වර්ෂ 2013 ක්වූ ජූලි 04 වැනිදා බ්‍රහස්පතින්දා




‘අමරදේව ජාතියේ ස්වර්ණ ස්වරය’ එළිදකී

‘අමරදේව ජාතියේ ස්වර්ණ ස්වරය’ එළිදකී

පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ 85 වැනි ජන්ම දිනය නිමිත්තෙන් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ ශ්‍රී ලංකා කලා මණ්ඩලය විසින් සම්පාදිත ‘අමරදේව ජාතියේ ස්වර්ණ ස්වරය’ග්‍රන්ථය පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්විණි.

එහිදී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාට පිළිගැන් වූ එම ග්‍රන්ථයේ අමරදේවයන් විසින් සමරු සටහනක් තැබූ අයුරුයි මේ. -

ඇතුවත් බෑ නැතුවත් බෑ ට අනුමැතිය

එරංග සේනාරත්නගේ නවතම සිනමාපටය වන ඇතුවත් බෑ නැතුවත් බෑ ප්‍රදර්ශනය සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය පසුගියදා ලැබිණි.

රංගන ප්‍රේමරත්න, සුරේශ් ගමගේ, ශෙහාරා ජයවීර, මිහිර සිරිතිලක, මධු නිත්‍යානි, සුසාන් ප්‍රනාන්දු, සරත් සිල්වා ඇතුළු පිරිසගේ රංගනයෙන් සමන්විත මෙය එරංගගේ හයවැනි සිනමාපට අධ්‍යක්ෂණයයි.

කලා කීර්ති සුනිල් විමලවීර, උපාලි බණ්ඩාර වීරසේකර, මැණික් ජයසිංහ, ඩිනලි සේනාරත්න මෙහි ගී පද රචනා කොට තිබේ.

ලස්සන ජයසේකර සමඟ ප්‍රබුද්ධ ගීතරුචි සංගීතය මවන ඇතුවත් බෑ නැතුවත් බෑ උරේෂා රවිහාරි, විශාරද කුෂානි සඳරේඛා, මාරියො ආනන්ද, සුරේශ් ගමගේ, විශාරද අභිශේකා විමලවීර සහ ගයනි මධුරා විසින් ගැයුමෙන් ඔපවත් කරති.

එරංගගේ තිර රචනයක් වන මෙය ශ්‍රී ජය සිනෙරූ ඉදිරිපත් කිරීමකි.

‘පීටර් වන්’ පනහ පනියි

බන්දු සමරසිංහගේ පීටර් වන් හාස්‍යෝත්පාදක සිනමා සිතුවම ආරම්භක සිනමා ශාලාවන්හී විජයග්‍රාහි දින පනහ පසු කරයි.

බන්දු සමරසිංහ, වීණා ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, රොඩ්නි වර්ණකුල, නිලන්ති ඩයස්, මානෙල් වානගුරු, සරත් කුලාංග, ටිරෝන් මයිකල්, රංජිත් සිල්වා, සුනිල් පෙරේරා (ජිප්සීස්) සමඟ රිදී තිරයට හඳුන්වා දෙන බන්දුගේ පුත් කුමර සහ දියණි රසෝඝා මෙහි රංගනයෙන් දායක්තවය සපයති.

තිර රචනය සහ සහාය අධ්‍යක්ෂණය ගයාන් මහගලගේ ගෙනි.

ස්වර්ණ ෆිල්ම්ස් සහ අක්මල් වික්‍රමනායක පීටර් වන් නිෂ්පාදනය කොට තිබේ.

කලාකරුවන් පිරිවරා ‘Sense’ විවෘත වූ දා

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික සංගීතය හා ජනසන්නිවේදන අධ්‍යනාංශයේ තෙවන වසර සිසුවෙකු වන එච් එම්. මංජුල අරුණ බණ්ඩාරගේ ‘Sense’ ශබ්දාගාරය සංගීත ශිල්පී රංග දසනායකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බොරලැස්ගමුවේදී විවෘත කෙරිණි.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යලයේ කථිකාචාරිණී ශ්‍රියා කාරියවසම්, බේස් ගිටාර් වාදක තිලක් ඩයස් පටිගත කිරීමේ අවස්ථාවකට සහභාගි වූ අයුරු.