වර්ෂ 2018 ක්වූ  ජූනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




ඝරසරප

යක්ෂ මිනිස් සටනක් කළු කුමාරයාගේ සහය කාටද?

ඝරසරප

ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණයක්...

අර්ජුන් කමලනාත් නිෂ්පාදනයක්...

නව යොවුන් වියේ පසුවන සඳරැස් එදිරිසිංහ ගඩාගම දේවස්ථානයට යන්නේ තම ග්‍රාම සගයා වූ අන්තෝනිගේ ආරක්ෂකයා වශයෙනි. එහෙත් වරින් වර වැලඳෙන යක්ෂාරූඩයකින් පීඩා විඳින අන්තෝනි සුව කර ගැනීමේ වගකීම භාරගත් ඔහුගේ මිත්තණියගේ බලවත් විශ්වාසය වූ එම දේවස්ථානයේ සති අන්ත සුව මෙහෙයට ඔහු අත්‍යන්තයෙන්ම නවකයකු වෙයි.

නවකයා නැවුම් මිනිසෙකි. ඔහුට මේ ගමනේදී නැවුම් ප්‍රේමයක් සම්මුඛ නොවී තිබෙයිද? ප්‍රශ්නය නම් මේ යොවුන් පෙම්බරිය එනම් විද්‍යා යක්ෂාරූඪයකින් පීඩා විඳීමයි. විශේෂය නම් ඇය වසාගත් යක්ෂයා ස්ත්‍රීන්ට පමණක්ම ලොල් වඩන සුප්‍රකට කළු කුමාර යක්ෂාවීමය. ස්ත්‍රීන් විෂයෙහි අතිශය බලපෑම් සහගත ආලවන්තයකු වශයෙන් ප්‍රේම ක්‍රීඩාවෙහි නිරත කළු කුමාරයා විද්‍යා කෙරහි කෙතරම් ආසක්තව සිටින්නේ ද යත් ඇය මෙම අතවරයෙන් මුදා ගැනිමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට ඔහු අභියෝග කරනු සුළුය.

සුවපත් කිරීම අරමුණු කරගෙන ආතුරයන් ප්‍රලය කරවන සුව මෙහෙය තුළ එදා ඇය ප්‍රලය නොවන්නේ ඇයගේ සිතට රිංගා ගෙන සිටින සඳරැස් නිසාය. ළාබාල යුවතියගේ හදමඬල සටන් බිම වශයෙන් ගෙන සිදු කෙරෙන මේ නූතන යක්ෂ - මිනිස් සටනින් අවසානයේ මිනිස් කොලුවා ජය ලබන්නේ කළු කුමාරයගේ ද ගෞරවය ද ලබමිනි.

එහෙත් කළු කුමාරයාට ද වඩා බලවත් සමාජ දේශපාලනික තත්ත්වයන් විසින් නොපමාව වෙන්කරවන ලද යොවුන් ප්‍රේ්මවන්තයෝ අහිමි ආදරය දලුලා වැඩෙන්නට ඉඩ හරිමින් එකිනෙකාගෙන් වියෝ වන්නේ කාලය නැමති ස්වභාවික අකාරුණාවේ සරදමට ලක් වෙමිනි. වසර තිස් හතක් ගෙවී යයි. විද්‍යා, සඳරැස් අද වන විට සමාජයේ පිළිගත් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා යළි මුණ ගැසෙයි. ඒ මුණ ගැසීම සිදු කරන්නේ කළු කුමාර යක්ෂයාය.

මෙකී කතා පුවත අන්තර්ගත වන්නේ ජයන්ත චන්ද්‍රසිරි නමැති සම්මානනීය අධ්‍යක්ෂවරයාගේ ඝරසරප නමැති ඔහුගේ නවතම සිනමාපටයට. වෙනස් අන්දමේ සිනමා සිතුවම් ඔබ වෙත ගෙන එන ජයන්තගේ එම සිනමා සිතුවම අර්ජුන කමලනාත්ගේ නිෂ්පාදනයකි. මෙහි කතාව,දෙබස්, තිර රචනය ද ජයන්ත විසින් නිම කොට තිබේ.

ඝරසරප හැඩකරන නළු නිළියන් :

ජැක්සන් ඇන්තනී, කමල් අද්දරආරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, සංගීතා වීරරත්න, යශෝධා විමලධර්ම, අමීශා කාවින්දි, කුසුම් රේණු, වසන්ත විට්ටච්චි, කාවින්ද්‍යා අධිකාරි, දෙවුනක පෝරගේ, ජයනාත් බෝදාහන්දි, රජිත හිරාන්, අයිශාරා අතුකෝරාල, අනුර ධර්මසිරිවර්ධන, මියුරි සමරසිංහ, සේනක ටයිටස්, ගාමිණී ජයලත්, සඳුන් බණ්ඩාර, හේමන්ත රන්දුනු, චතුර පෙරේරා, සංජීව දිසානායක, මහේන්ද්‍ර වීරරත්න, තිස්ස ගුණතිලක, උපතිස්ස බාලසූරිය, ජයරත්න ගලගෙදර, උපුල් මහානාම, ලක්ෂ්මන් රාජපක්ෂ, නෝමන් පළිහවඩන, අතුල ජයතිස්ස