|
රැකියාවට නමක් හැකියාවට මිලක්
ඉන්දියානු සිනමා කතාව 23
ඉන්දියානු නිහඩ සිනමාවේ නිමාව පිළිබද අපි පසුගිය සති ගණනක් මුළුල්ලේ කියැවීමු.මේ ආරම්භ වනුයේ කතානාද සිනමාවේ යුගයයි.ඉන්දියානු සිනමාවේ නිහඩ යුගයේ දී සිනමා සමාගම් ඇරඹුනේ සාමුහික කටයුත්තක් ලෙසටය.එනම් චිත්‍රපට සඳහා දැවැන්ත මුදල් ආයෝජනයක් සිදු වූයේ කලාතුරකින් වන අතර චිත්‍රපට තැනුනේ පවුලේ කටයුත්තක් හැටියටය.එහි වෘත්තිය කටයුතුවලදී කිසිවකුට පංගු පේරුවක් නැත.හැමෝම චිත්‍රපටයේ සියලුම වැඩට දායක වූහ.ඉඳහිට හෝ චිත්‍රපටයට එක් වූ නිළියක් සිය තරු සංකල්පය පසෙකලා චිත්‍රාගාර කුස්සියේ ඉවුම් පිහුම් කටයුතුවලටද දායක වීම සාමාන්‍ය කටයුත්තක් විය. පසු කලෙක ඉන්දියානු සිනමාවේ දැවැන්තයකු වන වී.ශාන්තාරාම් සිය මතක සටහන් අතර කියා සිටින්නේ ඔහු පේන්ටර්ගේ සහායකුවී සිනමාවට පිවිසෙද්දී චිත්‍රගාරයේ දර්ශන තල පින්තාරු කිරීම පවා සිදු කළ බවය.එහෙත් කතානාද සිනමාව එය වෙනස් කරනුයේ වෘත්තිකයන් එයට ඇතුළුවීම හේතුවෙනි. ඒ අනුව සංගීතඥයන්,ගායකයන් ගායිකාවන්,නර්තන ශිල්පින්,ආදී වශයෙන් වෙන වෙනම ශිල්පින් සිනමාවට එක්වූ අතර ඔවුන් සඳහා නියමිත මිලක් පැවතින. ඒ සමග සිනමාව නම් සුළු ව්‍යාපාරය මහා කර්මාන්තයක ලකුණු පල කරන්නට පටන් ගත්තේය.මේ අනුව චිත්‍රාගාර ක්‍රමය වඩා ව්‍යාප්ත වන්නට පටන් ගත්තේය.එහි ඇතුළත් වන්නට නම් නමක් දිනිය යුතුව තිබිණ.නමක් ගන්නට නම් හැකියාව අත්‍යවශ්‍ය විය.සිනමාකරුවෙක් වන්නට නම් මේ වෘත්තිකයන්ගේ දැනුම මෙහෙයවීමට නිර්මාණශීලී හැකියාව ද තිබිය යුතු විය. මේ කතානාද සිනමාව සමග ඇරැඹුණ ඉන්දියානු සිනමාවේ චිත්‍රාගාර කිහිපයක් වෙයි. මේ චිත්‍රාගාර ඉන්දියානු සිනමා ඉතිහාසයේ කෙතරම් වැදගත් මෙහෙයක් ඉටු කළා ද යත් අද පවා ඉන්දියානු සිනමාවේ දැවැන්තයන්ගේ මුල් මෙම චිත්‍රාගාර හරහා බැඳී පවතියි. අද සිනමාවේ සිටින්නෙකුට මේ චිත්‍රගාරවල සමහර බිම් කඩක් හෝ දැක ගන්නට නොහැකි වුවත් ඔවුන්ගේ මව්පියන් හෝ ගුරුවරුන් බහුතරය සිය ජීවිතය අරඹනුයේ මෙකී චිත්‍රාගාර තුළය.එබැවින් මෙතැන් පටන් මේ ලිපි මාලාව ඉන්දියානු සිනමාවේ විවිධ භාෂා කෙරෙහි යොමු වන අතර මුලින් එය හින්දි සිනමාව කෙරෙහි අවධානය යොමු කරන්නේය.සෙසු ප්‍රාන්ත භාෂා කෙරෙහි අවධානය යොමු කරනුයේ දෙවැනුවය.පූනා වේ ප්‍රභාත්,කල්කටාවේ නිව් තියටර්ස් සහ බොම්බායේ බොම්බේ ටෝකිස් සහ රන්ජිත් මුවිටෝන් හින්දි සිනමාවේ වර්තමානය දක්වා අතීතාවර්ජනයක් ඇරඹීම සඳහා කදිම මූලාශ්‍රයක් වන්නේය. මේ අතරින් රංජිත් මුවිටෝන් යනු චන්දුලාල් ශා විසින් ගොඩනගන ලද්දකි.මේ සදහා මුදල් ආයෝජනය කරන ලද්දේ ජමන්ගාර් රාජකීය පවුලට අයත් විතනාදාල් විසිනි.1927 වසරේ නිහඬ සිනමා යුගය අවසානයේ රංජිත් ස්ටුඩියෝ නමින් ඉදිවුන මේ චිත්‍රාගාරය ශබ්ද සිනමාව පැමිණි වහාම නවීකරණය වූ අතර එතැන් පටන් එය රංජිත් මුවිටෝන් නම් විය.මදාන් තියටර්ස් අකල් මරණයෙන් පසු පනහ දශකයේ අගභාගය වන තෙක්ම හින්දි සිනමාවේ වඩාත්ම කාර්ය බහුල චිත්‍රාගාරය වූයේ රංජිත් මුවිටෝන් සමාගමයි. ජයන්ත් දේසායි සහ චන්දුලාල් ෂා එහි මුල් සිනමා කෘති නිර්මාණය කළහ ඒ.ආර්.කාදර් සහ කිදර් ශර්මා අනතුරුව එහි සිනමාකරුවෝ බවට පත්වූහ.ගුණවන්ත්‍ර ආචාර්ය,චත්ර්භුජ් දෝශි,නාරායන් ප්‍රසාද් බේතාබ් වැනි වෘත්තිය තිරනාටක රචකයන් රැසක් එහි මුල් යුගයේ සේවය කළහ.මේ අතරින් නාරායන් ප්‍රසාද් බේතාබ් පාර්සි නාට්‍යය හරහා ඉන්දියානු සිනමාවට එක්වෙන්නකි. බේතාබ් පාර්සි නාටක සඳහා රචනා කරන ලද නාට්‍යවල ඇති විශිෂ්ට බව නිසාම 1910 සහ 35ත් අතර ඉන්දියානු පාර්සි නාට්‍ය හඳුන්වන්නේ බේතාබ් යුගය ලෙසය.ඔහු බොහෝ විට සිය නිර්මාණ සඳහා පාදක කර ගත්තේ ඉන්දියානු දේව පුරාණයේ කතාන්දරය.ඔහු සිනමාවට එක් වනුයේ මදාන් තියටර්ස් හරහා වුව ද සරොජ් ස්ටුඩියොස් අම්බිකා පික්චර්ස් වැනි සමාගම් සදහා ද දායකත්වය ලබා දුන්නෙකි. එහෙත් ඔහුගේ වඩාත් සාර්ථක චිත්‍රපට නිර්මාණය වනුයේ රංජිත් මුවිටොන් හරහාය. ඒ අතර දේවි දේවයානි,රාධා රානි,සති සාවිත්‍රි.මිස් 1933,බැරිස්ටර්ස්' වයිෆ්,කීම්ති ආන්සු, වැනි චිත්‍රපට මේ අතර කැපි පෙනෙයි.ජයන්ත් දේසායි හෙවත් ජයන්තිලාල් සිනාබායි දේසායි සිනමාවට එක්වනුයේ ප්‍රදර්ශකයකු ලෙස වන අතර පසුව සිනමාකරුවකු ලෙස ක්‍රිශ්ණා සහ ශර්ධා චිත්‍රාගාරයන්හි සේවය කිරීමෙන් පසු රංජිත් මුවිටෝන් සිනමාකරුවක් විය. 1943 දක්වා රංජිත් මුවිටෝන් සඳහා චිත්‍රපට නිර්මාණයේ යෙදුන ඔහු පසුව තමන්ගේ ජයන්ත් චිත්‍රපට ඇරඹුවේය. රංජිත් වෙනුවෙන් ඔහු විසින් නිරාමාණය කරන ලද දෝ බද්මාශ්,කොලේජ් ගර්ල්.ලහේරි ලාලා වැනි චිත්‍රපට අතිශය ජනප්‍රිය විය.ඒ.(අබ්දුල්) ආර්.(රශිඩ්)කාදර් වර්තමානයේ පාකිස්ථානයට අයත් ලාහෝරයේ උපත ලද්දෙකි.කොහිනූර් සහ ශර්ධා වැනි චිත්‍රගාර යන්හි කටයුතු කළා පමනක් නොව එවකට ඉන්දියාවට අයත් පාකිස්ථානයේ ලාහෝරයේ සිනමාව බිහි කිරිමේ දී කාදර් පුරෝගාමි විය. ඒ ලාහෝරයේ යුනයිටඩ් ප්ලෙයර්ස් ගොඩ නැංවීමෙනි. කෙසේ වෙතත් ඔහු රංජිත් මුවිටෝන් වෙනුවෙන් චිත්‍රපට නිර්මාණය කරන ලද්දේ 1933 සහ 1936 කාලයේ දීය. ස්වර්ග් කී සුධී.මන්දිර්,මිලාප් වැනි චිත්‍රපට මේ අතර කැපි පෙනෙයි.පසු කලක දුලාරි,දස්තාන්,දිල් දියා දාර්ද් ලියා වැනි චිත්‍රපට නිර්මාණය කළේ ද මේ කාදර්මය. කිදර් ශර්මා ද පාකිස්තානයේ උපත ලද්දෙක් වන අතර ඔහු සිනමවාට එක්වනුයේ පී.සිබරුවා හින්දි බසින් නිර්මාණය කරන ලද දේව්දාස් චිත්‍රපටයේ දෙබස් රචකයා හැටියටය.පසු කලෙක හින්දි සිනමා තාරකාවන් කිහිප දෙනෙකුගේම ගොඩ නැගිමට ශර්මාගේ චිත්‍රපට බෙහෙවින් උපකාරි වු බව කිව යුතුය.ඒ අතර රාජ් කපූර් සහ මධුබාලා රඟපෑ නීල් කමල් සහ ගීතා බාලි රඟපෑ සුහාග් රාත් කැපී පෙනෙයි.ශර්මා ඉන්දියානු සිනමාවට දායක වන්නේ සිනමාකරුවකු තිර රචකයක් හැටියට පමනක් නොව නළුවකු ගීත රචකයකු සහ නිෂ්පාදකවරයෙක් ඇතුළු විවිධ අංශයන්ගෙනි. 1910 වසරේ දී වත්මන් පාකිස්තානයට අයත් වන නරොවල් හි උපත ලබන කිදර් නාත් ශර්මා පසුලෙක සිනමාවට එක් වීමේ අභිලාෂයෙන් යුතුව මුම්බාය වෙත එන්නෙකි.පාසල් යන සමයේ අම්රිත්සාර් හින්දු පාසලේ දී නාට්‍ය රචකයකු වීම ඔහුගේ එකම සුදුසු කම විය. නාට්‍යවල සුළු චරිත රගපෑම හරහා යම්තම් ජීවනෝපාය සොයාගත් ඔහුට ඉන් සෑහීමකට පත් වන්නට නොහැකි වූයේ විසි පස් වසර වන විටත් විවාහකයකු වූ හෙයිනි.එබැවින් කල්කටාවේ නිව් තියටර්ස් වෙත ගියේ ජීවත් වීමට මගක් සොයා ගෙනය. අතිරේක නළුවකු ලෙස ද දර්ශන තල පින්තාරු කරුවකු ලෙස ද කටයුතු කළ කිදර් ශර්මා ඒ වන විටත් නළුවකු ලෙස නමක් දිනා සිටි ප්‍රීතිවිරාජ් කපූර් හඳුනා ගත්තේය මේ ඉලන්දාරියාට නිව් තියටර්ස් ජනප්‍රියම නළුවකු වන කේ.(කුන්දන්)එල්.(ලාල්)සයිගාල් හරහා සිනමාවේදී දේබකී බොස් හඳුනා ගැන්මට හැකි වනුයේ ප්‍රිතිව්රාජ් කපූර් නිසාය.දේබකී සිය දේව්දාස් හින්දි දෙබස් ලිවීමේ වගකීම කිදර් ශර්මාට පැවරුවේය. කේ.එල්.සයිගාල් වෙත කිදර් ශර්මා හඳුන්වා දෙන දවසේ සමීපයේ සිටි තම අට හැවිරිදි ප්‍රත්‍රයා වූ රාජ් කපූර් අනාගතයේ නීල් කමල් චිත්‍රපටය හරහා ජනප්‍රිය තරුවක් කිරිමේ අවස්ථාව ඔහු විසින් උදා කර ගනු ඇතැයි ප්‍රිතිවිරාජ් නිකමටවත් සිතුවේ නැත.දේව්දාස් චිත්‍රපටය සමග කිදර් ශර්මාගේ ගීත රචනය සහ දෙබස් ද සයිගල් ගේ රංගනය සහ ගායනය ද බිමල් රෝයිගේ කැමරාකරණය ද බොහෝ දෙනාගේ කතා බහට ලක් විය. කිදර් ශර්මා වෙත වාසනාව ළඟා වූයේ එහෙමය.ඔහු 1941 වසරේ දී තැනූ චිත්‍රලේඛා,මෙන්ම නීල් කමල්,දිලිප් කුමාර් සහ නාර්ගිස් රඟපෑ ජොගන් ද ඔහු නිර්මාණය කරන ලදදේ රංජිත් මුවිටෝන් වෙනුවෙනි. ඔහුගේ ජල්දීප් 1957 වසරේ වැනිස් සිනමා උළෙලේ හොඳම ළමා චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේය.ඉන්දියානු අගමැති ජවහර්ලාල් නේරු තුමන් විසින් ඉන්දියානු ළමා චිත්‍රපට සංගමයේ අධ්‍යක්ෂවරයා ලෙස කිදර් ශර්මා පත් කලේ එබැවිනි. කෙසේ වෙතත් ඉන්දියානු සිනමාව සම්බන්ධව ශර්මා විසින් කරන ලද මෙහෙය සෙසු බොහෝ සිනමාකරුවන්ට සාපේක්ෂව ඇගයීමකට ලක් නොවූ වග පොදු මතයයි. ඔහු 1999 වසරේ දී මිය ගිය අතර ඔහුගේ ජීවිත කතාව ඔහුගේ පුත් වික්‍රම් ශර්මා විසින් 2002 වසරේ දී ද වන් ඇන්ඩ් ලෝන්ලි කිදර් ශර්මා නමින් ලියන ලදී. චන්දුලාල් ෂාගේ රංජිත් මුවිටෝන් චිත්‍රාගාරය නිහඩ යුගයේ සිට පරිවර්තනය වද්දී කල්කටාවේ සිට හින්දි සිනමාව ගොඩනැගුවේ නිව් තියටර්ස් ය. ඉතා කෙටි කලක් ඇතුළත හින්දි මෙන්ම බෙංගාලි සිනමාවේ ද දැවැන්තම පරිවර්තනයක් කිරීමට නිව් තියටර්ස් සමත් විය.නිව් තියටර්ස් හා එහි චිත්‍රපට පිළිබඳ ඔබට ලබන සතියේ කියවන්නට ලැබෙනු ඇත.
|