|
ඔයා විතරනෙ ඔයාගේ අම්මල තාත්තලට ඉන්නේ
සිංහ රූපය මත වාඩි වී සිටි එරංග කිසියම් අපහසු තත්ත්වයකට පත් වෙමින් සිටින අයුරු සන්දේශ්ටත් දැකගත හැකි විය. වහා අසුනින් නැගිටි මිහිරි මල්ලී දෙසට දිව යන්නට වූවාය. ඒ සමඟම සන්දේශ් ද ඇය පසුපසින් දිව යන්නට විය. එරංග සිංහ රූපය මතින් බිමට වැටෙන්නට පෙර දෙදෙනාම අල්ලා ගත්හ. ඒ මොහොත වන විට එරංග සිටියේ හරිහැටි කතා කරගත නොහැකි හා සිහිමුර්ජාවීමට ආසන්න තත්ත්වයකය. ඔහුගේ දෑස් ද උඩ ඉන්දෑ වී තිබුණි.
මෙතෙක් කතාව
මිහිරි හා සන්දේශ් සිමෙන්තියෙන් සැදූ බංකුවක් මත වාඩි වූහ. චතුරස්‍ර භුමියේ ඇති කෙටි තාප්පයක් මතට නැග ගත් එරංග දෑත් දෙපසට වනමින්, ගත සමබරව තබා ගැනීමට උත්සාහ දරමින් ඒ මත කිහිප වරක් එහාටත් මෙහාටත් ගමන් කරන්නට පටන් ගත්තේය. ඉන් තවත් සුළු මොහොතකට පසු ඔහු අසල තිබුණු ගලින් නිම කල රූපයක් මත වාඩි වී ගත දෙපැත්තට පද්දවමින් සතුටක් ලබන්නට විය. (අද එතැන් සිට)
සුසුමක් හෙළු මිහිරි මඳ සිනා රැඳි මුවින් යුතුවම සෙමෙන් සන්දේශ්ගේ අතක් අල්ලා ගත්තාය. ආරක්ෂක නිලධාරියකු, සිඟමන් යදිමින් සිටි කැහැටු සිරුරකින් යුත් යාචකයෙකු පළවා හරිමින් සිටිනු මිහිරි දුටුවාය. ඒ සමඟම ඔවුන් ඉදිරියෙන් දිව ගියේ ගතට හිර වූ ටී ෂර්ටියක් හා කලිසමක් ඇඳගත් අප්‍රමාණ මහත සිරුරකින් යුත් කාන්තාවකි. මෙලෙස ශරීරයට දුක දෙමින් ඇය දුවන්නේ කෑදරකමින් පමණට වඩා ගත් අහාර නිසා විශාල වූ තම ශරීරය කුඩා කර ගැනීමේ චේතනාවෙන් විය හැක. යාචකයා දුක් දරන්නේ කුමක් හෝ ආහරයක් දමාගෙන තම වැහැරුණු සිරුර තර කර ගැනීමටය. තවත් පැත්තකින් මල්ලී වැනි ආබාධිතියන්. එකම ලෝකය තුළ විවිධාකාර මිනිස් ජීවිත, විවිධාකාර මිනිස් හැසිරීම්, විවිධාකාර . . . . 'මගේ අතකුත් අල්ලගෙන මොනවද ඔච්චර ලොකු කල්පනාව?' සන්දේශ්ගේ කටහඬත් සමඟ මිහිරි සිතුවිලි ලොවින් වහා ගිලිහුණි. ඒ සමඟම ඇගේ දෙතොලට සිනහවක් ද නැඟිණ. ඇය අල්ලගෙන සිටි සන්දේශ්ගේ අත සෙමෙන් තම මුවට සමීප කළාය. ඇය කවදත් ඔහුගේ පැහැපත්, පිරුණු අතැඟිලිවලට ප්‍රිය කළාය. 'කල්පනා කළේ මේ අත මට හැමදාම මෙහෙම අල්ලගෙන ඉන්න පුළුවන් වෙයිද කියල' 'ඉතිං ඔයා ඕක හැම තිස්සෙම අල්ලගෙන ඉන්න ගියොත් මං කොහොමද මගේ වැඩක් අතින් කර ගන්නේ?' සන්දේශ්ගේ කතා ඔහොමමය. මිහිරි සන්දේශ්ට වඩාත් සමීප වන්නට ඔහුගේ මේ සුහද කොලොප්පන් වදන් ද බලපා තිබුණි. ඇය ඊළඟට ඔහුගේ ඇඟිල්ලක් හැපුවේ ඔහුට තරමක් රිදෙන්නටය. කාලය ගෙවී යමින් තිබුණේ සතුටිනි. එක් මොහොතකදී මිහිරි මල්ලී දෙස බලන විට අමුත්තක් දුටුවාය. ඇගේ මුහුණේ වෙනස් වූ ඉරියව් දැක සන්දේශ් ද එරංග දෙස බැලුවේය. සිංහ රූපය මත වාඩි වී සිටි එරංග කිසියම් අපහසු තත්ත්වයකට පත් වෙමින් සිටින අයුරු සන්දේශ්ටත් දැකගත හැකි විය. වහා අසුනින් නැගිටි මිහිරි මල්ලී දෙසට දිව යන්නට වූවාය. ඒ සමඟම සන්දේශ් ද ඇය පසුපසින් දිව යන්නට විය. එරංග සිංහ රූපය මතින් බිමට වැටෙන්නට පෙර දෙදෙනාම අල්ලා ගත්හ. ඒ මොහොත වන විට එරංග සිටියේ හරිහැටි කතා කරගත නොහැකි හා සිහිමුර්ජාවීමට ආසන්න තත්ත්වයකය. ඔහුගේ දෑස් ද උඩ ඉන්දෑ වී තිබුණි. 'ඇයි මල්ලිට?' සන්දේශ් ද ඇසුවේ කුතුහලයෙනි. මිහිරි සිටියේ තරමක බියමුසු ස්වභාවයකිනි. ඇය තම ලේන්සුවෙන් එරංගගේ මුහුණ හා ගෙල පුරා රැඳී තිබූ දහඩිය පිස දමන්නට වූවාය. 'අපි යං' 'මං මල්ලිව උස්සගන්නද?' මිහිරි සන්දේශ්ට ඉඩ දෙන්නට මඳක් පසෙකට වූවාය. ඒ සමඟම එරංග ඇස් පිය ගසමින් විමසිලිමත් ලෙස අවට බලන්නට විය. අතපය ද සොලවන්නට පටන් ගත්තේය. 'ලොකු අමාරුවක් නැහැ. නැගිටින්න මල්ලී' එරංග හිස කෙළින් කර ගන්නට උත්සාහ දරන්නට විය. මේ වන විට අවට සිටි කිහිප දෙනෙක් ද එතැනට පැමිණ සිටියහ. තවත් සුළු මොහොතකින් එරංග දෙපයට වාරු දෙමින් සන්දේශ්ගේ ද උදව්වෙන් නැඟී සිටියේය. ඉන්පසු සන්දේශ් එරංග වත්තන් කරගෙන ගොස් අසල නවතා තිබූ රියට ඔහුව ඇතුළු කළේය. 'ටිකක් වැඩිපුර මහන්සි වුණාම තමයි මල්ලි ඔහොම වෙන්නේ. බෙහෙත් ටිකත් වෙලාවට දෙන්න ඕන. ගොඩක් දවසකට පස්සේ තමයි අද ඔහොම එළියට බැස්සේ' මිහිරි කටහඬ අවදි කළේ සන්දේශ් රිය පදවන අතෙර්ය. එරංග පිටුපස අසුනේ වකුටු වී නිදා ගනිමින් සිටියේය. 'පව් කොල්ලා හරි සන්තෝසෙන් හිටියෙ' සන්දේශ් එසේ කීවේ මඳක් පිටුපස හැරී එරංග දෙස ද බලමින්ය. ඒ සමඟම සන්දේශ් මිහිරි දෙස ද බැලුවේය. දෙනෙතින් පිට වෙන්නට ආ කඳුළක් ඈ ඇඟිල්ලකින් පිස දමන අයුරු එවිට ඔහු දුටුවේය. මිහිරිව කෙදිනක හෝ විවාහ කර ගැනීමේ අදහසක සිටින හෙයින් ඇගේ ආබාධිත සොහොයුරා පිළිබඳ කාරණය ගෙදරට පවසා නොසිටීමේ අදහසක් සන්දේශ් තුළ නොවීය. මවත් පියාත් සමඟ රාත්‍රී ආහාර ගන්නා අවස්ථාවක ඔහු මේ බව ඔවුන් දෙදෙනාට සැලකර සිටියේය. 'තාත්තලත් ගිහින් බලන්නකො' සන්දේශ් එසේ කීවේ තාත්තා සුළු මොහොතක් නිහඬව සිට එරංගගේ ආබාධිත තත්ත්වය ගැන වඩාත් විමසිල්ලෙන් ඇසූ පසුය. 'මිහිරි නං හොඳ දරුවා. දැන උගත්කමත් තියෙනවා. අපේ පවුලට හොඳට ගැළපෙනවා' සන්දේශ්ගේ මව එසේ පැවසුවේ මිහිරි පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් සිතට ගන්නට උත්සාහ නොදරමින්ය. 'අම්මා කැමතියි?' 'මිහිරිට නං කොහොමටත් මගේ අකමැත්තක් නෑ. මල්ලිගේ ප්‍රශ්න වෙන කතාවක්නෙ. අනේ මං දන්නෙ නෑ. පුතාම හිතන්න. පුතාටනෙ වැඩි කාලයක් ඒගොල්ලොත් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙන්නෙ' 'අන්න අම්මා කිව්ව ඒ කතාව නං හරි වටිනවා' එසේ පැවසුවේ සන්දේශ්ගේ පියාය. මේ මොහොතේ සන්දේශ්ගේ සිත සිතුවිලි රැසක පැටලී තිබූ නිසා අම්මා අවසානයට පැවසූ දේ පිළිබඳ සම්පූර්ණ වැටහීමක් ඔහුට තිබුණේ නැත. 'මොකක්ද?' 'ඔයාට වැඩි කාලයක් එකට ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ අපිත් එක්ක නෙවි, ඒගොල්ලත් එක්ක කියන කතාව' දෙමව්පියන්ගේ වදන් ඔස්සේ සන්දේශ්ගේ සිතුවිලි ඔහු නොසිතූ දිශාවකට ඇදී යන්නට විය. තමා ඔවුන්ගේ ඇසුරේ මෙතෙක් සිටි කාලය අවුරුදු විසි ගණනක් වුවත් විවාහ වූ පසු ඔවුන් අතරේ පවතින ඇසුර අවුරුදු හතළියක් හෝ පනහක් විය හැකිය. එය දෙමව්පියන්ගේ අසුරට වඩා දීර්ඝය. එවිට දීර්ග කාලයක් පුරා ගැටලුවට මුහුණ දිය යුතු වෙයි. තවමත් හොඳින් ඇසුරු කරන්නට නොලැබුණත් මව තුළ නම් මිහිරි කෙරෙහි ඇත්තේ පැහැදීමක් මෙන්ම සෙනෙහෙබර ළබැඳියාවක් බව සන්දේශ් හොඳාකාරව දනී. හමු වූ බොහෝ අවස්ථාවල මිහිරි අම්මා ඇසුරු කළේ තමාගේ අම්මා කෙනෙකු ලෙසින් බැව් සන්දේශ් දැක තිබේ. අහම්බෙන් අසන්නට ලැබුණු මිහිරිගේ සොහොයුරාගේ ප්‍රශ්නය අම්මාගේ සිත තරමක් සසල කරනු ලැබුවත් මිහිරි හා සන්දේශ් අතර ඇතිවන පැහැසර යුග දිවියක් පිළිබඳ තිබු සොඳුරු සිහිනය බොඳ වී යනු දැකීමට නම් ඇය තුළ කැමැත්තක් තිබුණේම නැත. සන්දේශ්ට හැඟුණේ පියා නම් පමණටත් වඩා දුර දිගක් සිතන බවය. අම්මා මෙන් නොව තාත්තා තීරණ ගන්නේ ඒ පිළිබඳව දැඩිව සිතා බැලීමෙන් පසුව බැව් සන්දේශ් දනී. ව්‍යාපාර ලෝකයේ ඔහු අද කිසියම් ඉහළ තැනක සිටින්නේත් ඒ නිසාය. තම පවුලට සිටින එකම පුතා වීම යන කාරණයත් මේ ප්‍රශ්නයේදී ඔවුනට තදින්ම බලපා ඇති බවත් සන්දේශ් තේරුම් ගත්තේය. 'මාත් ඒක දන්නව සන්දේශ්, ඔයා විතරනෙ ඔයාගේ අම්මල තාත්තලට ඉන්නේ. ඒ හින්දා මේ ප්‍රශ්නේ ඒ ගොල්ලන්ටත් තදින්ම බලපානවා. මං ඔයාට කොහොමටවත් බල කරන්නේ නෑ. මට මගේ මල්ලී වගේම ඔයාටත් දෙමව්පියන් ඕන. ඔයා හොඳට හිතල බලල තිරණයක් ගන්න. මං මොකුත් හිතන් නෑ' මෙතෙක් සැහැල්ලුවෙන් හා ප්‍රබෝධයෙන් ගෙවී ගිය මිහිරි හා තමා අතර තිබූ ඇසුර දැන් කිසියම් බරකින් තලා පෙළා දමමින් තිබෙන බවක් සන්දේශ්ට දැනෙයි. සොහොයුරාගේ ප්‍රශ්නය මිහිරි තමාටත් වඩා සිතට ගෙන ඇති සෙයකි. 'අපි තාත්තවත් කොහොම හරි කැමැති කරව ගන්න බලමු. ඔයා ඕක ගැන ඔච්චර හිතන්න එපා මිහිරි' සන්දේශ් මිහිරිට එසේ කීවත් වෙනදා තිබූ සැහැල්ලුව නම් ඔහුගේ සිතේ තිබුණේ නැත. එහෙත් මිහිරි මෙන්ම එරංග පිළිබඳ තිබූ අනුකම්පාවෙත්, ළැබැඳියාවෙත් අඩුවක් සිදු වී ඇති බවක් ඔහුට නොදැනෙයි. ඔහු සැමවිටම සිතුවේ මේ ප්‍රශ්නය වඩාත් සිතට නොගත යුතු බවකි. 'ඩවුන් සින්ඩ්‍රෝම්' නැමැති රෝගය උප්පත්තියෙන්ම වැලඳුණු තරමක් අස්වාභාවික වූ මුහුණු සහිත දරුවන් සන්දේශ් කොතෙකුත් දැක තිබුණි. මීට වසර කිහිපයකට පෙර සන්දේශ් දෙමව්පියන් සමඟ ගොස් මෙවැනි දරුවන් වෙසෙන නිවාසයකට දානයක් ද දුන්නේය. ඔවුන්ගේ සිනහබර, අහිංසක මුහුණු ද, ආහාරයෙන් පසු ඔවුන් ගීත ගයමින් නටමින් විනෝද වූ අයුරු ද සුන්දර මතකයන් ලෙසින් සන්දේශ්ගේ සිතේ තවමත් තැන්පත්ව තිබෙයි. මෙවැනි දරුවෙකු සිටින පවුලක අනෙකුත් සාමාජිකයන් ඒ වෙනුවෙන් දරන වේදනාබර වෙහෙස දැන් නම් සන්දේශ්ටත් හොඳින් තේරුම් ගත හැකිය. මෙදින රාත්‍රී ඔහු කම්පියුටරය ඔස්සේ මෙම රෝගය සඳහන් වෙබ් අඩවි කිහිපයකට ගොස් මෙතෙක් ඒ පිළිබඳව නොදැන සිටි කරුණු කාරණා ද රැසක් ද අවබෝධ කර ගත්තේය..
|