වර්ෂ 2018 ක්වූ  ජූනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

FEEDBACK

අනෝජා වීරසිංහට

ටක් ටික් ටුක් තුළින් සිනමාවට මුල පිරුවා
මොනරතැන්නට විත් ගීතිකා සමඟ රඟපෑවා
ආරාධනා නොලත් සිංහබාහුට ළං වූවා
මුහුදු ලිහිණියන් වාගේ හිතවතියට පෙම් බැන්දා

රජ දරුවො සමඟින් හිත හොඳ පුතෙක් වුණා
අඳුරු සෙවණැලි මෙන් රන් හදවතක් වුණා
සෙයිලම සොයා මල්දෙනියේ සිමියොන්ට එක්වූවා
මේ වාරේ මගේ සිනමාවේ සුරබිදෙනක් වුණා

වාසිටි කෙල්ල සොයා අරලියා මල් අරන් ගියා
මල් වරුසා මැද යකඩ පිහාටු පාවෙලා ගියා
මිහිදුම් සළු අතරින් මැණික් මාළිගා තනා ගියා
චන්නයි කෙල්ලො දෙන්නයි සමඟ මිස් ලංකාටගියා

සිටු මැදුරේ සිට ඔබට දිව්රා කියන්නම් කීවා
අහිංසාවක් බඳු චිට්ටි ශක්තිට කීවා
සිනාසෙන්න රත්තරන් අපි ඔබට තාමත් ආදරෙයි කීවා
නැවත අපි එක්වෙමු අනෝජා යළි සිනමාවේ කීවා

සරත් සේනාධීර

ජාඇල

*********************

දුලීකා පෙන්වන්න

1974 පෙබරවාරි 25 වෙනිදා තිරගත වූ විජය කුමාරතුංග සහ බියුලා ඩයස් කරුණාරත්න, සුමනා අමරසිංහ, ෆ්‍රෙඩී සිල්වා චරිත තුළින් මියුරු ගී මුසු වූ 'දුලීකා' අප එදා මෙන් කැමැත්තෙන් නැරැඹූ චිත්‍රපටයකි. එය රූපවාහිනී නාළිකාවකින් විකාශනය කරන ලෙස ඉල්ලා සිටිමි.
 

පාලක සමන් පෙරේරා

හැඳල

*********************

රසික හද බැඳගත් හේම නලින්

අවුරුදු පනස් හය නම් මොන වයසක්ද
'හේම නලින්' මහතාණෙනි ඔබ කොහිද?
රසිකයන්ගෙ සිත් කම්පා කෙරුවාද?
කෙතරම් කාලයක් ඉන්නට තිබුණාද?

ස්වර්ණවාහිනියෙ නව නිපැයුම් දුටුවා
අදටත් මතුවටත් ඔබේ නම එහි කෙටුවා
නිහතමානී කටහඬ අද ගොළු වූවා
රූපය නැතුවාට නාමය ඔබ තැබුවා

රූපවාහිනිය ලේඛන කලාවත්
නිවේදන කලාවේ ඉහළටම ගියමුත්
සුරලොව ගියත් මෙහි පැමිණෙන්න නැවතත්
පින්වත මැතිද, ලැබේවා නිවන් සම්පත්

ආර්. ඒ. සෝමා රණසිංහ

*********************

සිත් ගත් හේම නලින්

ප්‍රවීණ මාධ්‍යවේදියකු සහ රූපවාහිනී නිවේදක හේම නලින් කරුණාරත්නගේ හදිසි අභාවය දැරිය නොහැකි පාඩුවකි. ඔහු ඉදිරිපත් කළ වැඩ සටහන් අතර 9.05, ආයුබෝවන්, සුන්දර සෙනසුරාදා අප කාගෙත් සිත්ගත් වැඩ සටහන් විය. හේම නලින් කරුණාරත්න ඔබට නිවන් සුවය පතමි.

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

*********************

නික්ම ගිය සොඳුරු කලාකරුවාට

ළයාන්විත සොඳුරු ලෙස රූපවාහිනී වැඩ සටහන් මෙහෙය වන ලද හේම නලීන් කරුණාරත්නයන්ගේ හදිසි වියෝව නරඹන්නන් එහි අතීත මතක සැමරුම් වෙත රැගෙන යන්නේය.

දිගු නිහඬතාවයකින් යුතුව සමුගෙන වෙන්ව ගිය නමුදු දයාබරිත වූ ඔහුගේ රුවත් හඬත් සදා නොනැසී පවතිනු ඇති.

සරත් ලියනගේ

රන්මුතුගල

*********************

එඩීලා සිහිපත් කරමු

සිංහල සිනමාවේ මුල් පුරුක් වූ එඩී ජයමාන්න, එඩී ජූනියර් සහ එඩී යාපා අය සැවොම ආදරයෙන් සිහිපත් කළ යුතුමයි.

සරත් රණසිංහ

කපුගොඩ මාළිඳ

*********************

සර් ලෙස්ටර් නමින් තියටර් එකක් සාදන්න

චිත්‍රාගාරය තුළට සීමා වී තිබූ සිනමා දර්ශන රූගැන්වීම් එළිමහනට ගෙන ගොස් රිදී තිරයට නව මඟක් හෙළි කළ මහා අදියුරු ලෙස්ටර් ජේම්ස් පීරිස් අපේකම කැටිකර රේඛාව චිත්‍රපටය නිමවා සිනමාවේදීන්ට පෑවේ ආදර්ශයකි.

එතුමා නමින් ලෙස්ටර් රේඛා තියටෙර් නමින් සිනමාහලක් සියලු නවීන අංගෝපාංග සහිතව ඉදි කරන්නේ නම් එය ඓතිහාසික මහඟු කාර්යයක් වනු නොඅනුමානාය.

සම්භාව්‍ය චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා පමණක් එය වෙන් කළ යුතු අතර අනාගත පරපුර ලෙස්ටර් නාමය හඳුන්වාදීමටද වැදගත් කර්තව්‍යක් විය හැකිය. වගකිව යුත්තන්ගේ අවධානයට මෙය යොමු වේවා.

විරාජ් හර්ෂනාථ බණ්ඩාර

හුළුගල්ල

*********************

හරවත් ගීත කෝ

එදා බිහි වූ අර්ථවත් රසවත් මිහිරි ගීත වෙනුවට අද ඇසෙන්නේ කන් බිහිරි කෙරෙන සංගීතයට සැපයූ හරසුන් බොල් ගීත සමුදායකි.

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල

*********************

තිස්සට තුති

පැරැණි චිත්‍රපට, ඩී. වී. ඩී ලෙසින් එළි දැක්විම ඉතාමත් වටිනා ක්‍රියාවකි. ඒ වෙනුවෙන් තිස්ස නාගොඩවිතාන මහතාට මගේ අවංක තුති පුද කරමි. තවද 'චණ්ඩියා', 'ඔබ දුටුදා', 'අප්සරා', 'ආත්ම පූජා' වැනි චිත්‍රපට ද ඩී. වී. ඩී. ලෙසින් එළිදක්වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

කෙනත් පෙරේරා

ජාඇල

*********************

9.05 නිවී ගියාදෝ

1983 වසරේදී ආධුනිකයකු වශයෙන් ජාතික රූපවාහිනියට එක් වී නිෂ්පාදක අධ්‍යක්ෂ ලෙස වැඩ සටහන් මෙහෙය වූ හේම නලින් කරුණාරත්න මහතාගේ වියෝව රූපවාහිනී සේවා සඳහා වූ විශාල පාඩුවකි. 90 දශකයේ අග භාගයේ සිට ජාතික රූපවාහිනි හරහා විකාශය කළ 9.05 වැඩ සටහන හරහා අපි නොදුටු ලෝකයේ ලංකාවේ සිදුවීම් සමුදායක් අපට නැරැඹීමට මෙතුමා දායකත්වය සපයන ලදී. චතුර සුභාවිත කථිකත්වය හරහා සිනමා මුසුව වැඩ සටහන් මෙහෙය වීම ඉතා විශිෂ්ටය. තරුණ නිවේදකයන් හට ද අත හිත දෙමින් මෑතක සිට හිත ළඟ 7 වැඩ සටහන මඟින් යළිත් ප්‍රේක්ෂකයන්ගේ ආර්ෂණය යළි දිනා ගන්නා ලදී. එතුමාට නිවන් සුව පතමි.

දිනේෂ් ගුණසේකර

මාතර

*********************

දක්ෂතා පිරි කමල් දේශප්‍රිය

එකල ජාතික ගුවන් විදුලියේ ප්‍රචාරය වූ 'හන්දියෙ ගෙදර' ගුවන් විදුලි නාට්‍යය ශ්‍රාවක, ශ්‍රාවිකාවන් අතර අතිශය ජනප්‍රිය නාට්‍යයක් විය. ප්‍රහසනයෙන් පිරි එම නාට්‍යයේ 'රංහොටීගේ' චරිතය ගෙන ආවේ අප හට මහත් ආශ්වාදයකි. එම චරිතය දක්ෂ ලෙස රඟපෑවේ කමල් දේශප්‍රියය. ඔහු අද දක්ෂ නිවේදකයෙකු, ක්‍රිකට් විස්තර විචාරකයකු, ටෙලි නාට්‍ය නළුවෙකු මෙන්ම සිනමා නළුවකු ද වේ. ඔහු රඟපෑ ටෙලි නාට්‍ය ගණනාවක් මේ දිනවල විවිධ රූපවාහිනී නාළිකාවල විකාශය වේ. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන 'දෙයියන්ගෙ රටේ' ඉන් ප්‍රධාන තැනක් ගනී. සිනමාවේ ද මේ දිනවල ප්‍රදර්ශනය වන 'යශෝධරා' චිත්‍රපටයේද සැලකිය යුතු චරිතයක් රඟපා ඇත. ඉතා නිරහංකාර පුද්ගලයෙකු වන ඔබට සුභාසිරි.

ජගත් චන්ද්‍රසිරි

පූජා ජගත්සිරි

පස්යාල

*********************

රත්නාවලීට නිසි අගැයුමක් නෑ

රත්නාවලී කැකුණවෙල වේදිකාව, ගුවන් විදුලිය, සිනමා තිරය සහ රූපවාහිනිය ජය ගත් රංගන ශිල්පිනියකි. අතිශය ජනප්‍රිය ගුවන් විදුලි නාට්‍යයක් වූ මුවන් පැලැස්ස නාට්‍යයේ මැණිකේ ලෙස ඇය ඈත පිටිසර ගම්වල ජීවත් වූ රසික රසිකාවියන්ගේ පවා නොමඳ ප්‍රසාදය දිනා ගත්තාය. නමුත් ඇය පිළිබඳ නිසි ඇගයීිමක් සිදු නොවූවා මෙන්ම ඇගේ අභාවය පිළිබඳව ද ජනමාධ්‍ය කතා කළේ ඉතා අල්ප වශයෙනි.

අනුර කුලවර්ධන

රදාවාන

*********************

මහේෂී මධුසංකාට

රිදි තිරය ජය ගනිමින් ප්‍රේක්ෂකයන් අතර නමක් රැන්දූ ඔබගේ දක්ෂතාවයන් පුංචි තිරය හරහා ද දක්නට ලැබීම භාග්‍යයකි.

චන්දන වන්නිආරච්චි

දෙහිඅත්තකණ්ඩිය

*********************

ලින්ටන්ට සුභපැතුම්

'පාදඩයා', 'මගේ වම් අත' වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් ලින්ටන් සේමගේ මහතා නැවතත් 'යූ' නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පැවැත් වූ 'ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් ෆෙයාර් ෂෝකේස්' සිනමා උලෙළට ඉදිරිපත් කරමින් 'හොඳම අධ්‍යක්ෂණය'ට හිමි සම්මානය දිනා ගැනීමේ සතුට නිමිත්තෙන් අපගේ උණුසුම් සුභපැතුම්.

කෑගල්ලේ තටාකය පාරේ

මැණිකේ විල්වල සහ

තිලකරත්න විල්වල

*********************

ලූෂන්ගේ දායකත්වය ප්‍රශංසනීයයි

සුභාවිත ගීයෙන් ශ්‍රාවක රසඥතාවය ඔප් නංවන්නට ගීත රචකයකු වශයෙන් ලූෂන් බුලත්සිංහලයන් වෙතින් ලැබුණු දායකත්වය අතිශය ප්‍රශංසනීයයි. තම සිතෙහි පිළිසිඳෙන වස්තු බීජය මැනවින් පෝෂණය කර අපූරු නිර්මාණයන් ශ්‍රාවකයාට තිළිණ කරන්නට ඔහු සතු ප්‍රතිභා ශක්තිය අගනේය. 'දම් පාටින් ළා සඳ බැස යනවා', 'පිපුණු මලේ රුව', 'රජ මැදුරක ඉපදී සිටියා නම්, 'සිරියහනේ ලණු ඉහිරී' වැනි අපූරු නිර්මාණ ඔහුගේ විශිෂ්ට ප්‍රතිභා ශක්තියට කදිම නිදසුන්ය.

අනුර කුලවර්ධන

රදාවාන

*********************

දයානන්ද ගුණවර්ධන සමරමු

නරිබෑනා, ජසයා ලෙන්චිනා සහ ගජමන් පුවත, මධුර ජවනිකා ආදී ජනප්‍රිය වේදිකා නාට්‍ය නිර්මාතෘ දයානන්ද ගුණවර්ධනයන්ය. කැරකෙන වේදිකාවක් සමඟ බක් මහ අකුණු (පසුව බක් මහ දීගේ චිත්‍රපටය වූයේ ද මෙම නාට්‍යයයි.) සුවිශේෂී එවැනි ප්‍රථම වරට කළ නිර්මාණයක් විය. එදා 1993 වසරේ ජූනි මස 18 මධුර ජවනිකා නාට්‍යය එල්ෆින්ස්ටන් රඟහලේ රඟ දක්වා අවසානයේ දයානන්ද රෝගාතුර වී රෝහල් ගත කර පසුව 1993 ජූනි 24 දින අපව හැර ගියා. එතුමාව අප භක්තියෙන් ගෞරවයෙන් අද සමරමු.

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද මොරටුව

*********************

සජිත් ප්‍රේමදාස  මැතිතුමාට

නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයට අනුව ඉදිවෙන කලා ගම්මාන වැඩ පිළිවෙළට අපගේ හදපිරි ප්‍රණාමය.

නිවසක සිහිනය සැබෑ කරලීමට අමාත්‍යතුමා ගන්නා උත්සාහය තුළ සුවහසක් කලාකරුවන්ගේ ජීවිත එළිය වෙනවා නොඅනුමානය.

ඩබ්ලිව්. කේ. මොහාන්

මහවැලි සී කලාපය

*********************

පෙරදින තරු සමරමු

මතකය පමණක් ඉතිරි කර අපෙන් සමුගත් සිනමාවේ පෙරදින තරු අතරින් සිරිමතී රසාදරී, ඔස්වල්ඩ් ජයසිංහ, වොලී නානායක්කාර, සේනාධීර කුරුප්පු, ජෙසිකා වික්‍රමසිංහ ඒ අතරින් අපට මතකයක් තබා ඇත.

ගාමිණී මහබාලගේ

පිළියන්දල