වර්ෂ 2018 ක්වූ  ජූනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




දැවෙන විහඟුන් හෙට පියාඹයි

දැවෙන විහඟුන් හෙට පියාඹයි

සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි සිනමාපටය දැවෙන විහඟුන් මෙම මස 29 වැනිදා සිට රිත්මා මණ්ඩලයේ රීගල් ඇතුළු සිනමා ශාලාවන් වෙත පැමිණීමට නියමිතය. විදෙස් සම්මාන උලෙළයන් කිහිපයක් නියෝජනය කිරීමට සමත් වූ මෙම සිනමා සිතුවම ශ්‍රී ලංකා, ප්‍රංශ, දෝහා කටාර් සහ නෙදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි.

රේණුකා බාලසූරිය සහ ආචාර්ය සෝමරත්න දිසානායක දැවෙන විහඟුන් මෙරට නිෂ්පාදකවරයෝය.

මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනෙවිරත්න, ලියෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ් සහ සංජීව දිසානායක මෙහි චරිත රංගනයේ යෙදෙති. කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශප්‍රියගෙනි. අජන්ත අලහකෝන් ඇඳුම් නිර්මාණ ශිල්පියාය. පියතිස්ස අකුරම්බොඩගේ කලා අධ්‍යක්ෂණයකි. ප්‍රියන්ත දිසානායක අංග රචනයෙන් දායක විය. අජිත් රාමනායක සහ කැතරිනා වර්තේනාගේ සංස්කරණයකි. එළි අකෝකා වර්ණ සංයෝජනයෙන් එකතු වී තිබේ. ප්‍රියන්ත කළුආරච්චි සහ නිකොලා දාහලින් ශබ්ද පරිපාලකයෝය. පළමු සහාය අධ්‍යක්ෂණයෙන් අරුණ තිලකරත්න ද, දෙවන සහාය අධ්‍යක්ෂණයෙන් නිරෝෂන් එදිරිමාන්න ද මේ සඳහා එකතු වූහ. හැරල්ඩ් කරුණාතිලකගේ නිෂ්පාදන කළමනාකරණයකි. දැවෙන විහඟුන් සිනමාපටය මේ වන විට අන්තර් ජාතික සම්මාන පහක් හිමි කරගෙන තිබේ. එය අන්තර් ජාතික සම්මාන උලෙළයන් දහ නවයක් නියෝජනය කොට ඇත. සංජීවගේ පළමුවැනි චිත්‍රපටය වූයේ ඉඟිළෙන මාළුවෝය. එය මෙරට තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ චිත්‍රපටයක් විය.

රන් ස්වරයක සමුගැනීම

අයිවෝ ඩෙනිස් නමැති රන් ස්වරය ඉකුත්දා සදහටම නිහඬ විය. ඔහුගේ අවසන් කටයුතු පසුගියදා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු හිමිපාණන් ඇතුළු පියතුමන්ලා විසින් අවසන් ආශිර්වාදය ලබාදුන් දේවමෙහෙයෙන් අනතුරුව සීදූව රෝමානුකතෝලික සුසාන භූමියේදී මිහිදන් කෙරිණ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශෝක පණිවුඩය ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් විසින් ඉදිරිපත් කරන ලදී. සමරු දෙසුම ජානක වික්‍රමසිංහ පැවැත්වූහ. මෙහිදී අයිවෝ ඩෙනිස් කලාකරුවාගේ අවසන් කටයුතු සඳහා ජනාධිතිතුමන් විසින් ලබාදුන් මූල්‍ය පරිත්‍යාගයත් එදින ඔහුගේ පවුලට ලබාදීමද සිදුකෙරිණ.

සෙල්ලම් නැත්නම් ලෙල්ලම් DVD  මාධ්‍යයෙන්

මංගල මඩුගල්ල නිෂ්පාදනය කළ සෙල්ලම් නැත්නම් ලෙල්ලම් සිනමාපටය ඩී. වී. ඩී. මාධ්‍යයෙන් පසුගියදා එළිදැක්විණි. තිස්ස ඩයස්ගේ අධ්‍යක්ෂණයෙන් නිමවූ මෙය හාස්‍යෝත්පාදක සිනමාපටයකි. ජයසේකර අපොන්සු, මර්සි එදිරිසිංහ, විමල් කුමාරද කොස්තා, මානෙල් වානගුරු, ඥානාංග ගුණවර්ධන, ප්‍රේමදාස විතානගේ, චංචලා වර්ණසූරිය, ජීවන් හදුන්නෙත්ති, මංගල මඩුගල්ල, හැරි විමලසේන, පූජා පතිරණ සෙල්ලම් නැත්නම් ලෙල්ලම් සිනමාපටයේ නළු නිළියෝය.

මිහිඳුගේ කුලුඳුල් ඇල්බමය

මිහිඳු ආරියරත්න යොවුන් පරපුරේ ජනප්‍රිය ගායකයකු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ කුලුඳුල් ගීත ඇල්බමය එළඹෙන ජූලි මස 4 වැනිදා එළිදැක්වීමට නියමිතය. කුලරත්න ආරියවංශ, චාමින්ද රත්නසූරිය සහ ශෙහාන් ගලහිටියාව මෙහි ගීත රචකයන්ය. ආචාර්ය රෝහණ වීරසිංහ, අරුණ ගුණවර්ධන, උදාර සමරවීර මිනිදුගේ කුලුදුල් සංගීත ඇල්බමයේ සංගීත අධ්‍යක්ෂවරුය. ගීත දොළහකින් සමන්විත මෙහි මිහිඳු විසින්ම පදරචනාකොට සංගීත අධ්‍යක්ෂණය කළ ඔහුගේ ක්ෂේත්‍රයේ ජීවිත කතාව පාදක කොටගත් ගීතයක්ද ඇතුළත්ය.

මෙම ගීත ඇල්බමයෙන් පසුව එම ගීත ඇතුළත් සංගීත ප්‍රසංග ත්‍රිත්වයක් රටපුරා පැවැත්වීමට නියමිතය. අගෝස්තු 12 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී සැප්තැම්බර් 01 වැනිදා ගාල්ල කරාපිටිය ශ්‍රවණාගාරයේදීද, සැප්තැම්බර් 29 වැනිදා ධර්මරාජ විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී ඒවා පැවැත්වෙනු ඇත. මෙහි ආරාධිත ශිල්පීන් ලෙස චිත්‍රාල් සෝමපාල සහ ඉන්ද්‍රචාපා ලියනගේ සහභාගිවීමට නියමිතය.

ප්‍රියන්තගේ සිතුවම් දැක්ම

ප්‍රියන්ත අබේසුන්දර විසින් ඇඳි සිතුවම් තිහකින් සමන්විත සිතුවම් දැක්මක් එළඹෙන ජූලි මස 06, 07, 08 සහ 09 යන දිනවයන්හි කොළඹ කලාභවනේදී පැවත්වීමට නියමිතය. හෙළ රුව වර්ණනාව යනුවෙන් නම්කොට ඇති මෙහි තේමාව ශ්‍රී ලාංකේය ජනසමාජයේ සෞන්දර්යාත්මක පැතිකඩක් වේ. හීය, බිම් නැගුම, නඟුල, මැටි කෝප්පය, වට්ටිය, පැදුරු ආන, දැතිගොයියා ආදී ගැමි උපකණ සහ පරිසරාත්මක රූපමය අධ්‍යයනයක් ලෙස හඳුන්වාදිය හැකි මෙම ප්‍රදර්ශනය පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වැදගත් යැයි සඳහන් කළ හැකිය.

දේශීය සිනමාවේ ශිල්පීන්ගේ සන්ධානයේ මහා සභා රැස්වීම

දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ මහ සභා රැස්වීම මෙම මස 30 වැනිදා එනම් එන සෙනසුරාදා උදෑසන 9 ට අංක 380 බෞද්ධාලෝක මාවතේ කොළඹ 07 ලිපිනයේ පිහිටි සමස්ත ලංකා බෞද්ධ මහ සම්මේලන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. සිනමා ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන් සියලු දෙනාහට මෙයට සහභාගිවන්න යැයි සන්ධානයේ ලේකම් එරංග සේනාරත්න විවෘත ආරාධනාවක් කරයි.

නිට්ටඹුවට ඔසාකා ලයිට්

ලයිට් සිනමා සංකීර්ණයට එකතුවන නවතම සිනමාශාලාව මෙම මස 30 වැනිදා එනම් එන සෙනසුරාදා ඔසාකා ලයිට් නමින් නිට්ටඹුව්දී විවෘත වේ. මිනි සිනමා සංකල්පය යටතේ ඉදිවූ මෙම සිනමා ශාලාව ඉහළ තාක්ෂණයෙන් යුතු තාක්ෂණ උපාංගවලින් සමන්විතය.

සස්වීන් කලා සංසදයේ ගී ප්‍රසංගය ජුනි 30 දා

සස්වීන් කලා සංසදය මඟින් දෙවනවරටත් ඉදිරිපත්කරන හැට හැත්තෑව දශකයේ රසික හදබැඳගත් ගී ප්‍රසංගයක් නිර්මාතෘ රමණි පනාගොඩ සභාපතිනි දමිතා රත්නායක, තුසිත තන්තිරිගේ, ජයන්ත ඉලේපෙරුම, රන්ජනි, චන්ද්‍රිකා, සනත් දිසානායක, නිහාල් හදපාන්ගොඩ ඇතුළු කලා ශිල්පින් රැසකගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී ජුනි 30 වැනිදින සවස 3 ට පැවැත්වේ.