්නාගෙන් එක් කෙනෙකුගේ වාසගම දසනායක. අනෙක් කෙනාගේ අබේසේකර. දකුණු පැත්තෙ ඉන්නෙ දසනායක. වමේ අබේසේකර. මේ දෙන්නගෙ වාසගම් ලැබුණෙ අනිවාර්යයෙන්ම පිය උරුමයෙන්. ගහේ කටු උල් කරන්න ඕන නැහැ කියන පැරැණි කියමනට හොඳම උදාහරණය තමයි මොවුන්. දකුණු පැත්තේ ඉන්න දසනායකගේ සම්පූර්ණ නම රංග දසනායක. අබේසේකරගේ මුල නම දිලීප. රංග දසනායක කියන්නේ සංගීතවේදී සරත් දසනායකගේ පුතණුවන්. සරත් දසනායක තමන්ගේම ශෛලියක් ගොඩනඟා ගනිමින් චිත්‍රපට ලෝකය තුළ කළ විස්කම් නම් අපමණයි. සරත් මියුරු තනු අනන්තවත් යෙදුවා දිලීපගේ පියාගේ පදමාලාවන්ට. ඒ තැනැත්තා අන් කවුරුවත් නොව කරුණාරත්න අබේසේකර. අද පවතින සෑම ගුවන් විදුලි නාලිකාවකම සෑම දිනකම කරු ලියූ ගීත කිහිපයක්ම නෙවැරැදීම ප්‍රචාරය වෙනවා. එහෙම නොවුණා නම් තමයි පුදුමෙ. ඒතරම්ම ගීත රැසක් ඔහු ලියුවා. මේ ඉන්නේ ඔවුන් දෙපොළගේ ඊළඟ පුරුක් යුවළ. ඒ අය ද සිය පියවරුන් සේම ක්ෂේත්‍රයේ සෙඳුරු අණසක පතුරවමින් සිටිනවා.


ජාති භේද නැති සම්මාන

සරසවිය සම්මාන උලෙළ නිමාව දුටුවත් ඒ ගැන කතා කරන එක නම් අඩු වෙලා නැහැ. මේ ළඟදි දිනයකදී පූජා උමාශංකර්ට හොඳම නිළිය ලෙස සරසවිය සම්මාන දිනා ගැනීම පිළිබඳ ලංකාවේ ජනප්‍රිය නිළියක් බොහොම නිර්දය අන්දමින් කතා කරලා තියෙනවා. ඇයට සම්මාන දෙන්න බැහැලු. ඇය ඉන්දියාවෙලු. නිළිය එහෙම කියනවා. පූජා ඉන්දියානු තරුණියක් කියලා කියන එකෙන්ම පේනවා ඇගේ නොදැනුවත් බව. පූජා ඉපදිලා තියෙන්නේ ලංකාවේ. ඇගේ පියා ඒ රටේ වුණාට මව මෙහෙ. කොහොම වුණත් අපේ විනිශ්චය මණ්ඩලය බොහොම හොඳින් තීන්දු තීරණ ගත්තා. ඒවාට අප හිස නමා ආචාර කරනවා. දක්ෂතාවයට ජාතියක් ජන්මයක් වැඩක් නැහැ. දක්ෂ නම් සම්මාන දෙන්න ඕන. ඒ නිසාම තමයි ඉකුත් වසරේ සරසවිය උලෙළේ හොඳම නිළිය සම්මානය 100% ඉන්දියාවේ වුණු අංජලි පාටිල්ට දුන්නේ. සිනමා රූපයට දේශ සීමාවක් නෑ.