වර්ෂ 2013 ක්වූ ජූලි 04 වැනිදා බ්‍රහස්පතින්දා




උඹට මොකටද උදැල්ලක්

උඹට මොකටද උදැල්ලක්

ආචාර්ය සෝමරත්න දිසානායකයන් ගේ සිරි පැරකුම් තිර නාටකය ඇසුරෙන් සරසවිය ගෙන එන වෘතාන්තය

13 වැනි සියවසේ දී දඹදෙනිය රාජධානිය කොටගෙන මුළු මහත් ශ්‍රී ලංකාවම එක් සේසත් කළ නැම්බඹර කලිකාල සාහිත්‍ය සංගීත සර්වඥ පණ්ඩිත දෙවැනි පරාක්‍රමබාහු රජතුමන්ගේ ළමා විය ආශ්‍රිත ජන ප්‍රවාද පාදක කර ගනිමින් ආචාර්ය සෝමරත්න දිසානායක විසින් ලියන ලද තිර නාටකය පාදක කර ගනිමින්.

“ සිරි පැරකුම්”සරසවියට පාඨකයන් වෙනුවෙන් ලියැවෙන නවකතාවයි.

අප්පුවා දිව ආවේය.ළමා විය අවසන් කරමින් සිටින ඔහු ගැටවර වියට එළැඹෙමින් උන්නේය.ඔහු කලබල වෙමින් උන්නේ කිසිවකු කෑ ගසනු ඇසීමෙනි.ඒ මිනිසෙකු නොවන බව ඔහුට වැටහිණ. සිරිමල් එතනා ද කළු එතනා ද ඔහු සමග උන්නේය.හඬ නැගෙන අයුරු හොඳීන් අසා සිටි අප්පුවා අනතුරුව එය අනුකරණය කළේය.එයට පිළිතුරු ලැබිණ.

'කොටියෙක් ද දන්නේ නෑ"

සිරිමල් එතනා අනුමාන කළාය.ඇයගේ ඇස්වල තිබුණේ බියගුළු ගතියකි.ඇගේ වදන් නො ඇසූ අප්පුවා යළිත් ඒ හඬ ප්‍රතිරාව නැංවූවේය.එයට පිළිතුරු ලැබුණි.

'අපි යමුද බලන්න"

අප්පුවා ඇසුවේය.දෙසොහොයුරියන් බිය පත්ව බලා ඉන්නා බැව් ඔහුට පෙනින.

'අපිට කරදරයක් වෙයිද දන්නේ නෑ.'

කළු එතනා ඇසුවාය.

'එහෙම වෙන්නේ නෑ.මං ඉන්නවා නේ'

අප්පුවා පැවසුවේ සිතට දිරිය ගෙන එමිනි.ඔහු කෙල්ලන්ගේ පිළිතුරු බලා නො ඉඳ ම ඉදරියට ගියේය.මේ වනාන්තරය බියකරු බැව් අප්පච්චි කිහිප වරක්ම දැරියන්ට මතක් කර දී තිබිණ.එක් පැත්තකින් රුදුරු දිවියන්ය.අනිත් පසෙන් අලි රංචුය.තවත් පසෙකින් කුළු හරකුන්ය. මේ වග වලස්සු වනන්තරයේ නිරන්තරයෙන් රැඳී සිටිති.එපමණක් නොව යක්කු සහ ඇසට නොපෙනෙන බලවේගයන් ද මේ වනාන්තරය සිසාරා සැරි සරන වග අමුතුවෙන් කිවයුතු නොවේ.එහෙත් අප්පුවා ඒ එකක් වත් ගණන් ගන්නා කෙනෙක් නොවන වග මේ කෙල්ලන් දනී.එපමණක් නොව අහම්බෙන් නිවසට කඩා වැදුණ මේ කොලු ගැටයා ගෙදර හිමි තමන්ටත් වඩා එහි ආධිපත්‍ය දරන්නෙකුයැයි ඔවුන් ගේ කුඩා සිත්වලට වැටහී තිබිණ.ටික දුරක් ඇවිද ගිය ඔවුන් දුටුවේ වළක ඇද වැටී සිටින කුළු මී හරකෙකි. ඔවුන් දුටු විට වහා මග හැර යැම මිනිසුන්ගේ පමනක් නොව වන සතුන්ගේ ද සිරිතකි.ඉඳහිට හෝ දිවියකු සමග සටන් වදින කළ බොහෝ විට සිදුවන්නේ ජය ගැන්මට වඩා මරණීය තුවාල ලබන දිවියාගෙන් පලා යෑම බැව් ගැමියෝ දනිති. එබැවින් කුළු හරකෙකු සමග තනිව සටන් වදින්නට දිවියකු එළැඹෙන්නේ මග හැර යා නොහැකි විට පමණි.

වළක වැටී ගොඩ එන්නට මගක් නැතුව සිටින කුළු මී හරකා බොහෝ විට දරුණු එකෙක් විය හැක.වෙනත් කිසිවකු නම් කුළු මීහරකා බඩ ගින්නේ මිය යන්නට ඉඩ හැර පළා යනවා විනා එයට උපකාර කරන්නට යන්නේ නැත. එහෙත් අප්පුවාට එසේ නොසිතිණ.

'අපි මූව ගොඩට ගනිමු"

ඔහු යෝජනා කළේය. එය ඇසු සැනින් කෙල්ලෝ මර බියට පත් වූහ.

'මේකා කුළු හරකෙක් නේ.ගොඩට ගත්තොත් අපි ඔක්කොටම ඇනලා මරයි'

කළුඑතනා අනතුරු හැඟෙව්වාය.එහෙත් එය කනකට ගත්තේ අප්පුවා නොවේ.

'අප්පච්චි කියලා තියෙන්නේ කුළු හරක් ඉන්න පලාතකටවත් යන්න එපා කියලා '

ඇය යළිත් මතක් කළාය.එහෙත් අප්පුවා එය නෑසූ කන් ඇතිව ඉන්නා කළ ඇය තර්ජනය කළාය.

"මං අප්පච්චිට කියනවා".

එහෙත් අක්කා නගෝ දෙදෙනාම ඔහු අත හැර යන්නට අකැමැති වූ සේය. වන වදුල පිරික්සූ අප්පුවා හොඳ වැල් පටක් සොයා ගත්තේය. එය ඇද ගැනීම ඔහුට තනිවම කළ හැක්කක් නොවීය.අප්පුවා වටපිට බැලුවේ උදව්වක් බලාපොරොත්තු වෙනි.දැරියෝ මුවින් නොබැන එවර ඔහුට උදව්වට ආහ. ඔවුහු එක්ව වැල් පටින් වරමද්දක් සාදා ගත්හ. එහෙත් එය වලේ වැටි සිටි කුළු මීමා ගේ ගෙලෙහි ලෑම ලෙහෙසියෙන් කළ හැක්කක් නොවීය. විශේෂයෙන් ළමා විය නොඉක්මවූ මේ පොඩි එවුන්ට එය ඉතා අසීරු කරුණක් විය.ඉතා අසීරුවෙන් නමුදු එය නිසි ලෙස ගවයාගේ ගෙලෙහි ලන්නට අප්පුවා සමත් වූයේය.අනතුරුව දුව ගිය අප්පුවා වැල් පට ගසක ගැට ගසා ගවයා ඉහලට ඇද්දේය.සතා දෙවරක්ම හිස ගසා දැමුවේ කෝපයෙන් මෙනි. එහෙත් තිරිසනා වුව ද මේ තමන්ට යහපතක් කරන්නේයැයි වැටහුණ හෙයින් දෝ ඌ අප්පුවාගේ අණට ක්‍රියාත්මක වූයේය.අනතුරුව තම වෙර සියල්ල එක වර දරා වලෙන් ඉහලට එන්නට තැත් කළේය. දරුවෝ තිදෙනාම එක පොදියට වැල් පොට ඇද්දාහ. දූවිලි වලාවක් වලෙන් ඉහලට ගියේය.මීමා වලෙන් ඉහලට මතුවිණ.සෙල්ලම ලෙල්ලම වෙතැයි අප්පුවාට සිතිණ.ඔහු වහා දැරියන් දෙදෙනා ගසකට ගොඩ කොට ඔහු ද එයට නැංගේය.එහෙත් උඩට පැමිණි මීමා ඒ වේගයෙන්ම නතර විය.තමා වැටුණු වල සිසාරා බැලූ සත්වයා බඩගින්න වැඩි කමටදෝ අසල වූ තණ උලා කන්නට සැරසිණ. ගස මත සිටි අප්පුවාට සිනහ පහල විය. ඔහු සීරුමාරුවට ගසින් බැස මීමා ළඟට වී තණ කොල අහුරක් කඩා දුන්නේය. සතා ද කරබා ගෙන එය කෑවේය. අනතුරුව අප්පුවා සතාගේ පිට පිරි මැද්දේය. දැරියන් දෙදෙනා ද හෙමින් ගසෙන් බැස ගත්හ. අනතුරුව ඔවුන් තිදෙනාම ගසෙන් බැස සතාට ළංවූහ.තමාට උපකාර කළ මිනිස් දරුවන් තිදෙනා පිළිබඳ වටහා ගත් බවක් පළ කළ කුළු මීමා

දරුවන්ට රිස්සක් කරන්නට ඉඩ හැර හෙමින් සීරුවේ වනාන්තරයට වැදිණ.

මේ සිදුවීම තමන් අතර රහසක් ලෙස තියා ගන්නට ළමෝ කතිකා කර ගත්හ. පසු දිනක පවා ඒ ගැන ඔවුහු කතා නොකළේ එය මාපියන් දැන් සිටියා නම් දඬුවම් විඳීන්නට වෙතැයි යන බියෙනි.

කුඹුරේ සිට පැමිණි ගමරාළ, බිරින්දෑ ගෙනා අග්ගලා ගෙඩියක් අතට ගෙන පිල්කඩ මත වාඩි වූයේය.මිදුලේ තිබුණ උදැල්ල අතට ගත් අප්පුවා එය අතට ගන්නට වෙර දරනු බලා සිටි ගමරාළට සිනහ පහල විය.

'ළමයා ඔය උදැල්ල උඹට ලොකු වැඩියි."

'එහෙනම් පොඩි උදැල්ලක් හදලා දෙනවද අප්පච්චි"

අප්පුවා ඇසුවේය.

උදැල්ලක් ඕනෑ නම් කම්මලට ගිහින් ගුරුන්නාන්සෙට කියාපං'

ගමරාළ පැවසුයේ වැඩි දුර දිග සිතන්නේ නැතිවය.එහෙත් අප්පුවා ඒ ගැන එයට වඩා සිතුවේය. ඔහු පසුවදා ම කම්මලට යන විටත් කම්මල් කරු උදැල්ලක් තනමින් සිටියේය. කම්මල තිබුණේ ගමේ කෙලවරකය.ඔහු ටික වේලාවක් කම්මල් කරුගේ කල්ක්‍රියාව මොහොතක් බලා උන්නේය.එක දිගට යකඩය තලා ගෙන ගිය කම්මල්කරු හිස ඔසවා බැලුවේය.ඔහුගේ ඇස ගැටුණේ තමාගේ වැඩය ගැන අවධානයෙන් පසුවූ කොලුවා යි.

'මොකද කොලුවො?

ඔහු ඇසුවේය.අප්පුවා පැමිණ සිටියේ උදැල්ලක් තනා ගන්නටය.එහෙත් ඒ වැඩිහිටියෙකුට නොවේ.තමන්ට වැඩ කරන්නටය.කම්මල්කරුට එය සිනහවට කාරණයක් විය. මේ පැහිච්චකොලුවා කාගේදැයි හෙතෙම විමසා බැලුවේය.මේ ගමරාලගේ නිවසේ වැඩට සිටිනා කොලු ගැටයාය.එහෙයින් ඔහු තමන්ට සැලකිය යුතු පුද්ගලයකු නොවන වග කම්මල්කරුට වැටහිණ.ඇරත් ඔහු රෙදි නැන්දාගේ දරුවෙක්යැයි යි ගමම දන්නා කතාවකි. එබැවින් කම්මල්කරු මයිනහම අදින්නටයැයි අප්පුවාට අණ කළේය.අප්පුවා කලබල වූයේ නැත.ඔහු කම්මල් කරු කියන්නක් කළේය.

"ගුරුන්නාන්සේ මට උදැල්ලක් හදලා දෙනවාද?"

අප්පුවා යළිත් ඇසුවේය.

උඹට මොකටද බං උදැල්ලක් .උඹලගොවිතැන් කරන උදවිය නෙවේ. උඹත් පුරුදු වෙයං රෙදි හෝදන්න"

කම්මල්කරු ඔලොක්කුවට මෙන් පැවසූ කතාව අප්පුවා ගණනකට ගත්තේ නැත.එබැව්න් ඔහු අත් රිදෙන තුරුම මයින හම ඇද්දේය. ඔහු යළිත් පසුවදා කම්මල වෙත ආවේය.ඔහු යන විට කම්මල් කරු සිටියේ උදැල්ලක් තනමිනි. එය දුටු කොලුවා ගේ සිත සතුටික් ඉපිල ගිය ද එය මොහොතකට පමණි.ඒ උදැල්ල වෙනත් කෙනෙකුටය. දිනපතාම අප්පුවා කම්මලට ආවාද කම්මල්කරු කළේ ඔහු ලවා මයින හම ඇදීම පමණකි. එහෙත් මුවින් නොබැන අප්පුවා එහි ගියේ ය.

"උඹ හැමදාම ඇවිත් මයින හම ඇදහං කෝ. මං ඉඩක් හම්බවුණු දවසක උඹට උදැල්ල හදල දෙන්නම්."

කම්මල් කරු අප්පුවා සනසන අටියෙන් පැවසුවේය.බලා පොරොත්තු සහගත වූ අප්පුවා දිනපතාම කම්මලට ආවේය.

එහෙත් එක් දිනක් අප්පුවා කම්මලට යන විට කම්මල් කරු එහි නොසිටියේය. කිහිප වරක් හඩ නගා කතා කළ ද කම්මල්කරු එහි නොසිටියෙන් අප්පුවා එයට ඇතුළු වූයේය. වෙනදා තමන්ට අල්ලන්ටවත් නොදෙන උපකරණ තොගයක් එහි තිබිණ.මිටියක් අතට ගත් ඔහු එය පිරික්සුවේය.අසල වූ යකඩ කැබැල්ලක් අතට ගත් ඔහු මිටියගෙන තලන්නට පටන් ගත්තේය. එහෙත් එසේ කරන්නට ඔහුට එතරම් වේලාවක් ගත වූයේ නැත කම්මල් කරුගේ දරුවෝ එහි දුව ආහ. ඔවුන් මුලින් සිතුවේ සිය පියා නැති මොහොතේ සොරෙක් එහි වැද ඇති බවය.එහෙත් ඔහු මේ පන්සලේ දී ගාථා උගන් වන කොලු ගැටයා බැව් කම්මලේ දරුවෝ හඳුනා ගත්හ.

'අප්පච්චි කියලා තියෙන්නේ අප්පච්චි නැති වෙලාවට මේ පැත්තේ එන්න එපා කියලා'

එක් දරුවෙක් පැවසුවේය.

'මම අප්පච්චිට කියන්නම්. මට උදව් කරපල්ලකෝ"

අප්පුවා ඉල්ලුවේය. කුළු මීමා පිටේ යන,පන්සලේ දී ගාථා කියා දෙන අප්පුවාගේ ඉල්ලීම පිළිකුල් කරන්නට හේතුවක් සොයා ගන්නට දරුවෝ අපොහොසත් වූහ. එබැවින් ඔවුන් අප්පුවා කියන්නකට කැමැති විය.එක් පොඩි එකෙක් මයින හම අදිත්ම එහි සැඟව තිබුණ ගින්දර මතුව ආයේය. ගිනි දැල්ලත් සමග අප්පුවාගේ ඇස් දිලිසෙන අයුරු දරුවෝ දුටහ.තවත් එකෙක් පොල් කටු ටිකක් එයට දැම්මේ වඩා හොඳීන් එය ඇවිලෙන්නටය. අප්පුවා ඇවිලෙන්නට යකඩය දමා රත් කොට එයට තමාට අවශ්‍ය ආකාරයට තලා ගත්තේය.කාලය ගෙවෙනු දරුවන්ට දැනුනේ නැත කිසි දිනක පියා අත ගසන්නට නොදුන් වැඩකට හවුල් වන්නට ලැබීමේ දඟකාරකම දරුවන්ට මහත් සතුටක් ගෙන දුන්නේය. කවදාක හෝ මේ රැකියාව තමන්ගේ උරුමය ලෙස ඔවුන් දැන සිටියද තවමත් එයට අත් උදව් දෙනවාට වඩා යමක් කරන්නට කම්මල් කරු ඔවුන්ට ඉඩ දුන්නේ නැත.එක් වරම දරුවන් බිරන්තට්ටු වුනේ කම්මල් කරු එහි කඩා වැදීමත් සමගය.

'මොනවද බොලව් තොපි කම්මලේ කරන්නේ.?"

ඔහු කෑගෑවේය.අප්පුවා ගුරුන්නාන්සේ දෙස බලා නැවත උදැල්ල සැකසීමේ යෙදිණ.

'තොට කව්ද කිව්වේ මං නැති වෙලාවට කම්මලට එන්න කියලා".

ඔහු අප්පුවාගේ ඇඟට ගොඩ විය.අප්පුවා සිටියේ සිය කටයුත්තෙහි නිමාවක් දකිමිනි.කම්මල්කරු උදැල්ල උදුරා ගත්තේය.

"කොහෙන්ද බොල මේක හැදුවේ?

ඔහු විතාලේය.

'මම හැදුවේ"

අප්පුවා ගණනකට නැතුව පැවසුවේය.

'තෝ මේක හැදුවේ'

කම්මල්කරු දෙවරක්ම විමසා සිටියේ එය ඇදහිය නොහැකි කරුණක් හෙයිනි.

'කොයි වෙලාවේද හැදුයේ"

ඔහු එවර ඇසුවේ තලයට අත තබමිනි. එයින් ඔහුගේ අත පිළිස්සිණ.

'ඇත්ත කියපං. ලපයා ගුරුන්නාන්සේ ආවා නේද මෙහේ'

ඔහුට තවමත් දරුවන් විශ්වාස නැත.ඔහු උදැල්ලෙහි තලය දිගේ සිය විපරම් ඇස යොමු කළේය.

"අනේ ඇත්තමයි.මම තමයි හැදුවේ"

කොලුවා ගේ වචන විශ්වාසයට ගත යුතු යැයි මුල්වරට ඔහුට සිතිණ.

"මටත් දවස් දෙකක් යනවනේ.උඹ කොහොමද කොල්ලො මේක ඉගෙන ගත්තේ?"

කම්මල් කරු විමසා සිටියේය.

"ගුරුන්නාන්සේ මාමාගෙන්මයි'

එහෙත් තමා කිසි දවසක මේ කොලු ගැටයාට මේ කර්මාන්තය කියා දුන්නේ නැත.

'මම බලාගෙන හිටියා"

කම්මල් කරුගේ ඉරියව් වෙනස්ව ගියේය.ඔහු දරුවා ළඟට ගත්තේය. ටොක්කක් වදිනු ඇතැයි අප්පුවා සිතුව ද කම්මල් කරු ආදරයෙන් දරුවාගේ හිස අත ගෑවේය.රෙදි නැන්දා ගේ දරුවා වුවද ඔහු කෙරෙහි අනියත බියක් ඔහුට පහළ විය.එහෙත් ඒ කුමක්දැයි කියන්නට ඔහු අපොහොසත් විය.

'තෝ නම් යකෙක්. කවුරු හරි ඇසුවොත් කියාපිය මං තොට ඉගැන්නුවා කියලා"

අප්පුවා ඉනෙන් කාසියක් අතට ගත්තේය.කම්මල් කරු කොලුවාගේ අත යළි මිට මෙලෙව්වේය.

"කාසි එපා බොල.යකඩ කෑල්ලයි මිටයි මං ගණනේ.වැඩේ උඹේනේ. උඹට බැරිද හැමදාම ඇවිත් උදව් කරන්න'

"පුළුවන් වෙලාවට මං එන්නම්"

අප්පුවා පොරොන්දු වූයේය.

විවේක වේලාවට පන්සලට ගොඩ වදින අප්පුවා එහි ඇති පොත් සියල්ලම කියැවූයේය.ඔහුත් සමග මුලින් පන්සලේ ඉගෙන ගන්නට පැමිණි බොහෝ දරුවෝ දැන් ඒ සදහා නොපැමිණෙති. එයට වඩා කුඹුරක් කරන්නට කාලය වැය කිරීම යහපත් බැව් ඔවුන්ගේ මාපියන්ගේ ද මතය වී තිබිණ.එය වෙනස් කරන්නට පන්සලේ හිමි නමට ද නොහැකි විය. අනිත් අතට දරුවන් ද පොතට පතට වඩා මව්පියන් මෙන්ම කුඹුරක හේනක කල් ගෙවන්නට කැමැති වග උන් වහන්සේ වටහා ගෙන සිටිසේක.

නායක හාමුදුරුවන් බෝමළුව අමදිද්දී ගායනයක් ඇසිණ. අප්පුවා පුස්කොල පොතක් ගෙන මහ හඬින් කියවනු දුටු හිමි නමට සිනහ පහල විය.

'පින් පියයුරු බර පුළුලු කුල මැද සිවුමෙන්

කියලු වන් වරඟනන් විසිතුරු වතුන් පැවතුම්'

හිමි නම දුටු අප්පුවා වහා නැගිට සිටියේය.

'මං උඹට කිව්වේ නෑනේ.ඔය කවි පාඩම් කරන්න කියලා"

නාහිමිපානන් කියා සිටියේය.

'අපේ හාමුදුරුවො දුන්න ශ්ලොක කවි ඔක්කොම කියවල ඉවරයි හාමුදුරුවනේ.ඒ හින්දයි මේ පොත ගත්තේ"

අප්පුවා නිදහසට කියා ගෙන ගියේය.

"උඹට තේරෙනවද ඔය කියන්නේ මොකක්ද කියලා'

"වචන නම් තේරෙනවා.ඒත් අර්ථය දන්නේ නෑ"

ඕක සසදාවතේ ස්ත්‍රී වර්ණනාවක්.උඹට ඕක බර වැඩියි.

එහෙත් නාහිමියන් එය විස්තර කර කියා දුන්නේය. අප්පුවාගේ අනාගතය ගැන කතා කරන්නට ගමරාළ හමුවිය යුතුයැයි උන් වහන්සේට කිහිප වරක්ම සිතා ගත්තේය.සසදාවතේ කවි කියැවීමෙන් පසු එය තවත් කල් නොයැවිය යුතුයැයි උන් වහන්සේ තීරණය කළහ. එ දා සවසම ගමරාළගේ ගෙදරට වැඩියහ. වහා සුදු රෙද්දක් අතුරා උන්වහන්සේට අසුනක් පැන විණ.දැරියන් දෙදෙනා ද මවුපියන් ද අප්පුවා ද හිමි පානන්ට පිළිවෙලින් වැන්දහ.

'දැන් ළමයි ගියාට කමක් නැහැ"

නාහිමියන් වදාළෙන් ළමයි එයට කීකරු වූහ.

'අප්පුවා කොලුවා අකුරු සාත්තරේට දස්සයි.මට හිතෙනවා උඹල කැමති නම් කොලුවා මහන කරන්න"

නාහිමියන් තමා ආ කාරණය කෙලින්ම පැවසුවේය.

ගමරාල සහ බිරින්දෑ එකිනෙකාගේ මුහුණ බැලුවා විනා පිළිතුරු දුන්නේ නැත.

"උඹල දෙන්නා කැමති නම් දඹදෙනියේ විජයසුන්දරාරාමේ සංඝරාජ හාමුදුරුවන්ට දන්වල පිළියෙල කරන්නත් පුළුවන්'.

නාහිමියන් ගමරාළ ගේ මුහුණ දෙස කෙලින්ම බැලුවේය.

'දන්නවානේ දරුවෙක් සාසනේට බාර කරනවා කියන්නේ හතර වරිගේම නිවන් දකිනවා කියන එකයි'

හාමිනේ ගමරාළගේ කනට කොඳුරනු නාහිමිපානන් දුටුවේය.

'අනේ හාමුදුරුවනේ කෙල්ලො දෙන්නට බැරි වෙයි නේ ද කුඹුරු ටික බලා ගන්න'.

ගමරාල ඇසුවේය. නාහිමිපානන් නැගිට්ටේ අප්‍රසාදයෙනි.

'සංසාරේ කොට කර ගන්න තොපිට පින් මදි බොලව්"

අත බලා සාස්තරයක් ලබන සතියේ...