වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




මම සරසවිය උලෙළට එන්න අලුතින් ඇඳුමකුත් ලෑස්ති කරගත්තා

මම සරසවිය උලෙළට එන්න අලුතින් ඇඳුමකුත් ලෑස්ති කරගත්තා

සරසවිය සම්මාන උලෙළේ හොඳම නිළිය අංජලි පටිල් කනගාටුවෙන් කියයි

හොඳම නිළිය
නිර්දේශිත නාම:

1. අංජලී පටෙල් -
ඔබ නැතුව ඔබ එක්ක

2. චාන්දනී සෙනවිරත්න -
මගේ යාළු මාළු

3. කෞශල්‍යා ප්‍රනාන්දු -
බොර දිය පොකුණ

ජූරියේ නිගමනය -
අංජලී පටෙල් -
ඔබ නැතුව ඔබ එක්ක

හේතූ පාඨය
හොඳම නිළිය

පවතින සමාජය විසින් නොසලකා හරිනු ලැබීම හා ස්ත්‍රියක ලෙස ඈ විසින් අපේක්ෂා කරනු ලබන ආදරය, රැකවරණය හා පිළිගැනීම නොලැබී යෑමෙන් හට ගැනෙන ව්‍යාකූල මමෝභාව සියුම්ව ප්‍රතිගහණය කර ගනිමින් ප්‍රකට කළා වූ අද්විතීය, සංවේදී රංග කාර්යය උදෙසා 2016 සරසවිය සම්මාන උලෙළේ හොඳම නිළියට හිමි සම්මානයෙන් පිරිනැමෙන්නේ, 'ඔබ නැතුව ඔබ එක්ක' චිත්‍රපටයේ දමිළ යුවතියගේ චරිතය නිරූපණය කළ අංජලී පටිල්ටය.

33 වන සරසවිය සම්මාන උලෙළ පසුගිය බ්‍රහස්පතින්දා වර්ණවත් රාත්‍රියක හිඳ ප්‍රශංසාභිමුඛව අවසන් කරන ලදී. මා එසේ ප්‍රශංසාභිමුඛව යැයි සටහන් කළේ වසර 6 ක් පුරා මැලියම් බන්ධනයකට හසුව තිබූ සරසවිය සම්මාන උලෙළ මෙවර ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයට පාඨක ප්‍රජාව මෙන්ම කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා කට පුරා ප්‍රශංසා කළ නිසාවෙනි. සම්මාන උලෙළ පැවැත්වුණ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ සරසවියට සදා හිතැති පාඨක සමූහයා ආරාධනා පත් නොමැතිව වුව ද නෙළුම් පොකුණ පරිශ්‍රයේ ගේට්ටුව අසළ රැඳී සිටිනු අපට ද දැකගත හැකි වුණි. ඒ කෙසේ වුව ද ප්‍රසන්න විතානගේ ගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය හොඳම අධ්‍යක්ෂණයට මෙන්ම හොඳම තිර රචනයට හිමි සම්මානය ජූරියේ ඉහළම ඇගයීමකට භාජනය වීම සෑහෙන දුරකට කතා බහක් ඇති විය. හොඳම අධ්‍යක්ෂණයට මෙන්ම හොඳම තිර රචනයට හිමි සම්මානය ‘ඔබ නැතුව ඔබ එක්ක’ දිනා ගනිද්දී හොඳම නිළියට හිමි සම්මානය ද එයටම හිමි විය. සම්මානයේ හිමිකාරිය වූයේ ඉන්දීය නිළි අංජලි පටිල්ය. ඇය ඒ මොහොතේ නොසිටියෙන් සම්මානය අග්‍රාමාත්‍යවරයා අතින් ලබා ගත්තේ දුලානි අනුරාධාය. අංජලි සම්මාන උලෙළ නියෝජනය කරන්නට නොපැමිණි හෙයින් ද සරසවිය පාඨක ඔබට ඇය සමීප කළ යුතු හෙයින් ද අපි මොහොතකට ඇයව සම්බන්ධ කර ගතිමු. තාක්ෂණයේ මහිමයෙන් දුර එතරම් ගැටළුවක් නොවන හෙයින් ඇයගේ අත්දැකීම් සම්බන්ධයෙන් හොඳ කතාබහක් කරන්නට මට අවකාශ ලැබිණි. මේ ඇය හා මා අතර වුණු සංවාදයයි.

අපි සෑහෙන්න බලාපොරොත්තුවකින් හිටියා ඔබ මෙවර උලෙළට පැමිණේවි කියලා. නමුත් ඔබ ඇවිත් හිටියේ නැහැ. මොකක්ද හේතුව?

මම මෙතැනදි නම් ඉතාම අවානාවන්ත වුණා කියලයි මට හිතෙන්නේ ෂෙනාල්. මොකද මම කල් තියා සූදානම් වුණා සරසවිය සම්මාන උලෙළට එන්න. නමුත් මම මේ දවස්වල වැඩමුළුවල නිරත වෙන නිසා අන්තිම මොහොතේ කාර්යබහුල වුණා. ඒ නිසාම අන්තිම මොහොතේ මට ගුවන් ටිකට්පත් වෙන් කර ගන්න බැරි වුණා. මම මගේ ඇඳුම් නිර්මාණ ශිල්පියාට කියලා අලුත් ඇඳුමකුත් ලැහැස්ති කරගත්තා සම්මාන උලෙළට එන්න. ඉතින් කණගාටුයි මට එන්න බැරි වුණා.

ඔබ වැඩමුළුවලට සහභාගි වෙනවා කියලා කියන්නේ දැන් ඔබ ඉගැන්වීමේ කාර්්‍යයත් පටන් අරගෙනද?

නැහැ. ඒක ඉගැන්විමක්ම කියලා කියන්නත් අමාරුයි. හින්ටර්ලන්ඩ් කලාකරු නේවාසිකය නමින් නේවාසික වැඩමුළුවක් මේ දිනවල පැවැත්වෙනවා ගෝවාවල. ඒ අය මාවත් තෝරා ගත්තා සම්පත් දායකයකු විදිහට. මෙහිදී අපි සෘජුවම කලාවට වඩා අධ්‍යාත්මික සංවර්ධනයට තමයි අවධානය යොමු කරන්නේ. ඒ සඳහා අපි භාවනාව යොදා ගන්නවා. මීට දින කිහිපයකට කලිනුත් මම බුද්ධගයාවට ගිහින් ආවා.

මා දන්නා විදිහට ඔබ බුද්ධ දර්ශනය අනුගමනය කරන කෙනෙක්. ඔබ උපතින් බෞද්ධයෙක්ද?

නැහැ. මම උපතින් බෞද්ධයෙක් නෙවෙයි. මම උපතින් හින්දු. නමුත් මම පසු කාලෙක හින්දු ආගම අතහැරලා බෞද්ධ වත් පිළිවෙත්වලට හැඩ ගැහුණා. එතනදි මම මූලික කර ගන්නේ භාවනාව. එතුළින් මම සතුටින් සිටීම, සැහැල්ලුවෙන් විඳීම, හොඳ වටපිටාවක හිඳීම, හොඳ මිනිසුන්ගේ ඇසුරට වැටීම, හොඳ ආහාරපාන ගැනීම තමයි ප්‍රගුණ කරන්නේ.

ඔබට පසුගිය දිනෙක මරාති ෆිල්ම් ෆෙයාර් උලෙළෙන් සම්මානයක් ලැබුණු බව අසන්නට ලැබුණා?

ඔව්. මරාති ෆිල්ම් ෆෙයාර් උලෙළේ හොඳම සහය නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ ‘ද සයිලන්ස්’ කියන මරාති චිත්‍රපටය වෙනුවෙන්.

ඔබ එක් වෙලාවක මරාති චිත්‍රපටවලත් තවත් වෙලාවක හින්දි චිත්‍රපටවලත් චරිත නිරූපණය කරනවා. ඇත්තටම ඔබව හඳුනවන්න නම් හඳුන්වන්න අවශ්‍ය හින්දි නිළියක් හැටියට ද මරාති නිළියක් හැටියටද?

මම නම් පුද්ගලිකව කැමැති නැහැ ඔය කිසිම නිළියක් හැටියටවත් මාව හඳුන්වනවාට. ඉන්දියාව ලොකු රටක් නිසා බොලිවුඩ්, කොලිවුඩ්, ටොලිවුඩ් අර වුඩ් මේ වුඩ් කියලා ‘වුඩ්’ ගොඩක් තියෙනවා. ඒත් මම කැමති නැහැ ඔය කියන කිසිම කාණ්ඩයකට වැටෙන්න. මොකද මම පොඩි කාලේ ඉගෙන ගත්තේ බාලිකා පාසලක. ඒ පාසලේ හිටියා විවිධ කලාපවල විවිධ ජාතීන්වල ළමයි. ඉතින් මට එක ජාතියකට වැටිලා පුරුද්දක් ඇත්තේම නැහැ.

මා හිතන විදිහට මුලින්ම ඔබ හින්දි වාණිජ සිනමාපටයක් වෙනුවෙන් චරිත නිරූපණය කළේ ‘ෆයින්ඩින් ෆැනී’ චිත්‍රපටයේ?

නැහැ. ඊට කලින් මම ‘චක්‍රායුධ කියන චිත්‍රපටයේ රඟපෑවා. ඒක තමයි මුල්ම වාණිජ චිත්‍රපටය මම පෙනී ඉඳපු.

කෙසේ වෙතත් ඔබට තිබෙනවා රංගනය ගැන විශිෂ්ට ඇකඩමි ආභාෂයක්. ඔබ කුඩා කළ සිටම රංගනය වෙනුවෙන් කැප වෙච්ච බොහෝ දේවල් කැප කළ කෙනෙක්?

විශ්වාස කරන්න කුඩා කාලයේ මම ඉගෙනීමට ඉතාම දුර්වලයි. මට කවදාවත් ගණිතයේ අංක මතක තියාගන්න බැරි වුණා. හැබැයි මට ආගන්තුක භාෂාවක් මුණ ගැසුණොත් ඒවා මතක හිටියා. ඉතින් මම පාසලේ ඉද්දී රංගනය ගැන ගොඩක් උනන්දුයි. මගේ හීනය වුණේ රඟපාන එක. ඒ නිසා මම පාසලෙන් අස් කරලා දෙමව්පියන් මාව යොමු කළේ රංගනය ඉගෙන ගන්න. අන්තිමේදි මම නැවතුණේ පූනේ විශ්වවිද්‍යාලයේ ප්‍රාසාංගික කලා ආයතනයේ. දිගටම මම ගියේ දිල්ලියේ ජාතික නාට්‍ය පාසලට. එතැනදි මම විශේෂ කොට ඉගෙන ගත්ත් අධ්‍යක්ෂණය.

නමුත් ඔබ තාම අධ්‍යක්ෂණයට පිවිසුණේ නැහැ?

ඔව්. මම රඟපාන්න තාම පටන් ගත්තා විතරනේ. මම දැනට කරන්නේ රංගනයෙන් ආශ්වාදය ලබන එක. අධ්‍යක්ෂණයට කවදා එයිද කියලා හිතාගන්න බැහැ. ඒක තව අවුරුදු 5 කින් 10 කින් වෙන්නත් පුළුවන්. මම දන්නේ නැහැ.

හොඳයි ඔබට වසර කිහිපයකට කලින් ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමක් ලැබෙනවා ඔබේ මව්රට ඉන්දියාවේදීම. එය ඔබට ලැබෙන්නෙත් ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය හරහා. එය ඔබේ රංගන ජීවිතයට පිරික්සුම් පහනක් එල්ල වුණා කියලයි මට හිතෙන්නේ?

ඇත්තෙන්ම ඔව්. ගෝවාවල පැවැත්වුණු ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙලේ රජත මයුර සම්මානය ලැබුණා මගේ රංගනය වෙනුවෙන්. ඒ සම්මානය මට ඉතාම ලොකු ගෞරවයක් ගෙනාවා. ඒ උලෙළේ එවැනි සම්මානයක් ලබාගත්ත ලාබාලම කෙනා මම වීම. (එය එයට පෙර මෙරට අනෝජා වීරසිංහ සහ නිළි රැජන මාලිනී ෆොන්සේකා ද දිනා ගන්නා ලදී). අනිත් කාරණය ඒ උලෙළේම එවැනි සම්මානයක් ලබාගත්ත පළමු ඉන්දියානුවා විමේ ගෞරවය. ඒ් වගේම ඒ තමයි මට මුලින්ම ලැබුණු ජාත්‍යන්තර සම්මානය. ඉතින් එදත් මට සම්මාන ලැබුණා ඔබ නැතුව ඔබ එක්ක නිසා. අදත් ලැබෙනවා. කැනඩාවේ ඉන්න මගේ මිතුරියක් ඊයේ පෙරේදා ඇහුවා ඔයා තවමත් ඔය චිත්‍රපටයට සම්මාන ගන්නවාද කියලා.

චිත්‍රපටය වෙනුවෙන් ඔබ හා ප්‍රසන්න විතානගේ මුලින්ම හමුවුණු වකවානුව ඔබට මතකද?

මට එහෙම නිශ්චිත මතකයක් නැහැ ෂෙනාල්. නමුත් මා ගැන ප්‍රසන්න සර්ට කියලා තිබ්බේ චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියා ශ්‍රීකර් ප්‍රසාද්. ඊට පස්සේ මට සිද්ධ වුණේ තිර පරික්ෂණයකට එන්න. මට මතකයි මට කියන්න හම්බ වුණේ ‘මගේ මල්ලිලා කොටි නෙවෙයි’ කියන දෙබස ඉංග්‍රිසියෙන්.

ඔබ ඒ වන විට ලංකාව ගැන දැනගෙන සිටියේ මොනවාද?

ඇත්තනේම මම දැනං හිටියේ ලංකාව කියන රට ගැන පමණයි. ඊට අමතරව ලංකාව ගැන කරුණු කාරණා මම දැනන් හිටියේ නැහැ. ප්‍රසන්න සර් මට දුන්න වීඩියෝ පට නිරීක්ෂණය කරලා තමයි ලංකාව ගැන මම අවබෝධයක් ගත්තේ. ඊට පස්සේ මම ලංකාවට ආවා. ලංකාවේදී මට උණුසුම් සත්කාර ලැබුණා. ඉතාම ලස්සන රටක් ලංකාව කියන්නේ. ඒ වගේමයි චිත්‍රපටය ප්‍රදර්ශනය කරනකෙට අපි උතුරටත් ගියා. ඇත්තෙන්ම මම උතුරට ගියේ තැවුල් සිතින්. ඒ චිත්‍රපටය නිසා මට ලැබිච්ච පසුබිම නිසා වෙන්න ඇති.

කතා දෙකක් නැහැ, ඔබ භාර ගත්තේ රංගන ශිල්පිනියකුට භාර ගන්න පුළුවන් අපහසුම චරිතයක්?

සෙල්වි කියන්නේ හැඟීම් එක්කම ඉන්න චරිතයක්. මිනිසෙකුට දැනෙන හැඟීම් දැනීම් කියන දේවල් මනුෂ්‍ය ප්‍රජාවටම පොදු දේවල්. ඒ යථාර්ථය නිරූපණය කරන්න මට පුළුවන්. තත්විධ රූපණයනට මම වැඩි අවධානයක් දෙන්නේ ඒ යථාර්ථය නිරූපණය කිරීම අත්‍යාවශ්‍ය නිසා.

එතැනදි ප්‍රසන්න සූක්ෂම වුණා ඔබෙන් උපරිමය ගන්න?

අනිවාර්යයෙන්ම ප්‍රසන්න සර් කියන්නේ බොහොම තිතට සැලසුම කරලා අධ්‍යක්ෂණයට එන කෙනෙක්. ඔහුත් එක්ක වැඩ කරන එක හරිම අපහසුයි. මට මතකයි සමහර දර්ශනවලදී ඔහුට මගෙන් අවශ්‍ය ඇස් පිල්ලම් ප්‍රමාණය පවා ගණනය කරගෙනයි ඔහු රූපගත කිරීම් කරන්නේ.

සමහර විට ඔබට අවබෝධයක් ඇති උතුරේ කාන්තාව හා කඳුරට දෙමළ කාන්තාව අතර වෙනස. ඔබට ඒක ඇත්තටම දැනුණාද?

ප්‍රබල වෙනස්කම් මට නොදැනුණත් මට දැනුණා යාපනය ප්‍රමුඛ උතුරේ කාන්තාව තමන්ගේම ආත්ම ගෞරවය ඇතිව ජීවත් වෙන්න උත්සාහ කරනවා කියන එක. ඔවුන් හිතනවා තමන්ගේ අවශේෂ ප්‍රජාව ඇතුළේ තමන්ට උසස් තැනක් හිමිවෙනවා කියන එක.

චිත්‍රපටය පුරාම ඔබේ හෙවණැල්ල වගේ සිටින්නේ ශ්‍යාම් ප්‍රනාන්දු?

මම පුද්ගලිකව හිතන්නේ නැහැ ශ්‍යාම් හිටියේ නැත්නම් මේ චරිතය මෙච්චර සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. ශ්‍යාම් කියන්නේ මගේ ආශිර්වාදය. මේ සෙල්විගේ චරිතය නිසා මට යම් දෙයක් ලැබෙනවා නම් ඒක ශ්‍යාම් අතරත් බෙදිය යුතුයි කියලයි මට හිතෙන්නේ.

අංජලී ඔබට භාෂා කොපමණ හසුරුවගන්න පුළුවන්ද? ඔබ ඉන්දියානු කාන්තාවක් නිසයි මා ඒ ප්‍රශ්නය ඇහුවේ?

මට හොඳින්ම හසුරුවගන්න පුළුවන් මරාති, හින්දි, ඉංග්‍රිසි යන භාෂා තුන විතරයි. ඊට අමතරව තෙළිඟු භාෂාව ටිකක් පුළුවන්. ලංකාවේදී නම් දෙමළ කතා කරන්න මහේන්ද්‍රන් කියලා කෙනෙක් හිටියා. ඔහුගේ සහයෙන් තමා මම දෙමළ කතා කළේ. ඔහුට ස්තුතිවන්ත වෙන්න ඕනෑ මම.

තව කාටද ඔබ ස්තූති කරන්නේ?

මුලින්ම මට මේ සම්මානය ලබා දෙන්න තිරණය කරපු ජූරියට මම ස්තූතිය පුද කරන්න කැමතියි. ඒ වගේම නිෂ්පාදකවරුන් දෙදෙනා වන මොහොමඩ් ඇඩම්ලිටත් ලසන්ත නවරත්නටත් මම විශේෂ ස්තූතියත් දෙන්න කැමැතියි.

ඉදිරියට එන්න තිබෙන අවුරුද්දේ ඔබ මොනවා කරයිද?

මම දැනටමත් සමකාලින නර්තනය ගැන ඉගෙන ගන්නවා. නැටුමත් එක්ක මම මගේ සුපුරුදු භාවනාවයි යෝග අභ්‍යාස ටිකයි කරගෙන ඉන්නවා. කොහොමත් ලබන වසරේ මම රඟපාපු ‘බර්දෝ’ කියන මරාති චිත්‍රපටයයි ‘නිම්මෝ’ ‘නිව්ටන්’ කියන හින්දි චිත්‍රපට දෙකයි තිරගත වෙන්න නියමිතයි. ඒ හැරෙන්නට මම බලාගෙන ඉන්නේ ප්‍රසන්න සර්ගෙන් තවත් පිටපතක් ලැබෙනකම්. ඔහු තමයි මගේ රංගන ජීවිතයට මෙතෙක් වැඩිම බලපෑමක් කළ පුද්ගලයා. මට විවේකය ප්‍රශ්නයක් නැහැ. කාලය ප්‍රශ්නයක් නැහැ. මුදල් ප්‍රශ්නයක් නැහැ. නමුත් හොඳ පිටපතක් නැති එක ප්‍රශ්නයක්. මම ප්‍රසන්න සර්ට ළඟදිත් ඊ මේල් එකක් දැම්මා මේ ගැන කියලා.