වර්ෂ 2013 ක්වූ ජූලි 04 වැනිදා බ්‍රහස්පතින්දා




මෙන්න දිලුක

මෙන්න දිලුක

ළමා වියේදීම රංගනයට අවතීර්ණ වූ මේ පුංචි දඟකාරයා දරුවනේ චිත්‍රපටයේ දිලුකගේ චරිතයෙන් අපි වඩාත් හඳුනා ගත්තෙමු. නිර්මාණ කිහිපයකම ප්‍රධාන නළුවාගේ ළමා කාලය නිරූපණයට අවස්ථාව ලද හෙතෙම වෙළෙඳ දැන්වීම් ගණනාවක් ඔස්සේ සිය නිසඟ හැකියාව විදහාලීමට සමත් විය.

යොහාන් පෙරේරා.

ඒ මේ කතාව ලියවෙන තැනැත්තායි.

යොහාන්ගේ රුව නෙත ගැටෙද්දී ඔහු රංගනයෙන් කළ තවත් බොහෝ දේ ඔබට මතක් වේවි. ඉතින් අපි දැන් ඔහුගේ සුරතල් සිත කියවමු.

යොහාන්, ඉස්සර තරම් වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටින්නේ නැහැ නේද?

දැන් මං ලොකුයිනේ. ගිය අවුරුද්දෙයි අ.පො.ස සාමාන්‍ය පෙළ ලිව්වේ. ඇඩ්වල රඟපාද්දි මං බොහොම පුංචියි. ඒ කාලේ මං බෝලයක් වගෙයි. හරිම හුරතල් පාටයි. ඒක නිසා වෙළෙඳ දැන්වීම් බහුලව ලැබුණා.

වර්තමානයේ නම් වැඩිපුර ටෙලි නාට්‍යවලටයි චිත්‍රපටවලටයි දායක වුණේ.

ඊළඟට මං අහන්නේ ඔබව වඩාත් ජනප්‍රිය කළ දරුවනේ චිත්‍රපටය ගැන?

දරුවනේහි දිලුකගේ චරිතයයි මං කළේ. එහි නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු, අධ්‍යක්ෂ වී. සිවදාසන් සහ සුනිල් ටී.චිත්‍රපට සමාගමේ සුනිල් ධර්මසිරි මාමලා තමයි මාව ඊට ගත්තේ. අදටත් නැන්දලා මාමලා මාව දන්නේ දිලුක යන නමින්. දිලුක චිත්‍රපටය ඇතුළේ හරිම සැරයි. ඒත් මම නම් සැබෑ ජීවිතයේ එහෙම නැහැ.

දරුවනේ රූගත කරද්දී ඔබ ඇතුළු දරුවන් පිරිස බොහොමත් දඟ වැඩ කළාලු?

ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. මගේ වයසේ ගොඩක් අය හිටියා. හොරෙන් කෑම කෑවා. නැවතිලා හිටිය ලොජ් එකේ බාත්රූම්වල දොරවල් ගැලෙව්වා. මහ රෑත් හයියෙන් සිංදු කිවවා. හරිම ජොලි ඉතින්.

ඔබ රඟපෑ අනෙකුත් නිර්මාණ මතක් කළොත්?

ටෙලි නාට්‍ය කිව්වොත් ටිකිරි හපන්නු, අහස සේ නුඹ අනන්තයි, උපුලි. චිත්‍රපට ටික මෙහෙමයි. ආසයි මං පියාඹන්න, රෝස කැලේ, මහින්දාගමනය, තැන්ක්‍යු බර්ටි.

යොහාන්ගේ පාසල මොකක්ද? ගම කොහෙද?

මගේ ගම මිගමුව. ඉගෙන ගන්නේ මීගමුව මාරෙස්ටලා විදුහලේ එකොළහ වසරේ.

දිගටම රඟපාන්නද හිතාගෙන ඉන්නේ.

ඔව්. ඒ අතරතුරදී ඉගෙනුම් කටයුතු කරනවා. නළුවෙක් වෙන්නයි හිතාගෙන ඉන්නේ.

ගෙදර අය ඔබ රඟපානවට ආසද?

මෙකද නැත්තේ. අම්මා තමයි මාව හැම වැඩකටම එක්කගෙන යන්නේ. ගෙදර අය මට උපරිම සහයෝගය දෙනවා.

ඔබේ ගමනට උදව් කළ අය කවුද?

රාජසිංහ ලෝලුවාගොඩ, රෝහිත බී. පෙරේරා, සුනිල් ටී. ප්‍රනාන්දු, නුවන් ද අල්විස්, කපිල, උදයකාන්ත වර්ණසූරිය, ඩොනල්ඩ් ජයන්ත, සංජය නිර්මාල්, සුනිල් ධර්මසිරි, වී. සිවදාසන්, තිස්ස ලියනසූරිය, චන්න පෙරේරා, මංජුලා කුමාරි, සනත් අබේසේකර, සම්පත් ශ්‍රී රෝෂණ් සමඟ මගේ පාසලේ විදුහල්පති සුනන්ද අල්විස් සොහොයුරුතුමා ඇතුළු ගුරුවර ගුරවරියන්.