වර්ෂ 2013 ක්වූ ජූලි 04 වැනිදා බ්‍රහස්පතින්දා




රස මියුරු ජෝති ගී

රස මියුරු ජෝති ගී

ආකාස තලේ

ආකාස තලේ සමුදුරේ - දෙරණේ හිනැහේවා
හර්දේහි මගේ වේදනා - සිලිලාරෙ ඇසේවා
ආකාස පොළෝ තල සමුදුර – අයි නාඩන්නේ
තව ආදරයක් අවසානයි – නැතුවද දන්නේ...//

මේ දෙරණ පුරා ජීවයවන් - යෞවන දෑසේ
ලොව කෝටි ගණන් - ප්‍රේම බැඳුම් බිඳුනු විලාසේ
මා පෙම්වතියත් මට නොකියා - වෙන්වුන රහසේ
ඒ කඳුළු තවත් නදියකි - පෙම් සයුරු ජලාසේ
පෙම් සයුරු ජලාසේ

මහ පොළොව මිනිස් පහස ලැබූ - දින සිට ලෝකේ
බැඳි හිතට හිතක් කෙළවර කළ - බිහිසුණු සෝකේ
මේ ප්‍රේමය වෙයි අජරාමර – ඒ සිතු සෝකේ
මට උරුම වුණා හඬව් ඉතින් – මුළු තුන් ලෝකේ
මේ මුළු තුන් ලෝකේ....

පෙම්වතුන්ට සරණේ

පෙම්වතුන්ට සරණේ – අනංගයා මමනේ
පෙම් සටනින් පැරදී - දොස් නැඟීම වැරදී
පෙම්වතුන්ට සරණේ......

පෙමින් වෙළී කාලිදාස - මහා කවක් බිහි කළේ
කලාකාමි කවි හිත්වල - පෙම් රසයක් මතු කළේ
සංගීතය පෙම් ගීයෙන් - පනගන්වා ඔපකළේ
අනංගයා මමයිනෙ ඔය - මහා හපන්කම් කළේ

මහා නාග ළඟ ශීලා - ජයපාලට මාලිනී
ආදරයෙන් එකතුවුණා - අතුල සමඟ රෝහිණී
නැපෝලියන් සීසර් වැනි - අයටත් ආලය දැනී
මගෙ හී සර පහර ලබා - පෙම් ගීයෙන් මත්වුනී

ස්ථිර ආලය නොතකා - දෙතුන් දෙනෙක් ගැන සිතා
වස බොන්නේ මිය යන්නේ - චපල හිතක් ඇති නිසා
කවුරුන් කොයි ලෙස කීවත් - රජා මගුල් සක්වලේ
තරුණ ලොවේ රජ දහනේ - මම පෙන්වමි මගෙ බලේ

මේ දෑස මගේ

මේ දෑස මගේ පින්වන්තයි
තේරුනේ දැන් තමයි
රන් රූපෙ ඔබේ පෙම්වන්තයි
තේරුනේ දැන් තමයි
මේ දෑස මගේ පින්වන්තයි....

ළඟ දුනුකේ මලකී – දුර මානෙල් මලකී
උඩවැඩියා මලකී – මල් මැද මල් ළඳකී...//

රණ මයුරා වරලයි – අඩ සඳ වන් නළලයි
නීල උපුල් දෙනෙතයි – නාරිලතා ගමනයි...//

හද බැඳෙනා වයසේ - පහන ලෙසේ නිවසේ
ඔබ සැරදේ සුවසේ - පතනෙමි මං එකසේ...//

පෙර දිනක එදා

පෙර දිනක එදා හමුවූයේ කොතැනකදෝ
මට මෙන්ම ප්‍රියේ ඔබටත් එය අමතකදෝ
ඔබ නොදැක එදා එක දවසක් ගතවුනිදෝ
ඒ දවසද කල්පයකට වැඩි දිග නේදෝ

සා දෙනෙකු ලෙසින් අවිහිංසක ඔබ සෙවණේ
ඒ ගෙවූ අතීතේ....//
ඔබ වෙනුවෙන් මා නෙත් හෙළු කඳුළු රේඛා...//
අද මල් පුබුදා ඇත එහි පැතිරී ශාඛා...

කටු පඳුරු පිරුණු වන පෙදෙසක ඔබ පිපුනේ
මගේ ආදර අරණේ....//
වාසනාවෙ අඩසඳ දැන් අහසේ මෝරයි....//
මා මියන තුරුම ජීවිතේ මගෙ ඔබටම බාරයි...

ජෝති උපහාර ගී ප්‍රසංගය 07 වැනිදා සුගතදාස ක්‍රීඩාංගනයේ

ජෝති 26 වැනි ගුණ සමරුව අලළා කලා ලංකා පදනම සංවිධානය කරන විචිත්‍රවත් ජෝති උපහාර ගී ප්‍රසංගය ‘සිරියාමෙ සාරා’ මෙම මස 07 වැනි ඉරු දින සවස කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

ප්‍රවීණ ගායක ගායිකාවන්, නළු නිළියන් රැසක් මෙහිදී ජෝති ගී ගයනු ඇත.

කලා ලංකා පදනමේ සභාපති අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වන මෙම ප්‍රසංගය නිවේදනයෙන් මේඛලා වසුන්දරා මෙහෙයවනු ලබයි.

වියළි ආහාර බෙදාදීම 06 වැනිදා පිටකොටුවේ

එච්. ආර්. ජෝතිපාලයන්ගේ විසි හය වැනි අනුස්මරණය නිමිති කර ගනිමින් වියළි ආහාර බෙදා දීමේ දානමය පින්කමක් මෙම මස හය වැනිදා දහවල් 12 ට පිටකොටුව මල්වත්ත පාරේ ජයනන්ද රෙකෝඩ් බාර් අසලදී සිදු වේ.

ජෝති මිතුරු සමාජයේ ජෝති උපහාර

එච්. ආර්. ජෝතිපාලයන්ගේ 26 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් එච්. ආර්. ජෝතිපාල මිතුරු සමාජය සහ ගුණ සමරු පදනම මෙවරත් වැඩ සටහන් කිහිපයක් සංවිධානය කර තිබේ.

ජෝතිපාලයන් අභාවප්‍රාප්ත වූ ජූලි 07 වැනි දින පෙරවරු 10.00 ට බොරැල්ල කනත්තේ ජෝති ගී සෑයට මල්දම් පුදා උපහාර කිරීම පළමුවෙන් සිදු කෙරෙන අතර, එදින සවස 6.00 ට මරදාන ටවර් රඟහලේ දී සුපුරුදු පරිදි දිවයිනේ ජනප්‍රිය ගායන ශිල්පීන් ගීත ගයන ‘අමරණීය ජෝති’ ගී ප්‍රසංගය පැවැත්වීමට කටයුතු යොදා ඇත. අර්නස්ට් සොයිසා ප්‍රමුඛ වාද්‍ය වෘන්දය මෙහි සංගීතය මෙහෙයවනු ඇත.

මෙම අවස්ථාවන්ට සහභාගී වන ලෙස ජෝතිපාල රසික සැමට ‘එච්. ආර්. ජෝතිපාල මිතුරු සමාජය සහ ගුණ සමරු පදනම’ මෙමගින් විවෘතව ආරාධනා කර සිටී.