වර්ෂ 2013 ක්වූ ජූලි 04 වැනිදා බ්‍රහස්පතින්දා




අම්බලන්තොටින් ගීත තුනක්

අම්බලන්තොටින් ගීත තුනක්

අම්බලන්තොටින් ගායන ක්ෂේත්‍රයට පිවිසි නව පරපුරේ ගායන ශිල්පී සුදත් විජේනායක ස්වතන්ත්‍ර ගීත තුනක් ඔස්සේ ළඟදීම රසික හමුවට පැමිණීමට නියමිතය.

ලලිත් වසන්ත ගී පද රචනය කළ විජය බණ්ඩාර වැලිතුඩුව සංගීතවත් කළ හදවතේ දුක කියා ගන්නට . . . හා රවී ගමගේ ගී පද රචනා කොට සංගීතවත් කළ මියුරු පෙමක නටබුන් මැද දැවෙන වේදනා . . . මට සමාවෙන්න චාන්දිමා රත්තරං නගේ . . . මේ ගිත ත්‍රිත්වය රසිකයන්ට තිළිණ කිරීමට නියමිතය.

98’ දී ගීත ගායනයට පිවිසි සුදත් ගොල්ඩන් එකෝෆ්, ප්‍රොමිනස් වාදක මණ්ඩලයේ නිත්‍ය ගායකයකු ලෙසින් ද කටයුතු කරනු ලැබිණි. අම්බලන්තොට ඥාණෝදය විද්‍යාලයෙන් හා ථෙරපුත්ත මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ සුදත් පාසල් කාලයේ පටන් ගායනයට උපන් හපන්කම් දැක්වීය. ගායන ශිල්පී සතිස් පෙරේරාගේ හා චන්දන ලියනආරච්චිගේ ගීත ඒ අයුරින් ගායනා කිරීමේ සහජ හැකියාවකින් පිරි ඔහු තමන්ගේම ස්වතන්ත්‍ර නිර්මාණයන් තුළින් රසික හමුවට එනුයේ අලුත් ගී නිර්මාණ ත්‍රිත්වය ඔස්සේය.

වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන සුදත් විනෝදාංශයක් ලෙස තම උපන් හැකියාව ඔස්සේ ගීත ගායනා කරනුයේ කිසිදු ගුරු උපදේශයක්වත් නැතිවය. එළැඹෙන දෙසැම්බර් මාසයේ කුළුඳුල් ගීත ඇල්බමය රසිකයන්ට තිළිණ කිරීමට බලාපොරොත්තුªව සිටින සුදත්ට අපි ද සුබ පතමු.

10/1, පොල්වත්ත, පන්නිපිටිය සුදත් විජේනායකගේ ලිපිනයයි.

‘මංගල ඇවනිව්’ මුහුරත් උළෙල දා ශෂිරංග අධ්‍යක්ෂණයට

නව පරපුරේ රංගන ශිල්පිණී ශෂිරංග වික්‍රමසේකර අධ්‍යක්ෂවරයකු වශයෙන් කළඑළියට එන මංගල ඇවනිව් ටෙලිසිතුවමේ මුහුරත් උළෙල පසුගියදා බෙල්ලන්විල රජමහ විහාරයේදී පැවැත්විණ.

මඟුල් කපුවෙකු වටා ගෙතී ඇති හාස්‍යෝත්පාදක ටෙලි සිතුවමක් වන මෙහි එම චරිතය බන්දුල විජේවීර විසින් නිරූපණය කරනු ලබයි.

මහින්ද පතිරගේ, ගීතා කාන්ති ජයකොඩි, දෙනුවන් සේනාධි, දිලිනි ලක්මාලි, සෝමසිරි කොළඹගේ, පබසරා කාරියවසම් මෙහි අනිකුත් නළු නිළි පිරිවරයි.

මංගල ඇවනිව්හි පිරිවර මුහුරත් උළෙලදා එහි කණ්ඩායම සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි මේ.

‘ වසන්තයට පෙර’ ඇරැඹේ

චන්දන එදිරිසිංහගේ නවතම ටෙලි සිතුවම ‘වසන්තයට පෙර’ හි මුහුරත් උළෙල පසුගියදා නුගේගොඩ සංහිඳ හොටල් පරිශ්‍රයේදී පැවැත්විණ. අකිල සඳකැළුම්ගේ තිර රචනයට නිර්මාණය වන මෙහි ජනක කුඹුකගේ, සම්පත් තෙන්නකෝන්, වීණා ජයකොඩි, ගාමිණී අම්බලන්ගොඩ, අකිල සඳකැළුම්, අරවින්ද දොඹගහවත්ත, ශාලිකා එදිරිසිංහ,, මේනකා මධුවන්ති, ගයාත්‍රී රාජපක්ෂ, නීතා සමරනායක, රංජිත් රූබන්, වසන්ත කුමාර විතානගේ, සඳරු රදළියගොඩ, රෝහිත ඩයස්, ෂර්ලි ජයසිංහ, චතුර පෙරේරා, සමන්ති ලැනරෝල්, ධනංජය රාජපක්ෂ, රාජි මෙන්ඩිස්, සඳරේඛා වීරසිංහ, චන්ද්‍ර සූරියබණ්ඩාර ඇතුළු පිරිස රංගනයේ යෙදෙති.

වසන්තයට පෙර, අජිත් වර්ණකුලසූරියගේ නිෂ්පාදනයකි. සංජය ජයසිංහ නිෂ්පාදන කළමනාකරුය. චන්දන විජේකෝන් සහ ඉෂානි අත්තනායක සහාය අධ්‍යක්ෂවරුන්ය. ආනන්ද පොල්ගහවෙළගේ කලා අධ්‍යක්ෂණයකි. සුරේෂ් ඉන්දික අංග රචනයෙන් ද, චමින්ද දීපාල් කැමරාකරණයෙන් ද, බණ්ඩාර අබේසේකර නිර්මාණ උපදේශනයෙන් ද මේ සඳහා එක්වෙති.