වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




ගමට පෙම්බැඳි අව්‍යාජ සංගීත ඇදුරාගේ සමුගැනීම

ගමට පෙම්බැඳි අව්‍යාජ සංගීත ඇදුරාගේ සමුගැනීම

සමූහ ගායනයකට එක් වූ පොඩි පන්තියක සිසුවෙක් ජයන්තා අරන්දර සංගීත ගුරුවරිය ළඟම දැවටෙයි. ඒ දකින ගුරුතුමී ළඟට කැඳවා හිස අතගා සිසුවාගෙන් ඊට කරුණු විමසයි.

අඩු කතාබහ ඇත්තෙක් වන කුඩා සිසුවා ගුරුතුමී දෙස බලා දසන් දක්වා සිනාසී සිතැඟි පවසයි.

'ටීචර් මං කලින් ඉස්කෝලේ ඉඳිද්දිත් සින්දු කිව්වා. මං ආසයි සින්දුවලට, ඒත් මට සංගීතය ඉගෙන ගන්නයි වැඩිය ආසා'

'එහෙනම් කියන්නකෝ බලන්න සින්දුවක් පුතේ?'

එවිට ළයාන්විතව ගීයක් ගයනු යාන්තමට බාලාංශයෙන් අඩියක් ඉහළට තබා සිටිය සිසුවාගේ ගායන දස්කම් ගුරුතුමිය මවිත කරවයි.

කුඩා සිසුවාගේ උපන් හපන්කම දුරතියා දකින ගුරුතුමිය එදා ඉටා ගන්නේ විධිමත්ව සංගීතය උගන්වා පුංචි සුනිල්ට සංගීත මාවතේ දුර ගමනක් යන්නට මඟ පෙන්වන්නටයි.

'මගේ මතකයේ හැටියට ඒ 1966 අවුරුද්දේ. ඒ වෙද්දී සුනිල් දයානන්ද කෝනාර හිටියේ හයේ පන්තියේ විතර. මං ඒ දරුවට 6, 7, 8 පන්තිවලට ඕනෑ කරන සංගීත විෂයය දැනුම දුන්නා. සුනිල් ආසාවෙන් කැපවීමෙන් සංගීතය ඉගෙන ගත්තා. සුනිල්ගේ ඒ ගමනේ එක කඩඉමක් ජය ගැනීමක් වුණේ රජයේ කලායතනයට ඇතුළත්වීම. ඒ බව දැනගන්නා විටත් මං දඹදෙණියෙන් මාරුවීම් ලබලා වෙන පාසලකට ගිහින් . . .'

ජයන්තා අරන්දර ගුරුතුමිය ඒ අදින් දශක කිහිපයකට කලින් මතකය පසුගියදා අලුත් කළේ දඹදෙණිය මහජන ක්‍රීඩාංගණයේදීය. එදින අද සමාජයේ අඩුවෙන් අපට හමුවන සැබැවින්ම දුයිෂෙන් පරම්පරාවේ ගුරුවරයකු වශයෙන් මහජනතාවගෙන් විරුදාවලී ලැබූ සංගීත ගුරුවරයකුට සමු දෙන්නට දෙනෝ දාහක් එතැනට එක්ව සිටියහ.

සුනිල් දයානන්ද කෝනාර.

ජයන්තා අරන්දර ගුරුතුමීගේ පැරණි මතකය ද එතැනින් නිම නොවීය. දඹදෙණියෙන් සමුගත්ත ද ජයන්තා ගුරුතුමිය සුනිල් පිළිබඳ සොයා බැලුවාය. සුනිල් ඇය පෙන් වූ සංගීත මාවතේ දුර ගමනක යෙදී සිටිනු දැක ඈ සතුටු වූවාය. සුනිල් දයානන්ද කෝනාරටත් ඔහුට මුලින්ම සංගීත භාෂාවේ අකුරු ඉගැන් වූ ජයන්තා අරන්දර ගුරු මෑණියන්ව කිසිදා අමතක නොවීය. අවුරුද්දකට වතාවක්වත් වියපත් ගුරුතුමිය ජීවත්වන බණ්ඩාරගම ප්‍රදේශයට දඹදෙණියේ මුතුගල සිට පැමිණෙන සිරිත සුනිල් මියැදෙනා තුරුම රැක ගත්තේය.

'සුනිල් දයානන්ද කෝනාරාට තරම් ගෝල බාල පිරිසක් පණ්ඩිත් අමරදේවයන්ටවත් නොසිටින බවයි මගේ හැඟීම. සුනිල් රෝගාතුර වූ ද පටන්ම ඒ බව දැනගත් සුනිල්ගෙන් සංගීතය ඉගෙන ගත් සිසුන් සුනිල්ව සුව කර ගන්නට ගත් වෙහෙස පිළිබඳ මා දන්නවා.

සුනිල් කොළඹට නෑවිත් ගමට වී සිටීම පිළිබඳ කොළඹට අරක්ගත් බොහේ දෙනා මගෙන් ද විමසා තිබෙනවා. ඒ බව මා සුනිල්ට කියූ විට ඔහු කළේ කිසිවක් නොකියා කට කොනකින් සිනාසීම පමණයි. ඒත් සුනිල් කොළඹ පැමිණියා නම් ඔහුට අගනුවර සුපිරි පාසලක සංගීතය භාර ප්‍රධාන ආචාර්යවරයා වන්නට තිබුණා. නමුත් සුනිල්ට වුවමනා කළේ එවැනි ජීවිතයක් නෙවෙයි . . .' ඒ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක සුනිල් දයානන්ද කෝනාර නම් කුලුපඟ මිතුරු ගැමියා පිළිබඳ සිහිපත් කළ මතක පෙළකි.

අන් කිසිදු සංගීත ආචාර්යවරයකුටවත් දෙවැනි නොවන බවට ආචාර්ය සෝමරත්න පෙන්වා දෙන සුනිල් දයානන්ද කෝනාරගෙන් සංගීතය උගත් සිසු සිසුවියන් අතරින් අද සංගීත විශාරදවරුන් සහ විශාරදවරියන් වී සිටින පිරිස 26 දෙනකුටත් වැඩිය. සුනිල්ව සොයගෙන අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව ආදී දුර බැහැර පළාත්වලින් පවා සංගීත විද්‍යාර්ථින් දඹදෙණියට ආහ. සුනිල්ගෙන් වෙනසක් නැතිව සංගීත ඥානයට අමතරව ජීවිතය පිළිබඳ දැනුම ද ලැබිණ.

ඔහු පාරම්පරික ගැමි දිවියේ හරපද්ධතිවලින් උගත යුතු දෙය නොඅඩුව ලබා ගත්තේය. ඒ ඥානය ඉදිරි පරම්පරාවටත් එසේම ලැබේවිදැයි සැක සංකා මතු වූ විට ඒ යථාව ද කලක් කාගේත් මතකයේ රැඳෙන ගී පද වැලක අමුණා දැයට දායාද කරන්නට තරම් ප්‍රතිභාවක් සුනිල් දයානන්දට විය.

දිය බෙරලිය දලු නෙළන්න ගිය දා
වැටුණු අනෝරා මහ වරුසාවේ
කිරිල්ලියක සේ මා උණුසුම් කර
පෑව සෙනේ මට මතකයි කිරි අම්මේ
සේලංකඩ යට හීතල හෙවණේ
අමල් බිසෝ ගැන කතා කියා දී
ඇඟිලි තුඩින් මගෙ හිස සනසාපන්
නිවන්පුරේ ගිය පෙම්බර කිරි අම්මේ . . .

කයින් වියෝ වූ නමුත් කිසිදාක සිතින් ඈත් නොවනා මුත්තණුවන් සහ මිත්තණියන් පිළිබඳ මුණුබුරු මිනිබිරියන්ගේ මතකය සුනිල්ටත් එසේම විය.

'රැය කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
නෙත නෑ නිදි විඳ ගන්නේ'

ඒ ගීයට පෙම් බඳින ඇතැමෙක් තවමත් එහි පද රචකයා සුනිල් දයානන්ද කෝනාර බව නොදැන සිටිනවාත් විය හැකිය. 'මහ වැස්සක් බිමට හළා', 'සුදු පාට මල් පිපුණා' ආදී තවත් ජනප්‍රිය ගී රැසක්ම සුනිල් රචනා කළේය. ඒ ගී පද රචකයාට දෙවැනි නොවන ගී තනු නිර්මාණකරුවකු ද ඔහු තුළ විය.

විශාරද නන්දා මාලිනිය ගයන 'වහින්නට හැකි නම් ගිගුම් දී' කරුණාරත්න දිවුල්ගනේ ගයන 'මන්නාරම් බස් එක ඇයි තවමත් නාවේ' හර්ෂණ දිසානායක ගායනා කරන 'පාන්දරින් ඉස්කෝලෙට' ආදි ගීත සුනිල් දයානන්ද කෝනාරගේ සංගීතයෙන් රස ගැන් වූ ගී කිහිපයකි. වසන්ත මොරගොඩගේ මවුස් චිත්‍රපටය ද ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ පාවඩ සහ අන්දරේ ටෙලි නාට්‍යවල ද පසුබිම් සංගීත අධ්‍යක්ෂණය සුනිල් දයානන්දගේය.

ගුරුවරයකු වශයෙන් පාසල තුළදීත් ඉගෙනුම් ක්‍රියාවලියේදී සුනිල් ගුරුතුමා වෙනස්ම මඟක් ගත්තෙකි. ඇතැම් විට කමිසය කලිසමට උඩින් දමාගන්නා ඔහු ඩෙනිම්, කට්රොයිල් කලිසම් අඳින්නටත් ප්‍රිය කෙරුවෙකි. සිතුනු විට උදලු කෙටියෙන් බිම කොටා මල් පැල නැතිනම් සෙවණ දෙන ගස් සිටුවන්නටත් මැලි නොවූ සුනිල් දයානන්ද ගෝලයන්ට ඈනුම් යන්නට ගත්විට කිසිවක් කන්නට දී තේ වක්කර දුන්නේය. ගිරිඋල්ල වික්‍රමශීලාවත් සුනිල් දයානන්ද කෝනාරත් එකටම බද්ධ වූ නම් දෙකක් වන්නේ ඔහුගේ ඒ අපූරු ගතිගුණ, හැකියාවන් නිසාය.

ගස්වැලට ආදරය කළ සුනිල් සර්ට වූයේ සංගීත කාමරයක් නොව සංගීත ආශ්‍රමයකි. උණ පඳුරු, අඹ සහ නෙල්ලි ගස් පිරිවරාගත් තම්බර්ජියා වැල්වලින් වෙළාගත් එය හරිත සෙවණකි. ඒ සෙවණේ වැඩෙන සිසු සිසුවියන් හට ලැබුණේ සංගීත ඥානය පමණක්ම නොවේය. නිතරම යාවත්කාලින වූ දැනුම් සම්භාරයක් සුනිල් දයානන්ද කෝනාරගෙන් සිසු දරුවන්ට ලැබිණ. ඔහු සැමවිටම වසරේ හොඳම නවකතාව පමණක් නොව වසරේ හොඳම ඔස්කාර් සම්මාන දිනූ චිත්‍රපටය පවා නරඹා සිටි සුනිල් දයානන්ද ශ්‍රී ලංකාවේ සාහිත්‍ය සම්මාන උලෙළවලදී හොඳම කවි පොතට පිදෙන සම්මානයට හිමිකම් කියූ කවි පොත පමණක් නොව ඒ හා සම්බන්ධව පුවත්පත්වල පල වූ විවිධ විචාර ලිපි ද කියවා යාවත්කාලීන කොටගත් නවතම දැනුම නිරන්තරයෙන් සුනිල් සර්ගෙන් ගෝල බාලයන්ට තිළිණ විය. පසුගියදා ඔහුගේ ජීවන ගමන් මඟේ 64 වැනි කඩඉම ළඟදී අපෙන් සමුගෙන වෙන්ව ගියේ ඔහුය. ඒ සුනිල් දයානන්ද කෝනාරය.