වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




කල එළි මංගල්‍යයක් කඩවතදී

කල එළි මංගල්‍යයක් කඩවතදී

ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාව පිළිබිඹු කෙරෙන අප සාම්ප්‍රදායික නර්තන කලාව ගිලිහී යාමට ඉඩනොදී මතුපරපුරට දායාදකිරීමේ අරමුණින් ජිනාදරි කලා ආයතනයේ නර්තනය හදාරන සිසු සිසුවියන්ගේ හිසවෙස් සහ ශීර්ෂාභරණ පැලඳවීමේ මංගල්‍යය මෙම මස 06 වැනිදින සවස 7.06 ට යෙදෙන සුභමොහොතින් කඩවත රාගම පාරේ ගල්ඒදන්ඩ රජමහ විහාරස්ථානයේදී පැවැත්වේ. කුලකුමරුවන් සහ කුලකුමරියන් 21 දෙනෙක් මෙදින හිසවෙස් සහ ශීර්ෂාභාරණ පලඳිති. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ගුරු මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙන අතර එදින සවස 2 සිට ගරායක් ශාන්තිකර්මය පවත්වනු ලැබේ.


වෙස් මංගල්‍යයක් මරඳගහමුලදී

නර්තන ආචාර්ය දිනුක් රත්නායක යටතේ උඩරට නර්තනය හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසිහතර දෙනෙකුගේ හිස වෙස් බඳින සහ ශීර්ෂාභරණ පලදින මහා කලඑළි මංගල්‍යයක් මෙම මස 07 වැනි දා එනම් එන ඉරිදා මරඳගහමුල වාලුකාරාම විහාරස්ථානයේදී සිදුවෙයි.

මේ අවස්ථාව සඳහා කලාසූරී රෝහණ බැද්දගේ හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂ සිරිනිමල් අරුණසිංහ යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතයන් වශයෙන් සහභාගිවීමට නියමිතය.


ශ්‍රියාපාලට සම්මානයක්

කලාභූෂණ ඊ. ඩී. ශ්‍රියාපාල කලා ශ්‍රී විභූති සම්මානයෙන් ඉකුත්දා පිදුම් ලැබීය. සේයාරුවින් දැක්වෙනුයේ ඔහු එය ලබාගත් මොහොතයි. කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතා ශ්‍රියාපාලට සම්මානය ලබාදුන්නේය. දෙහිවල ප්‍රාදේශීය ලේකම් නාලිනි බාලසුබ්‍රමනියම් මහත්මියද පසෙකින් වෙයි.


අතුලගෙන් වචන ඔබන ඇකඩමියක්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ජාතික රූපවාහිනී හඬ කැවීම් ඒකකයේ හිටපු අධ්‍යක්ෂ අතුල රන්සිරිලාල් මහතාගේ ලංකා ටෙලිවිෂන් ඇන්ඩ් රේඩියෝ ඇකඩමිය, දෙහිවල, කළුබෝවිල, හත්බෝධිය මාවතේ අංක 69 දරණ ස්ථානයේදී ඔක්තෝබර් 6 වැනි සෙනසුරාදා පෙ. ව. 9.00 ට උත්සවශ්‍රීයෙන් විවෘත කරනු ලැබේ.


කතන්දර සහ කවි මිසිර

ඒච්ඊඡ් 10 වන සංවත්සරය හා ලෝක ළමා දිනයට සමගාමීව නවෝදී අනූපමා ලියූ කතන්දර සහ කවි මිසිර එළි දකී. එදින ප්‍රධාන දෙසුම් පවත් වන්නේ ප්‍රවීණ කලාවේදිනී අනෝජා වීරසිංහ සහ කථිකාචාරිනී තුෂාරි වෙලගෙදරය. එය එළඹෙන 7 වන ඉරු දින අකරවිල නර්තන හා නාට්‍ය පදනමේදී පස්වරු 3.00 ට ජනගත කෙරේ.


ධර්ම චරාජ්‍ය එළි දැක්ම ටවර්

ඩැනී සමරවීරගේ නාට්‍ය නිර්මාණය ධර්මරාජ්‍ය හි මංගල දැක්ම මෙම මස 05 වැනිදා මරදාන ටවර් රංගශාලිවේදී වේදිකා ගතවේ. රින්ස්ලි විරරත්න, මාක් සැම්සන්, දොන් ගයි, මහින්ද ශ්‍රී උපුල්, සරෝජනි කවිරත්න ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රංගනයෙ යෙදෙති.


ග්‍රැමෆෝන් යුගය දකිමු

ලක් දෙරණ සංස්කෘතික පදනම සහ ග්‍රැමෆෝන් ගී මිතුරු සංසදය සංවිධානය කරනු ලබන ග්‍රැමෆෝන් යුගය දකිමු ප්‍රදර්ශනය එළඹෙන 5 සහ 6 දෙදින තුළ පැවැත්වේ. ඒ කොළඹ විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨයේදීය. 1940, 50, 60 යන දශකයන් තුළ මෙරට ශ්‍රාවකයන්ගේ ගී මනදොළ සපිරූ ග්‍රැමෆෝන් යුගය පිළිබඳව වත්මන් තරුණ පරපුර දැනුමින් පෝෂණය කිරීම අරමුණු කරගෙන එම ප්‍රදර්ශනය පවත්වනු ඇත. මෙය සංවිධානය කරනු ලබන්නේ ගී මිතුරු සංසදයේ තිලක් වැලිකල, කේ. එම්. ප්‍රනාන්දු, ආර්. පී. ඩී. දිල්හානි යන මහත්ම මහත්මීන් විසිනි.