වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




මහාචාර්ය සෙනරත් පරණවිතාන ප්‍රණාම වැඩසටහන 26 දා

මහාචාර්ය සෙනරත් පරණවිතාන ප්‍රණාම වැඩසටහන 26 දා

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ 120 වැනි ජන්ම දිනය නිමිති කරගනිමින් හා එතුමා ලියන ලද ඉධ්ට්ධ්අධ් ට්අඒජ්ජ්ඊඊධ් කෘතිය පළකර වසර හැටක් සපිරීම නිමිති කරගනිමින් පැවැත්වෙන මහාචාර්ය සෙනරත් පරණවිතාන ප්‍රණාම වැඩසටහන මේ මස 26 වැනිදා පස්වරු 3.30ට කොළඹ 07 බුලර්ස් පටුමග මහාභාරකාර දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

මෙහි සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක මුලසන හොබවන අතර ආරාධිත දේශනය කරනු ලබන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස මහතා විසිනි. එහිදී 'සීගිරි ගී පිළිබඳ විශේෂ අවධානයෙන් යුක්තව මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ සේවාව ගැන ඇගයුමක්' යන මාතෘකාව යටතේ දේශනය සිදුවීමට නියමිත අතර විශාරද දයාරත්න රණතුංග මහතා විසින් මහාචාර්ය සෙනරත් පරණ විතාන අනුස්මරණ ගීතය ද ගැයීමට නියමිත ය. ඒ ගීතය රචනා කරන ලද්දේ සිරිසමන් විජේතුංග මහතා ය. ආරාධිතයන් පිළිගැනීමේ හා මූලාසනය පිළිගැන්වීමේ කතාව මහාභාරකාර දෙපාර්තමේන්තුවේ මහාභාරකාරතුමිය ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ තරංගනී කීනවින්න මහත්මිය සිදු කරයි. අරමුණ පැහැදිලි කිරීම කරනු ලබන්නේ මහාචාර්ය සෙනරත් පරණ විතාන පදනමේ ලේකම් සිරිසමන් විජේතුංග මහතා විසිනි. ස්තූති කතාව ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා සිදු කිරීමට නියමිතය. විද්වත් සභාව මෙහෙය වීම සිදුකරන්නේ පාලිත පෙරේරා මහතායි.


මහාචාර්ය සෙනරත් පරණවිතාන පිළිබඳ විශේෂ වැඩසටහනක් ස්වදේශීය සේවයේ

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ 120 වැනි ජන්ම දිනය මේ මස 26 වැනිදාට යෙදෙන අතර ඒ නිමිති කරගනිමින් විශේෂ වැඩසටහනක් මේ මස 26 වැනිදා පස්වරු 12.30 ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ප්‍රචාරය වෙයි. මෙහි ගීත ගායනා ආචාර්ය දයාරත්න රණතුංග හා මහාචාර්ය අමරා රණතුංග, විශාරද රෝහණ බෝගොඩ මෙන්ම ශ්‍යාමලී පෙරේරා, රත්නා පුෂ්පකුමාරි යන ගායන ශිල්පීන් හා ශිල්පිනියන් සිදුකිරීමට නියමිතය. මෙහි ගීත රචනය සිරිසමන් විජේතුංග මහතා සිදුකරන ලද අතර සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය දයාරත්න රණතුංග සහ විශාරද රෝහිත විජේසූරියගෙනි. නිවේදන කටයුතු ප්‍රේමනාත් ජයතිලක මහතාගෙනි.


ගොඩ්පි‍්‍රට කලා භූෂණ

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් පසුගියදා පැවැත් වූ 2015 රාජ්‍ය සම්මාන උලෙළේදී වාද බයිලා ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා සිදු කළ මෙහෙය අගයමින් වත්තල එඬේරමුල්ලේ ඒ. ගොඩ්ප්‍රි පිගේරා කලා භූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ අයුරුයි මේ.


ගාලු වාර්තා චිත්‍රපට උලෙළට නිර්මාණ භාර ගැනේ

විකල්ප මාධ්‍ය කලාවක් ලෙස වාර්තා චිත්‍රපටය ඇගයීමේ අරමුණෙන් හා වාර්තා චිත්‍රපටකරණයේ නියැලී සිටින සියලුදෙනා එක් කිරීමේ අරමුණෙන් සංවිධානය කළ 'ගාලු වාර්තා චිත්‍රපට උලෙළ' වෙනුවෙන් අයදුම්පත්‍ර භාර ගැනීම මේ දිනවල සිදු කෙරේ. විනාඩි 01 සිට විනාඩි 90 දක්නා වන ඒකාංගික වාර්තා චිත්‍රපට සඳහා පමණක් වූ මෙම වාර්තා චිත්‍රපට උලෙළේදී හොඳම වාර්තා චිත්‍රපටය, හොඳම පර්යේෂණය, හොඳම තිර රචනය, හොඳම කැමරාකරණය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම උත්සාහය වෙනුවෙන් සම්මාන හා මුදල් ත්‍යාග පිරි නැමීමට නියමිතය.

සිනමාව, සාහිත්‍යය, සංගීත හා විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් මෙහි විනිශ්චය කටයුතු සිදු කෙරේ. ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත මෙම වාර්තා චිත්‍රපට උලෙළ වෙනුවෙන් අයදුම්පත්‍ර භාර ගැනීම ලබන 30 වැනිදා අවසන් වේ. ගාල්ල සර්වා කලා සහ මාධ්‍ය පාසැල විසින් මෙම ඒකාංගික වාර්තා චිත්‍රපට උලෙළ සංවිධානය කෙරෙන අතර සුමුදු ගුරුගේ එහි අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කරයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සර්වා කලා සහ මාධ්‍ය පාසැල, ගාලු සිරි උයන, කිතුලම්පිටිය, ගාල්ල ලිපිනයෙන් හෝ 0767909909/ 0767952952 දුරකථන අංක අමතා ලබා ගත හැකිය.