|
රණතිසර සම්මාන
සුගතපාල සෙනරත් යාපා
ජී. ඩී. එල්. පෙරේරාගේ කලා පෙළ සංවිධානයෙන් හැට දශකයේ මුල් භාගයේ නිෂ්පාදිත වේදිකා නාට්‍ය ඔස්සේ කලා ලොවට ප්‍රවිෂ්ට වූ ඔහු, දස්කොන් චිත්‍රපටයේ හාස්‍යෝත්පාදක භූමිකාවක් රඟපාමින් සිනමාවට අවතීර්ණ විය. ඉක්බිති ජී. ඩී. එල්. පෙරේරාගේ ‘සාමා’ චිත්රපයේ රංගනයෙන් සහ එහි විවිධ අංශවලින් දායක වෙමින් ඔහු ඉටු කළ කාර්යභාරය සුළු පටු නැත. හැටේ දශකයේ අග භාගයේ ලාංකේය සිනමාව සමාජ නැඹුරුවට පිවිසෙද්දී යෞවනත්වය වස්තු විෂය කොටගත් නවරැල්ලේ පුරෝගාමී අප කථානායකයාය. ‘හන්තානේ කතාව’ නමින් ඔහු සිනමාවට දායාද කළ සොඳුරු කාව්‍යාත්මක සිනමා කෘතිය ඔස්සේ ඉන්පසු සිනමාවට සුවිසල් මෙහෙවරක් ඉටු කළ නව පරපුරක් හඳුන්වා දීම ඔහු මෙරට සිනමාවට ඉටු කළ අද්විතීය මෙහෙවර අතර කැපී පෙනේ. විජය කුමාරතුංග, අමරසිරි කලංසූරිය, දයා තෙන්නකෝන්, සමන්ති ලැනරෝල් රංගනයෙන් ද විජය ධර්ම ශ්‍රී සහය අධ්‍යක්ෂණයෙන් හා දෙබස් රචනයෙන් ද, ධර්මසේන පතිරාජ, බර්ටි ජයසේකර, බර්ටි ගුණසේකර තිර රචනයෙන් ද දොරට වැඩියේ ‘හන්තානේ කතාව’ චිත්‍රපටයෙනි. ‘මිනිසා සහ කපුටා’ නම් වූ කලාත්මක කෙටිකතා චිත්‍රපටය ඔස්සේ ඉන්දියානු අන්තර්ජාතික සම්මාන උලෙළේ සම්මානයට පාත්‍ර වූ මේ කෘතහස්ත සිනමාකරුවා ඉක්බිතිව ‘පෙම්බර මධූ’, ‘ඉන්දුට මල් මිටක්’ වැනි සංවේදී කාව්‍යාත්මක සිනමා කෘති දායාද කොට පේ්රක්ෂකයාට සදාතනික මතක සටහන් ඉතිරි කර තැබුවේය. රජයේ චිත්‍රපට අංශයේ අධ්යක්ෂ ධුරය හෙබ වූ ඔහු එහිදී ඉටු කළ මෙහෙවර සම්මානනීය කෙටි චිත්‍රපට රැල්ලක බිහිවීමට අනුප්‍රාණයක් වූයේය. එසේම ඔහු නිර්මාණය කළ ‘ගරුඩ ගල’, ‘උඩවැඩියා මල්’ වැනි චිත්‍රපට ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබීය. 1935 වසරේ උපත ලබා අද්‍යතනය වනවිට 81 වැනි වියේ පසුවන සුගතපාල සෙනරත් යාපා නම් වූ මේ සෞන්දර්යාත්මක සිනමාකරුවාට මෙවර ජීවිතයේ එක්වරක් පමණක් හිමිවෙන සරසවිය රණතිසර සම්මානය මෙලෙස පුද කරනු ලබන්නේ නවරැල්ලට මඟ පාදමින් අඩසියවසක් පුරා සිනමාවට ඔහු ඉටු කළ අනර්ඝ මෙහෙවර අගයනු පිණිසය. සුජාතා අත්තනායක
සිනමා ගීතයට ශාස්ත්‍රීය සූක්ෂමතාව අර්ථාන්විතව සංයෝග කරමින් රිදී තිරයේ රංග භූමිකාවන්ට සරිලන ලෙස ගුණෝපේත සුජාත ස්වරය, තානාලංකාර, රසෝද්දීප්තියෙන් ප්රාණනය කරමින්, හෙළ දෙමළ ගේයපද ලාලිත්යයන්හි අර්ථ පූර්ණ රසෝජාවන් නිරවද්‍ය ශිල්පීය හඬ ප්‍රක්ෂේපණයෙන් ප්‍රයුංජනය කරමින් ස්වර මාධුර්යය ඔස්සේ ප්‍රේක්ෂක සිත් රංජනය කිරීම අභිනන්දනය කිරීම උදෙසා දශක ගණනාවක චිත්‍රපට ගීතයෙහි සුපරාජිත සුජාතාව වූ ගායන ශිල්පිනි සුජාතා අත්තනායක වෙත සරසවිය සම්මාන උලෙළේ රණ තිසර සම්මානය සමර්පණය කරන වගයි.
රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සිනමා සාහිත්‍යය සම්මානය
ගාමිණී වේරගම
දශක ගණනාවක් තිස්සේ හෙළ සිනමා ලේඛන කලාව පෝෂණය කරමින් සිනමා සාහිත්‍ය කෘති රැසක් සම්පාදනය කරමින් සහ අදීනත්වයෙන් පිරිපුන් ගාම්භීර විචාර කලාවක් උරුම කරදෙමින් කරන ලද උත්කෘෂ්ට මෙහෙවර වෙනුවෙන් සිනමා සාහිත්‍යය උදෙසා වූ රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සිනමා සාහිත්‍ය සම්මානය මෙවර පිරිනැමෙන්නේ, ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම වෙතයි. |