වර්ෂ 2018 ක්වූ  ජූනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ ජීවිතේම වෙනස් කළේ පුවත්පතක ගිය පුංචි දැන්වීමක්

මගේ ජීවිතේම වෙනස් කළේ පුවත්පතක ගිය පුංචි දැන්වීමක්

singer

subuddhi lakmali

දශකයකට වැඩි කාලයක් මුළුල්ලේ ඇය මෙතෙක් ආ ගමන් මඟ, ඇය ගොඩ නඟාගත් ප්‍රතිරූපය, දක්ෂතාවය, ඇය ලබාගත් ආකර්ෂණය සැබෑවටම ඇයට ගෙන ආවේ ප්‍රවීණත්වයකි. නිසංසලේ ගලා බසින දිය දහරාවක් සේ ඇගේ හැකියාවන් ද විවිධ මං පෙත් සොයා ගමන් කරන්නීය. මේ හැම දෙයක් දෙසම ආපසු හැරී බලා සතුටු වන්නට බොහෝ කාරණා ඇය සතුය. මේ සොඳුරු කලාකාරිය සුබුද්ධි ලක්මාලිය.

කලකට පසුවයි ඔබ අපිට හමු වන්නේ?

ඔව්. කලා නිර්මාණ සමඟ කාර්යබහුල වුණා මිසක, මුද්‍රිත මාධ්‍යයෙන් රසිකයන් අතරට එන්නට කාලෙකින් ඉඩ ලැබුණේ නැහැ.

මොනවද ඔබේ නවතම කලා තොරතුරු?

මේ දිනවල කලා නිර්මාණ කිහිපයකටම දායක වෙනවා. ඒ අතුරින් පසුගිය දවසක වී. සිවදාසන්ගේ නවතම චිත්‍රපටයේ ගායනය සඳහා මම දායක වුණා. ඒ මම ගායනයෙන් දායක වූ දෙවන චිත්‍රපටය. පළමුවෙනි චිත්‍රපටය 'පාටක් නැති ආදරයක්' එයට ගායනයෙන් දායක වුණාට පසු දෙවන වරට තමයි වී. සිවදාසන්ගේ 'දෙවැනි යුද්ධය' චිත්‍රපටයට ගායනයෙන් දායක වුණේ. ඊට අමතරව දර්ශන රුවන් දිසානායකගේ 'වසන්ත නිද්‍රාව' ඔපෙරාවේ 'හිම කුමාරි' චරිතය නිරූපණය කරනවා.

ඔබ එහි ගායනා කරන ගීතය ගැන කතා කළොත්?

'රතඹර අඹරණ සැලුණාවේ . . . මේ ගීතය සංගීතවත් කර තිබෙන්නේ ඉන්දියානු සංගීතඥයෙක්. මේ ගීතයට මම දායක වෙනවා. එය මට වෙනස්ම අත්දැකීමක් වුණා.

ඒ කොහොමද?

මම මෙතුවක් කාලයකට ගායනා කළේ ශාස්ත්‍රීය මට්ටමේ ගීත. වේග රිද්මයේ ගීත ගායනා කළේ බොහොම අඩුවෙන්. තරමක වේග රිද්මයේ ගීතයක් තමයි මේ චිත්‍රපටයේ මම ගායනා කරන්නේ. මම බොහොම සන්තෝසයෙන් ඒ අභියෝගයටත් මුහුණ දුන්නා.

මේ ගීතයේ පද රචනය ගැන ඔබට දැනෙන්නේ මොන විදිහටද?

මේ ගීතය ගත්තම හරිම සැහැල්ලු ගීතයක්. ප්‍රේමය, ආදරය ගැන කියැවෙන ගීතයක්. තමන්ගේ ප්‍රේමවන්තයා බලාපොරොත්තුවෙන් ඉන්න ප්‍රේමවන්තියක්. ඒ ආදරණීය බලාපොරොත්තුව, සැහැල්ලුව තුළ යම් හැඟීමක් ප්‍රකාශ කරන බව මට පද රචනය දෙස බලත්දී දැනුණා. එය උපන් දින සාදයකදී ගායනා කරන ගීතයක්. මට හිතෙනවා මේ ගීතය රසිකයන් අතරට යයි කියලා.

කුඩා කොළ කැබැල්ලක් ඔබේ ජීවිතයම වෙනස් මඟකට යොමු කරනවා. මම එහෙම කිව්වොත් හරිද?

මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබන්නේ බත්තරමුල්ල ශ්‍රි සුභූති ජාතික පාසලෙන්. එහිදී මම බාහිර ක්‍රියාකාරකම්වලට යොමු වෙනවා. අධ්‍යාපනය, මලල ක්‍රීඩා, කථික, විවාද, පද්‍ය ගායනා, සංගීතය, නර්තනය, රංගනය මේ හැම දේම කරනවා. මේ අතර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනවා. කොළඹ යශෝධරා බාලිකාවට ඇතුළත් වෙනවා.

උසස් පෙළ හදරන්නේ ජීව විද්‍යා අංශයෙන්. ඒ අතරතුරත් සංගීතයට සම්බන්ධ වෙනවා. උසස් පෙළින් පසුව ධ්ච්ර් ආයතනයේ ධ්ඊ උපාධියක් හදාරනවා. මේ කාලයේදී මගේ වැඩිමල් සොයුරියගේ සැමියා සංජය ප්‍රභාත් මාර්ගයෙන් මට ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත ශාස්ත්‍රාලය ගැන දැනගන්න ලැබෙනවා. ඔහු පවසන්නේ පුවත්පතක ගිය දැන්වීමක් ගැන. පසුව මම ඒ ඔස්සේ යමින් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් යටතේ සංගීතය හදාරන්න පටන් ගන්නවා.

ඒ 2005 වසරේදීයි. එතැන් පටන් වසර තුන හමාරක පමණ කාලයක් ප්‍රාසංගික කලාව, හඬ පුහුණුව ප්‍රගුණ කරනවා. මගේ ජීවිතය එදා මගේ අයියා ගෙනැවිත් දුන් පුවත්පත් දැන්වීම නිසා වෙනස් වුණා.

ඔබ කේමදාස මාස්ටර් ඇසුරින් වේදිකාවට පැමිණෙනවා?

2006 දී 'අග්නි' ඔපෙරාවට මාස්ටර් මුල පුරනවා. එහි පිටපත රචනා කරන්නේ එරික් ඉලයප්පආරච්චි. 2007 මැයි 'අග්නි' ඔපෙරාව ලයනල් වෙන්ට්ඩ් එකේ වේදිකා ගත වෙනවා. මට අවස්ථාව ලැබෙනවා අග්නි ඔපෙරාවේ ප්‍රධාන චරිත හතරෙන් එකක් නිරූපණය කරන්නට. අනෙක් චරිත ඉන්දිකා උපමාලි, කමල් අද්දරආරච්චි, ක්‍රිෂාන් වික්‍රමසිංහ නිරූපණය කරනවා.

ඒ කියන්නේ ඔබේ තිඹිරි ගෙය වේදිකාව?

ඇත්තටම. මගේ ආරම්භය වේදිකාව තමයි. වේදිකාව ඔස්සේ පැමිණෙන ගමන්මඟේ දී මට අවස්ථාව ලැබෙනවා, ඉන් පසුව ටෙලි නාට්‍ය කලාවට සම්බන්ධ වෙන්න. ඒ මහේන්ද්‍ර පෙරේරාගේ 'ස්ටාර් ශ්‍රී ලංකා හිස් තැනක්' හි ප්‍රධාන චරිතය මම නිරූපණය කරනවා. එහිදී රඟපාමින් ගීත විස්සක් විතර ගායනා කරනවා. මොකද මේ නාට්‍යයේ තේමාව වුණේ රියැලිටි තරඟවල යථාර්ථය පෙන්වීමයි. ඒ රංගනයත් සමඟ 2012 වසරේ හොඳම නැඟී එන නිළිය සම්මානයට මගේ නමත් රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළට නිර්දේශ වෙනවා.

ඔබ බොහෝ සම්මාන උලෙළවලදී නිර්දේශිත නාමයන් අතරට එක් වෙන කලාකාරියක්?

2011 දී හොඳම ගායිකාවට මගේ නමත් රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළට නිර්දේශ වුණා. ඒ කේමදාස මාස්ටර්ගේ සංගීතයෙන් නිර්මාණය වූ 'සතර දෙනෙක් සෙන්පතියෝ' හි තේමා ගී ගායනය වෙනුවෙන්. මේ විදිහට කිහිප සැරයක්ම නිර්දේශිත නාමයන් අතරට එක් වෙනවා. ඒ අතර සුදත් රෝහණගේ ගිරිකුල ටෙලි නාට්‍යයේ 'රම්‍යලතා' චරිතයටත් රයිගම් සම්මාන උලෙළේ හොඳම සහාය නිළියට නිර්දේශ වුණා.

වේදිකාවේ රතු හැට්ටකාරී ඔබයි?

ලූෂන් බුලත්සිංහල මහත්මයාගේ 'රතු හැට්ටකාරී' වේදිකා නාට්‍යයේ අනුලා බුලත්සිංහල මහත්මිය රඟපෑ 'රතු හැට්ටකාරි'ගේ චරිතයට මම පණ දුන්නා. ඒ රංගනය බොහෝ දෙනෙකුගේ පැසැසුමට ලක් වුණා. අනුලා බුලත්සිංහල මැතිණිය පවා ආශිර්වාද කළා. මේ ගමනේදී එය මට ලොකු පන්නරයක් වුණා.

ඔබ සිනමා නිළියක ද වෙනවා?

උපාලි ගම්ලත් අධ්‍යක්ෂණය කළ 'ගුරු ගීතය' සිනමා නිර්මාණයට මම දායක වුණා. ඒ වගේම 'කළු හිම' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට දායක වුණා. ඒ නේපාල තරුණියකගේ චරිතය රඟපාමින්.

ඔබේ හඬ කැවීම් කටයුතු කොහොමද?

වසර 5 ක් පුරා සිරස නාලිකාවේ විකාශය වන 'ස්වප්නා' ටෙලි නාට්‍යයේ 'ස්වප්නා' චරිතයට හඬ කවන්නේ මමයි. එය ඉදිරියටත් කරගෙන යනවා. ඒ වගේම ගුවන් විදුලි නාට්‍යවලටත් හඬ කැවීමෙන් මම දායක වෙනවා. ඒ අත්දැකීමත් ලොකු සතුටක්.

ඔබ පෙම්වතියක්ද?

මම ආදරේ හොඳට විඳිනවා. ආදරේ හොඳට දැනෙනවා. එහි සුන්දරත්වය වේදනාව මට දැනෙනවා. මොකද කලා ශිල්පිනියක් විදිහට ඒ දේ මට දැනෙනවා. ආදරේ ගැන ඕනෑම කෙනෙකුට අත්දැකීම් තිබෙනවා. නමුත් මම තවමත් ඒ සාම්ප්‍රදායික රාමුවට කොටු වෙන්න අදහසක් නැහැ.