වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




සම්බුද්ධාගමනය ඇරැඹේ

සම්බුද්ධාගමනය ඇරැඹේ

සනත් අබේසේකර අධ්‍යක්ෂණය කරනු ලබන නවතම සිනමාපටය වූ සම්බුද්ධාගමනය මූලික වැඩ කටයුතු පසුගියදා කොළඹ හිල්ටන් හෝටල් පරිෂයේදී පැවැති මුහුරත් උලෙළකින් පසුව ආරම්භ කෙරිණ. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය මඟින් මිනිස් ජීවිත යහමගට ගන්නා අන්දම නිරූපණය කරන මෙම සිනමා සිතුවම රත්මලාන පරමධම්ම බෞද්ධ සිනමා පර්ෂදයේ නිෂ්පාදනයකි. ජාත්‍යන්තරව ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් මෙය නිර්මාණය වන්නකි.

සම්බුද්ධාගමනය සිනමාපටයෙහි මෙරට මෙන්ම ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, චීනය සහ ඉන්දියාව යන රටවල නළු නිළියන් ද රංගන දායකත්වය සපයති. සිනමාපටයෙහි ජාත්‍යන්තර සම්බන්ධීකරණය රත්මලාන පරම ධම්ම චේතිය පිරිවනහි විහාරාධිපති අධ්‍යක්ෂ පූජ්‍ය මාඉටිපේ විමලසාර හිමියන් විසින් සිදු කරයි. පුරා විද්‍යාත්මක බෞද්ධ ඉතිහාසය පිළිබඳ බුද්ධිමය දායකත්වය පුරා විද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ගෙනි. අධීක්ෂණ කටයුතු පූජ්‍ය මල්වානේ චන්ද්‍රරතන හිමියන් විසිනි.

පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියෝ ගී පද රචනයට දායක වෙති. හීනටිගල ප්‍රේමදාසගේ ඇඳුම් නිර්මාණයකි. නිෂ්පාදන සැලසුම නිශාන්ත කෝංගලගේ විසින් සිදු කරයි. ජාත්‍යන්තර සම්බන්ධිකාරක වශයෙන් ආචාර්ය කමල් කරුණාදාස කටයුතු කරයි. ආසියානු කලාපීය සම්බන්ධිකරණය කොමාන්ඩර් ප්‍රියදර්ශන ජයවර්ධනගෙනි. නිෂ්පාදක කෘත්‍යාධිකාරි ලෙස රොෂ්‍යන්ති කපුවත්ත ද, සහාය අධ්‍යක්ෂ ලෙස ලකී ආතවුද, කලා අධ්‍යක්ෂ ලෙස සුනෙත් නන්දලාල් කටයුතු කරයි. සංගීත අධ්‍යක්ෂණය භාතිය සහ සන්තුෂ්ගෙනි.

ධම්මික හේවාදුවත්ත පසුතල නිර්මාණයෙන් දායක වේ. ත්‍රිමාන සජීවිකරණය නිලාන් කුරේගෙනි. සමීර මධු කිදෙල්පිටියගේ අංග රචනයකි. සහාය අධ්‍යක්ෂණය නිර්මාෆ් අබේසේකරගෙනි. තාක්ෂණ අධීක්ෂණය රවින්ද්‍ර ගුරුගේ ගෙනි. සජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂවරයාය. අජිත් රාමනායකගේ සංස්කරණයකි. දිනිඳු ජාගොඩ වර්ණ සංයෝජනය සිදු කරයි. සම්බන්ධීකරණය ධම්මික ශාන්ත කුමාරතුංගගෙනි.

බැප්ටිස්ට් රෝහලේ

හෙළ සිනමාව බැබළ වූ රංගන ශිල්පියකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු සහ නිෂ්පාදකවරයකු වූ බැප්ටිස් ප්‍රනාන්දු දැඩි ලෙස රෝගාතුරව රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහු සිහි මුර්ජා තත්ත්වයෙන් පසුවන බව බැප්ටිස්ට් ගේ දියණිය ෂමිලා ප්‍රනාන්දු සරසවියට පැවසීය. පෙරකදෝරු බෑණා, සැපත සොයා, අවිශ්වාසය, තුෂාරා ආදී සිනමාපටයන් රැසක රඟපා අප පින වූ බැප්ටිස්ට් ඉක්මන් සුවය සරසවිය ප්‍රාර්ථනා කරමු.

සූම් දැන් ඊ.ඒ.පී. සිනමා ශාලාවන්හි

සමීර වක්වැල්ල අධ්‍යක්ෂණය කළ සූම් සිනමාපටය මේ වනවිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ. එය අධ්‍යක්ෂවරයාගේ කුලුඳුල් සිනමාපටය වන අතර ධම්මික අබේසේන, මහේන්ද්‍ර බුලත්ගම සහ දීපිකා කළුආරච්චි සුම් නිෂ්පාදනය කොට තිබේ. ජයලත් මමෝරත්න, හේමාල් රණසිංහ, ශේෂාද්‍රි ප්‍රියසාද්, ඩිනක්ෂි ප්‍රියසාද්, චමිලා පීරිස් ආදීහු මෙහි චරිත මවති. අනුර බණ්ඩාරගේ සංස්කරණයකි. රවිහාන්ස් වැටකෙපොත සංගීත අධ්‍යක්ෂවරයාය.

විශ්ව සිනමාපට පෙළක්

පාසල් නිවාඩු සමයේ දූ දරුවන් වෙනුවෙන් ජාතික රූපවාහිනියෙන් විශිෂ්ට විශ්ව සිනමාපට පෙළක් විකාශය කරනු ලබයි. දෙසැම්බර් 30 දක්වා සතියේ දින පහේදී සවස 1 ට චිත්‍රපට විකාශය වේ. ඒ අනුව 22 බාෂු, 23 ප්ලැනට් ඔෆ් ද ඒප්ස්, 26 සහ 27 ගලිවර් ට්‍රැවල්ස්, 28, 29, 30 ටිං මෑන් විකාශය වෙයි.

එරංගගේ ජීවිතේ මල් වැඩ අරඹයි

අවුරුදු සියයක් ජීවත්වීමට පෙරුම් පුරන ධනවතෙකි. ඔහුගේ සේවකයා ලැන්ටිය. මේ දෙදෙනා එක් වූ තැන සිදුවන්නේ හාස්‍යෝත්පාදක සිදුවීමකි. එරංග සේනාරත්න සිය නවතම සිනමාපටය නිර්මාණය වන්නේ එකී කතා පුවත ඔස්සේය.

ජීවිතේ මල් සල්ලි තියෙන කල් යනුවෙන් නම තබා ඇති එහි මුහුර්ති උලෙළ පසුගියදා නුගේගොඩ සංහිඳ හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ. රෙක්ස් කොඩිප්පිලි, ටෙනිසන් කුරේ, රුවංගි රත්නායක, නිර්ධා උයන්හේවා, ඩී. බී. ගංගොඩතැන්න, සුගත් ජානක, ආශා පෙරේරා, දිල්හාරා ජයවර්ධන, ලක්ෂ්මන් අමරසේකර මෙහි චරිත මවති.

ජීවිතේ මල් සල්ලි තියන කල් අයන්සා චිත්‍රපට ඉදිරිපත් කිරීමකි. කතාව, දෙබස්, තිර රචනය එරංග සේනාරත්න ගෙනි. එච්. එස්. පෙරේරා සහ ඩිනලි රොෂාන්ති සේනාරත්න ගී රචනා කොට ඇත. නිශාන් ප්‍රනාන්දු කැමරා අධ්‍යක්ෂවරයාය. ලස්සන ජයසේකර සංගීත අධ්‍යක්ෂවරයාය. ප්‍රසාද් වීරප්පෙරුම සහ රෝලන්ඩ් සිල්වා කලා අධ්‍යක්ෂවරුන්ය. නිමල් කල්දේරා නිෂ්පාදන කළමනාකරු වේ. ජීවිතේ මල් සල්ලි තියෙන කල් සිනමාපටයේ මුහුරත් උලෙළදා අවස්ථාවකි මේ.

ඇන්ටන්ගේ නත්තල් ගී පටිගත වේ

ගීත රචක ඇන්ටන් ජේ. ප්‍රනාන්දු විසින් රචිත නවතම කිතුනු නත්තල් ගී හතරක් පසුගියදා සිරස මැදිරි සංකීර්ණයේදී පටිගත විය. ගණ අඳුර මැදින්, සුළඟට සුවඳක් දීලා, මගෙ හද අඹරට සහ නත්තල් සීයා නම් වූ එම ගීි සඳහා සංගීත අධ්‍යක්ෂණය ප්‍රියන්ත නාවලගේ විසිනි.

ගායනා සිරස සුපර් ස්ටාර් ගායක ගායිකාවන් වන බුද්ධික උෂාන්, ගාමිණී සුසිරිවර්ධන, උදිත සංජය, මීනා ප්‍රසාදිනී, මංජුලා නිවන්ති, දුමාල් වර්ණකුලසූරිය, රුක්මන් අසිත, පියත් රාජපක්ෂ, නදිනි ප්‍රේමදාස, භාෂි මධුභාෂිනී, ශිරෝමි රත්නායක, අජිත් බණ්ඩාර, ප්‍රදීප් රංගන, ශානිකා මධුමාලි, තිසර චානක, දසුන් මධුශාන්, ගයාන් අරෝෂ යන අය සහ ප්‍රියන්ති විජේසිංහ සමඟින් සමනල සිරස බණ්ඩාරගම සහ කැලණිය ළමා සමාජයන්හි ලහිරු චතුරංග සමරසිංහ, බී. රන්දිමා හංසනි කුමාරි, පූජා මුතුමැණික් ධර්මරත්න, ඉසුරු සෙව්වන්දි ධර්මරත්න දරු දැරියන් විසිනි.

සිරස එෆ් එම් නාළිකා ප්‍රධාන කිංස්ලි රත්නායක සහ සංගීත අංශයේ ප්‍රධානි නිහාල් වික්‍රම එදිරිසූරිය යන අයගේ අධීක්ෂණය යටතේ පටිගත කළ මෙම නත්තල් ගීත මේ වන විට සිරස මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රචාරය වේ.

ස්ටයින් මැදිරියට ප්‍රමිති සහතිකයක්

එම්. ටී. වී මාධ්‍ය ජාලයට අනුබද්ධව පවතින ස්ටයින් මැදිරි සංකීර්ණය ISO 9001-2015 ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලැබීය. මෙරට ඉතිහාසයේ ජනමාධ්‍ය ආයතනයක් ISO ප්‍රමිති සහතිකයට හිමිකම් කියූ ප්‍රථම අවස්ථාව වන්නේ මෙයයි. දෙස් විදෙස් චිත්‍රපට රූපවාහිනී වැඩසටහන් මෙන්ම වෙළෙඳ දැන්වීම් නිෂ්පාදන කටයුතුවලට දායකත්වය ලබාදෙන ස්ටයින් මැදිරිය තුළ සිරස නාළිකාව ඔස්සේ ඔබ නිතර දකින වැඩසටහන් පටිගත කොට ඇත.

ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති සිරස සුපර් ස්ටාර්, පෙන්ටත්ලන් ඒ අතර වේ. ලබන වසරේ තිරගතවීමට නියමිත solar eclipse deapth of darknes චිත්‍රපටය රූගත කොට ඇත්තේ ද ස්ටයින් මැදිරියේය. තවද ප්‍රකට ග්‍රැමි සම්මානයෙන් පිදුම් ලැබූ රිචඩ් මාක්ස්ගේ ප්‍රසංග ගණනාවක් සහ 2016 මිස් ඉන්ටර් නැෂනල් තරගාවලිය පැවැත් වුයේද ස්ටයින් මැදිරියේය.