වර්ෂ 2013 ක්වූ ජූලි 04 වැනිදා බ්‍රහස්පතින්දා




කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

ඇයව බොහෝදෙනා හැඳීන් වූයේ ‘දේදුණු’ නමිනි. පුංචි තිරයෙහි දිදුලන තරුවක් විලසින් පායා ආ දේදුණු නොහොත් උමයංගනා වික්‍රමසිංහගේ මෑණියන් ජීවිතය නම් රගමඬල අතැර ගියාය. ඒ ඈ ජීවත්ව සිටිද්දී මෙනෙහි කළ අනිත්‍යතා ධර්මයට අනුවය. සිය ජීවිතයට මිණි පහනක් බඳු වූ තම මෑණියන් පිළිබඳව, ඇගේ කරුණා බරිත හදවතෙහි වූ සොඳුරු ගුණයෙහි මතක සටහන් පිළිබඳව උමයංගනා ‘සරසවිය’ ට අතීතාවර්ජනයක යෙදුණාය.

මුළු නිවෙසම ගිලී ඇත්තේ අපූරු නිහැඬියාවකය. ඒ නිහැඩියාව බිඳ දැමූ හෝරා යන්ත්‍රයේ ‘ටික්’ ‘ටික්’ නාදයට මම සවන් යොමු කළෙමි. කාමරයෙහි අඳුර පළවා හරින්නට තතනන විදුලි පහනෙන් නැගෙනා මන්දාලෝකයෙහි වූයේ දුක්මුසු බවකි. ඒ දුක්මුසු බව අතරින් මගේ හදවතට පිවිසියේ ඔබය.

එදා අලුයම හා අද අලුයම අතර ඇත්තේ දින කිහිපයක පරතරයක් පමණි. එදින ද මේ අයුරින් යහනෙහි සැතපී සිටි මම ඔබගේ මතක ගඟුලෙහි ගිලෙමින් සිටියෙමි. ඒ මතකය අතරින් ඇසුණු දුරකතනයෙහි නාදය මා මෙලොව වසන ප්‍රාණියෙකු බව මටම මොහොතකින් සිහිපත් කළෙහිය. මම දුරකතනයේ නාදයට සවන් දුන්නේ සිහිනයක් දැක බිය වී අවදි වුණු කලෙක මෙනි. නොනවත්වාම තවමත් දුරකතනය නාද දෙයි. ඉබේම මෙන් මගේ නෙත නතර වූයේ හෝරා යන්ත්‍රය මතයි.

‘අලුයම 2.50’

මම සිතෙන් වේලාව කියැවීමි.

දුරකතනයට පිළිතුරු බැන්ඳේ මා දයාබර සොහොයුරුය. කතා කරන දෙබස් නොපැහැදිලි වුව ද ඔහු පැමිණියේ ඉක්මන් ගමනිනි.

‘අක්කේ, අම්මට ටිකක් අමාරුලු’

ඔහු පැවසුවේ ගොත ගසමිනි. සොහොයුරාගේ වචන දෙසවන ගැටුණු මා පියාණන් කලබල වූයේ අපටත් කලිනි. ඔහු ඉකි ගසා හැඬූ අයුරු ඔබ දන්නේ නම්, දින දාහතක් ඇතුළත ඔබ වෙනුවෙන් සිතේ සිර කරගෙන සිටි වේදනාවේ ඉරිතලා ගිය බැම්ම එකී රුදුරු ජල පහරක් මෙන් වූ ශෝකී වදන්වලින් සුණු විසුණු වී ගියේ ඉබේමය. ඒ දෙගොඩ තලා යන ජලයෙහි රුදුරු වේදනාවෙන් මගේ සිත ද කීරි ගැසිණි. එදින පියාණන් අසල තනි නොතනියට සිටියේ බාප්පාය. පුංචි අම්මා සමඟ මල්ලීත්, මමත් ජාතික රෝහලට යෑමට පිටත් වීමු. අප තිදෙනාම සිටියේ අපටම වෙන් වූ කල්පනා ලෝකවල සැරිසරමිනි. අපගේ කල්පනාව මඳකට හෝ බිඳෙන්නේ අනෙකා හෙළන සුසුමෙහි වේගයෙනි. දිගු සුසුමක් හෙළන අප, එකිනෙකාගේ උවනතට බැළුම් හෙළන්නේ එකිනෙකාගේ සිත්හි උපදින සිතුවිලි කුමක්දෝ යැයි විමසා බැලීමට මෙනි. ජාතික රෝහල ළංවත්ම සිත විපිළිසර වෙයි. ඔබ ළඟට රියෙන් පැන ඉගිළ යන්නට මට අත්තටු ලැබේ නම් කොපමණ අගේදැයි මට සිතුණේ එවිටය.

රිය නැවැත් වූ අසුරු සැනින් අප කොරිඩෝව දිගේ ඔබ සොයා ගියා නොව ඉගිලුනෙහිය. ඔබ සිටි දැඩි සත්කාර ඒකකයේ දොරකඩ ළඟට වන් අපේ දෙපා අපටම අවසඟ වූ අයුරු දැනුදු සිහි වෙයි. ඒ සිදුවීම සිහිවත්ම මගේ දෙපා දැනුදු අවසඟ වන්නේ යැයි වරෙක මට සිතේ. මම මල්ලීගේ උවන දෙස බැලුවෙමි. ඔහු ඔළුව වැනුවේ මා සිත්හි ඉපදුණු සිතුවිල්ලෙහි අරුත වටහා ගත්තාක් බඳු අයුරිනි. අපි දෙදෙනාම දෙපස ඇති තිරය අවසානයෙහි වූ රෙදිකඩ ඔසවා ඒ හිඩැස අතරින් එබී බැලුවෙමි. අප දුටුවේ කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා සුදු පිරුවටයෙන් වසා ඇති ඔබගේ මෘත දේහයයි. පා මතින් හටගත් ගින්න මුළු ශරීරය පුරා විහිද යන්නට ගත වූයේ නිමේෂයකටත් වඩා අඩු කාලයකි. ඒ කාලය පුරාවටම අපි ගල් ගැසුණු සීතල අයිස් කන්දක් සේ එක තැනම ගුලි වී සිටියෙමු. ඒ සිතෙහි වූ වේදනාව යටපත්කර ගන්නට නෙහැකි වූ නිසාවෙනි. ඒ ශෝකී ජනක මොහොතේ මගේ හදවත ගිලගත් අන්ධකාරයේ තරම ඔබට කිව හැකි නම්, දයාබර මෑණියනි, ඔබ කිසිම දිනෙක අප අතහැර නොයන වග නම් සත්තය. මා සොයුරාගේ නෙතඟින් නැගෙන කඳුළු උල්පත දෙකොපුල් මතින් ගලා ගොස් මහ පොළවට පතිත වන අයුරු මා බලාගෙන සිටියේ හදවත උපන් ශෝකයෙනි.

‘මල්ලී ඔයා ඇඬුවොත් අම්මට දුක හිතෙයි. අපිත් එක්ක දුක් වෙන්න මට එන්න විදියක් නෑ කියලා. ඔය කඳුළු පිසදා ගන්න.’

වෙව්ලන ස්වරයෙන් මම ඔහුට පැවසීමි. ඊළඟ නිමේෂයේ දෙඅත් බැඳගත් අප දෙදෙනා ඔබගේ දෙණ අසලට ළං වූයේ හදවතෙහි නැඟෙන රිදුම් අතරිනි. ඔබගේ උවනත මත වැටුණු ශාන්ත, නිසසල බවේ සෙවණැල්ල අප සිතට රැගෙන ආවේ මඳ අස්වැසිල්ලකි.

මීට ටික දිනකට පෙර ඔබත්, පියාත් නිවෙසින් පිවිසියේ අවමංගල්‍ය උළෙලකට සහභාගි වීම පිණිසය. හිතවතෙකුට වූ විපතක් තමාගේ විපතක් ලෙස සලකමින් ශෝකී වීම ඔබගේ අපූර්ව සිරිතක් බව අපට අමුතුවෙන් කිව යුතු නැත. දුක බෙදා ගැනීමට ගිය ඔබට දුක දරා ගැන්මට නොහැකි වූයේද? මම මගේ සිත සමඟ නිරතුරු ගැටෙමි.

‘අම්මට හාට් ඇටෑක් එකක් ඇවිත්’

පණිවුඩය කියූ පණිවිඩකරු දෙසම මම බලාගෙන උන්නෙමි. ඒ කියමන මම කෙසේ විශ්වාසයට ගන්නද? ඒත් ඔබ ඒ ගිය ගමන නැවත ආවාය. ඒ සැබෑවටම සිය මිතුරා සමඟ දුක බෙදා හදා ගනිමිනි. ගෙවුණු දින කිහිපය පුරා අසල්වැසියන්, හිත මිතුරන් ඔබට නිරෝගී සුව පතමින් කළ පැතුම කිසි දිනක අමතක නොවේ. ඒ නිසාමදෝ ඔබ රෝහලෙහි සිටියේ ද නිවෙසෙහි ගත කරන සුපුරුදු සෙනෙහසිනි. අවසාන දවසේ ලේ ගන්නට පැමිණි හෙදිය,

‘ඔන්න මම අම්මට රිද්දන්නයි යන්නේ’ ඔබට කීවේය. ඒ ඔබ හා ළබැඳි සෙනෙහස සිහිපත් කිරීමට මෙනි.

‘ඔන්න මිසී ඕන තරමක් ගන්න. වේදනාව කියන්නේ හැමෝටම පොදු දෙයක්.’

ජීවිතයේ නියම අර්ථය පසක් කරගත් කලෙක මෙන් ඔබ කීවාය. එවදන් නැවත නැවතත් මා සවනත නින්නාද වේ.

‘චූටි දුවේ, මම මැරුණට පස්සේ බැනර්, පෝස්ටර්, දැන්වීම් කිසිම එකක් ගහන්න එපා. පැය 24 ක් ඇතුළත භූමදාන කටයුතුª කරන්න.’

කාලයක පටන් කළ අවසාන ඉල්ලීම එලෙසින්ම අපි ඉටු කළෙමු. ඒ හදවත නැගුණු ශෝකී සිතුවිල්ල හදවතෙහි රඳවමිනි. ඒ නිසාදේ ඔබ තවමත් මා අසල ගැවසෙන්නේ යැයි මට නිතරම හැෙඟ්. මේ නිවෙසේ රැඳුණු ඔබගේ සුවඳ තවමත් මගේ නැහැයට දැනේ.

‘චූටි දුවේ, නැඟිටින්න’

මා අවදි වන්නේ ඔබගේ සොඳුරු ඇමතුමෙනි. වසර එකහමාරක කාලයක් ඔබ අසලටම වී සැප දුක සොයන්නට, මට හැකි වීම මා සතුටට පත් කරයි. නිරතුරුම ඔබ අසල රැඳෙමින්, ඔබගේ කැමැත්තක් ඉටු කරන්නට ලැබුණා වූ වරම කෙතරම් අපූරුද?

‘අනුලා කාන්ති කුමාරි කියන්නේ බොහොම අපූරු කාන්තාවක්’

ඔබෙන් ආගන්තුක සත්කාර නොලැබුණු අයෙක් මේ මුළු බෝසත් සෙවණෙහිම නොමැති බව මම දනිමි. ඔබ අප අතැර ගොස් දින කිහිපයක් ගත වුව ද, ඒ සත්‍ය පිළිගන්නට තරම් අපේ සිත ඉඩ නොදේ. වරින්වර උඩු සිතට පිවිසෙන ඔබේ මතකය මගේ හදවත රිදුම් දෙයි. ඔබේ හඬ ඇසී නෑසී යයි.

‘කවුරුවත් ඔයාට බැන්නොත් ඔයා බනින්න එපා පුතේ. ඒ එයාගේ හැටි වෙන්න ඇති. නැත්නම් එයාට මොකක් හරි ප්‍රශ්නයක් ඇති. ඉවසන්න.’

කුමන ගැටලුවකට වුව ද ඔබ කියන ඔය කියුම මට කට පාඩම්ය. අන් අයට අරුචි වූ යමෙක් ඔබට රුචි වූයේ හදවතෙහි වූ සොඳුරු බව නිසාමය. කුළුණුබර බව නිසාමය. ඔබේ ආදරණීය බව මියෙන තුරාවටම මම රැක ගනිමි. දැඩි සේ මටත්, මල්ලීටත් ආදරය කළ ඔබගේ ආදරය ජිවිතය පුරාවටම අපි ළඟම තබා ගන්නෙමු. කුඩා කල පටන් ඔබ දෙපළගේ සොඳුරු රාජ්‍යයේ ආදර කිරුළ හිමි වුණේ මටය. කාලයක් ඒ කිරුළෙහි හිමිකාරිය වී සිටීමට මට හැකි වීම මා ලැබූ භාග්‍යයකි.

නිතරම වගේ ගුවන් විදුලි නිවේදිකාවක, ටවර් හෝල් ශිල්පිනියක ලෙස ඔබගේ අතීතය පිළිබඳ කතා මට රසවත් කතන්දරයකි. අංගුලිමාල, ආලකමන්දා, නටඹුන් යන නිර්මාණ සඳහා වේදිකාවේ රැඟි අයුරු, ඔබ සිහිපත් කරන විලාසය අද ද මම සිහිපත් කරමි. පුංචි තිරයේදී දකින මගේ රැගුමන් නරඹා ඔබ කියන කියමන් මගේ සිතට මේ දැනුදු ඇසෙන්නාක් වැනිය. සොඳුරු ලෙස මා සරසමින් මගේ රුව දෙසම බලා ඔබ සිටි අයුරු මට තවම මතකය. අවසාන කාලෙයෙහි පියාණන් හා ඔබත්, මමත් ගත් අවසන් ඡයාරූපය සිහිවටනයක් සේ තබාගන්නට මම අමතක නොකරමි. ඒ ඡායාරුව මතුවටත් පැවැත්වෙන රයිගම් සම්මාන උළෙලකදීම ඔබගේ මතකය යළි යළිත් සිහිපත් කරන තවත් එක් මතකයකි.

මේ සියලු මතකය අතරම තවමත් නිදි නැති මා දෙනෙත් හැර බලා සිටින්නේ ඔබගේ උවන දෙසමය. මා සිටින තැනට පෙනෙන ඔබගේ ඡායාරූපය දෙසම මම බලාගෙන ඉඳීමි. ඔබ කොහේ හෝ සොඳුරු බිමක නැවත උපදින්නට ඇතැයි අපි සිතමු. ඒ ඔබ කළ පින් බොහෝ සේ බැවිනි.