වර්ෂ 2018 ක්වූ  ජූනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




පාතාලේ කියන්නේ සෙල්ලමක් නෙවේ

පාතාලේ කියන්නේ සෙල්ලමක් නෙවේ

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය. ඒ වන විට පියා වෙනත් ගැහැනියක හා ජීවත් වන බව ඔවුන් සොයාගනියි. බිනරි තනිවම ජීවිතයට මුහුණ දෙන්නට සිතාගෙන කොළඹ එන්නේය. පිටකොටුවේ සාප්පුව තම අතට ගන්නට සිතන බිනරි නිවස අලුත්වැඩියාවට ඩික්සන් නම් තරුණයකුට පවරයි. අනතුරුව ඩික්සන් එම නිවසේම පදිංචි වෙයි. බිනරිගේ පැරැණි මිතුරෙකු වූ දර්ශන චිත්‍රපටයක් නිපදවීම ඩික්සන් පොලොඹවා ගැනීමට උත්සහා කරයි. එහි දුෂ්ටයා වනුයේ ඩික්සන්ය. නිෂ්පාදිකාව බිනරි. චිත්‍රපටය නිපදවා මුදල් හිඟවන බිනරිට උපකාර කරන්නේ විනෝද්ය. මේ අතර විනෝද් කිසිවකු විසින් මරාදමන ලද සැලවෙයි.

අද එතැන් සිට...

දින ගණනක් ගෙවුණේ ඉබාගාතේය.එය කෙලෙස ගෙවුණිදැයි සිතන්නට බිනරි අපොහොසත් වූවාය.ඒ දින කිහිපය මුළුල්ලේ ඩික්සන් තමා අතහැර නොයෑම ගැන ඇය තුළ ඇතිවූයේ වෙනදාට වඩා ලෙන්ගතු කමකි.

‘සුදු නෝනේ’

ඩික්සන් ගේ හඩ අසුණු බිනරි හැරී බැලුවාය.ඔහු අදත් රෑට කෑමට යමක් කඩයෙන් ගෙන විත් තිබේ.විනෝද් සියල්ල අතහැර මෙතරම් ඉක්මනින් යන්නට යාවියයැයි කිසිවක් හෝ සිතා සිටියේ නැත.බිනරි අවුරුදු ගණනාවකට පසු තමන් හා යළි බැදුණු විනෝද් හා ගෙවුණු ජීවිතය යළි සිතා බලන්නට පටන් ගත්තාය.අවුරුදු ගණනාවකට එපිට ජීවිතය පිළිබද අලුත් බලාපොරොත්තු සිහින මවන යුගයක ඇයගේ හොඳම හිතවතාවූයේ විනෝද්ය.විනෝද් සහ බිනරි ආදරය පිළිබඳ කියා ගත නොහැකිව ජීවත් වූවාදැයි ඇය කල්පනා කළාය.

අනතුරුව ඔහු ඇයට ඔහු මුණ ගැහෙන්නේ ජීවිතයේ බොහෝ දුර ගිය පසුය.

විනෝද් ගේ ජීවිතය කෙතරම් වෙනස් ව ඇත්දැයි බිනරිට තේරුම් ගියේ ඔහුගේ මරණය සැළ වූ පසුවය.ඩික්සන් විනෝද් ගේ මරණය පිළිබද පුවත ගෙනා මොහොතේ බිනරිට උන් හිටි තැන් අමතක විය.ඇය විලාප දෙන්නට පටන් ගත්තාය.ඩික්සන් වහා ඇයගේ මුව වසා කාමරයට ගෙන ගියාය.අනතුරුව කාමරයේ දොර වසා දැමූ ඩික්සන් බිනරිට රිසි සේ අඩන්නට ඉඩ දුන්නාය.ඇය සිය කඳුළු ගංගාව වියලා හැරි පසු ඩික්සන් ඇයට සමීප විය.

‘සුදු නෝනේ.විනෝද් මහත්තයා ව මරපු එක අපට දුකයි තමයි.ඒ වුනාට මුකුත් ලෝකෙට පෙන්වන්ඩ එපා.’

ඔහු අවවාදයක ස්වරූපයෙන් පැවසුවාය.

‘ඩික්සන් ඔයා දන්නේ නෑ.මම ඊයේ රෑ නරක හීනයක් දැක්කා.විනෝද් ගැන’

ඩික්සන් බිනරිට කතා කරන්නට ඉඩ හැරියේය.

‘මම ඒක ගැන කියන්න විනෝද්ට කතා කළා.රිප්ලයි කළේ වෙන නොම්මරයකින්’

අනතුරුව ඇය එහි කිවයුතු වැදගත්ම දේ නොකියා සිටින්නට එකවරම තීරණය කළාය.

‘මට දැන් සතුටින් මැරෙන්ඩ පුළුවන්.මා ගන හිතන එක්කෙනෙක් හරි මේ ලෝකේ ඉන්නවා කියලා දැන ගත්තාම’

විනෝද් අවසාන වරට ඇයට පැවසූ හැටි ඇය සවන රැව් පිළිරැව් දෙන්නට විය.එහෙත් විනොද් ගේ වදන් ඇය තුළම තබා ගත්තාය.එය ඩික්සන් හෝ දැන ගත යුතු නැත.

‘විනෝද් මහත්තයා සුදු නෝනෙට මොකද කිව්වේ‘

‘බය වෙන්ඩ එපා කිව්ව’

ඇය එක්වරම කියා සිටියාය.අනතුරුව ඇය ඉකිබිදින්නට පටන් ගත්තාය.’

‘මට බය මෙහාටත් පොලිසිය එයිද කියලා’.

ඩික්සන් පැවසුවේ අනතුරුවය.

‘නෑ.ඔය මරණවලදී අන්තිමට කෝල් ආවේ කාගෙන්ද කියලා හොයනවානේ’

ඩික්සන් පැසුවේ ඇයට නැඹුරුවෙමිනි.තවත් රහසින් මෙනි.

‘සුදු නෝනේ .විනෝද් මහත්තයා මේ පැත්තේ ආවේ නැති විධියට අහල පහළ අයට පෙන්නන්න.’

‘මොනවා වුනත් විනොද් ඉපැදුණෙ හැදුණේ මෙහෙ .ඔය මිනිස්සු ගොඩක් දෙනා විනෝද්ව දන්නවා.දන් විනෝද් ලගේ කවුරුවත් මෙහෙ නෑ.මං දන්නා තරමට’

බිනරි තර්ක කරන්නට පටන් ගත්තාය.

‘ඒ ඔක්කොම හරි සුදු නෝනේ.විනෝද් මහත්තයා මරපු එක සෙල්ලමක් නෙවේ.ඔය කොයි හැටි වෙතත් පාතාලේ කියන්නේ සෙල්ලමක් නෙවේ.මේවායේ හොද නරක දෙකක් නෑ.’

ඩික්සන් කතා කළේ හෙමිනි.බිත්තිවලට කන් ඇති විය හකියැයි ඩික්සන්ට සැක තිබිණ.

එදින සවස ටෙලිවිෂන නාලිකාවක පුවත් අතර විනෝද්ගේ මරණය ට ද තැනක් තිබෙනු බිනරි බලා සිටියේ පුදුමයෙනි.

‘අද උදේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තබා ගැනීමකින් පාතාල නායකයකු වූ විනෝද් නැමැත්තා මිය ගියේය.’

බිනරි ගල් ගැසී බලා සිටියාය.ටෙලිවිෂනයේ පෙනුවූයේ එම ස්ථානය පොලිස් පරික්ෂාවන් සිදු කරන ආකාරයයි.

‘අපි විනෝද් මහත්තයාගේ මළ ගෙදර කොහෙද කියලා බලලා යන්ඩ ඕනෑ’

නිසොල්මන්ව ගල් ගැසී සිටි බිනරි දෙස බලමින් ඩික්සන් පැවසුවේය.බිනරි එබසට කිසිත් නොකිව්වාය.ඇය ටෙලිවිෂනයේ ප්‍රවෘත්තිය දෙස ඇස යොමු කළාය.එහෙත් ප්‍රවෘත්තිය එතරම් දීර්ඝ එකක් නොවිණ

‘අපි ඒවාට ගෑවෙන්ඩ නරකයි.කට්ටිය ඇතිනේ’

ඩික්සන් පැවසුවේ බිනරිට ඇසෙන්නටය.බිනරි නොපෙන්වූවාට සිත යටින් කදුළු සලන බව් ඩික්සන් දැන සිටියේය.හිටි වනම තමා යළිත් නිවසේ ස්වාමියාව සිටියි.

එයින් දිනකට පසු බොරැල්ලේ මල් ශාලාවක තැන්පත් කර තිබුණු විනෝද් ගේ දේහය දැක අවසන් ගෞරවය දැක්විමට බිනරි ගියේ සෝවතින් යුතුවය.විනෝද් සමග නිතර ගමන් කළ එකෙක් දෙන්නෙකු දේහය අසල හොර ගල් අහුලන අයුරු බිනරි දැක ගත්තාය.ඇය ඔවුන් දෙස බලා අඳුනන මුහුණක් පෙන්වන්නට තැත් කළාය.එකෙකු ඇය දෙස රවා බලනු ඩික්සන් දුටුවේය.ඔහු වහා ඇය සමීපයට ආවේය.

‘අපි ඉක්මනින් යන්ඩ ඕනෑ.සුදු නෝනේ’

ඩික්සන් බිනරි ගේ කනට කොදුලාය.ඇය වට පිට බැලුවාය.විනෝද් ගේ හිස වටා ප්ලාස්ටරයක් දමා තිබිණ.

‘ඔළුවටම වෙඩි තියලා තියෙන්නේ’

කවුදෝ කියනු බිනරිට ඇසිණ.

ඇය උන් තැනින් නැගිට මල්ශාලාවෙන් එළියට එද්දී කිසිවක් ඇයගේ අතින් ඇල්ලුවේය.බිනරි වහා හැරී බැලුවාය.

‘මේ බිනරි දුව නේද?’

වියපත්ව දුබල ව සිටි මිනිසාගේ මුහුණ කියව්න්නට බිනරි උත්සාහ කළාය.

‘මම විනෝද්ගේ තාත්තා’