|
නමක් නැති මිනිසාගේ නිමක් නැති පෙම් කතා -08නිමක් නැති පෙම් කතා නිම වෙයි
‘අන්ෆොගිවන්’ චිත්‍රපටය වෙනුවෙන් ඔස්කාර් සම්මාන දිනූ ක්ලින්ට් හමුවට KSBW රූපවාහිනී නාළිකාවෙන් නිවේදිකාවක පැමිණියාය. ඒ ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වනු පිණිසය.
රූපවාහිනියෙන් සම්මුඛ සාකච්ඡාව නැරඹූ ක්ලින්ට් ඒ පිළිබඳ තුටු සිත් ඇතිව ඩිනා රුයිස්ට දුරකථනයෙන් කතා කොට තුති පුද කළේය. මේ වන විට ද ක්ලින්ට්ගේ ජීවිතයට ෆ්‍රාන්සෙස් ද, කට කතා නිවැරදි නම් ‘බ්‍රිජස් ඔෆ් මැඩිසන් කවුන්ට්’ හි රඟපෑ මෙරිල් ස්ට්‍රීප් ද ළංව සිටි හෙයින් ඔහුට එතරම් හුදෙකලාවක් දැනුණේ නැත. සම්මුඛ සාකච්ඡාව රූගත කිරීමෙන් වසරකට පමණ පසු ඔහුට නැවත ඩිනා මුණ ගැසුණේ කාමෙල් හි පැවැති උත්සවයකදීය. එම උත්සවයේදී ක්ලින්ට් අසලම අසුන වෙන් කර තිබුණේ ඩිනා රුයිස්ටය. එය අහම්බයක් වුවත් පසුව පෙනී ගියේ එය එක්තරා අන්දමක දෛවෝපගත සිදුවීමක් බවය. ඔවුහු එකිනෙකා සමඟ සාමාන්‍ය ආකාරයට කතාබහ කළහ. ඇගේ කතා විලාසය පිළිබඳ ක්ලින්ට්ගේ සිත ඇදී ගියේය. ක්ලින්ට්ගේ පෞරුෂය, හැසිරීම් රටා හා කතා විලාශය පිළිබඳ ඩිනා රුයිස්ගේ ද සිත ඇදී යන්නට ඇත. එදින ඩිනාගෙන් දුරකථන අංකය ලබා ගත් ක්ලින්ට් ඇගෙන් විමසූයේ ඉඳහිට දුරකථනයෙන් ඇමතුවාට කම් නැති ද කියාය. පසු කලෙක ඔහු කීවේ තමා ඩිනා වෙත ආකර්ෂණය වූයේ ඇය සිනමා නිළියක නොවූ නිසා කියාය. කෙසේ වෙතත් ක්ලින්ට් ඇයට දුරකථනයෙන් ඇමතුවේය. ඇය ද ඔහුට දුරකථන ඇමතුම් ලබා දෙමින් කතා බහ කළාය. ‘මැඩිසන් කවුන්ට්’ රූගත කිරීම් ඇරඹෙන්නට පෙරදා රැයේ ඔවුහු හමු වූහ. ඔවුන් අලුයම පහ වන තුරු එකිනෙකා සමඟ කතාබහ කරමින් සිටියහ. එදින ඔවුන් ගේ ඇසුර කතාබහට වඩා දුර නොගිය බව සත්‍යයකි. ඊට මාස කිහිපයකට පසු ඔවුන් හමු වූයේ පෙබ්ල් බීච් ගොල්ෆ් තරගාලියේදීය.
ඒ වන විට ද ඔහු ඇය මඟ හැරීම අරඹා තිබිණි. සිය ණයවර පත් භාවිත කිරීම ගැන ද සමකාලීනව ඔහු පසු වූයේ ඇය ගැන නොමනාපයෙනි. ‘ඩිනා මගේ මිතුරියක්’ ක්ලින්ට් ෆ්‍රාන්සෙස්ට කෙටියෙන් පිළිතුරු දුන්නේය. ඡායාරූපය පිළිබඳ ඩිනා රුයිස්ගෙන් ප්‍රශ්න කෙරුණු විට ඇය දුන්නේ ද ‘ක්ලින්ට් මගේ මිතුරෙක්’ යන පිළිතුරය. ඩිනා රුයිස් දක්ෂ මාධ්‍යවේදිනියක වූවාය. කතුහලය දනවන ඕනෑම කාරණයක් ගැන තෙරතුරු සෙවීමට ඇයට තිබුණේ උපන් හපන්කමකි. ඇය ක්ලින්ට් හා ෆ්‍රාන්සෙස් ගැන ද දැන සිටි අතර සමහර විට ක්ලින්ට් ඒ වන විට ද ආදරය ප්‍රකාශ කර තිබුණා වන්නට පුළුවන. එහෙත් කාගේ හෝ අනියම් බිරියක වීමේ කැමැත්ත ඇයට තිබුණේ නැත. ආදරය පිළිගන්නට නම් විවාහය සිදු විය යුතු බව ද, ඒ සඳහා ඇති බාධක ඉවත් කර ගැනීම ඔහුගේ යුතුකම බව ද ඇය පවසන්නට ඇත. ඔහු ක්‍රමයෙන් ෆ්‍රාන්සෙස් ගෙන් ඈත් වූයේය. 1995 ඇකඩමි සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වන්නට ක්ලින්ට් පැමිණියේ ෆ්‍රාන්සෙස සමඟ නොවේ. ‘ද බ්‍රිජස් ඔෆ් මැඩිසන් කවුන්ට්’ චිත්‍රපටයේ මංගල දර්ශනයට ඔහු සහභාගි වූයේ ද ෆ්‍රාන්සෙස ් සමඟ නොවේ. ක්ලින්ට්, ෆ්‍රාන්සෙස්ගෙන් වෙන්ව ඇති බව ඒ වන විට හොලිවුඩයේ ප්‍රකට රහසක්ව තිබිණි. ඒ හැර රහස්‍ය කසු කුසු ගෑම්වලින් පැවසුණේ ක්ලින්ට් හා ඩිනා රුයිස් අතර පෙම් සබඳතාවක් පවතින බවය. ‘ද බ්‍රිජස් ඔෆ් මැඩිසන් කවුන්ට්’ චිත්‍රපටය යුරෝපයේ තිරගත වීම අරඹන විට එම උත්සවයට සහභාගි වනු පිණිස එංගලන්තයට යාමට ක්ලින්ට්ට සිදු වී තිබිණි. එම ගමනට ක්ලින්ට් කාමෙල් හි තම මිතුරු විවාහක යුවළ දෙකකට හා ඩිනා රුයිස්ට ඇරියුම් කළේය. සංචාරයේදී එංගලන්තයෙන් ආපසු එන අතර ඔවුහු ප්‍රංශය හා ඉතාලිය යන රටවල ද සංචාරය කළහ.
‘ඇය ඉතා කලාතුරකින් කෙනෙකුට හමුවන සුවිශේෂී කෙනෙක්. ඇය ලස්සනයි. ත්‍යාගශීලීයි. ප්‍රේමණීයයි . . . කෙනෙකුට තමන්ගේ අනෙක් අර්ධය හමු වූ විට ඇතිවන බැඳීම ඉතා ප්‍රබලයි.’ එම ප්‍රකාශය එක අතකට ඩිනාට තම හදවත සම්පූර්ණයෙන්ම විවෘත කර පෙන්වීමක් හා සමාන වූයේය. යුරෝපා සංචාරය හමාර කොට අමෙරිකාවට පැමිණ මසකට පමණ පසු ක්ලින්ට් විවාහ ගිවිස ගැනීම සඳහා දියමන්තියක් ඇල්ලූ මුදුවක් ඩිනාට තිළිණ කළේය. 1996 මාර්තුවේදී දෙදෙන ලාස් වේගාස් හිදී විවාහ වූහ. කොතෙක් කතුන් ඇසුරු කළත් එය ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ දෙවැනි නීත්‍යානුකූල විවාහය වූයේය. වසරකට පසු ඩිනා ක්ලින්ට් හට මෝගන් කොලෙටෙ ඊස්ට්වුඩ් නමැති දියණිය ලබා දුන්නාය. ‘මේ මටම ගැළපෙන කාන්තාවයි. ඇය මා සමඟ සිටියදී මට වෙනත් කාන්තාවන් කුමකටද?’ ක්ලින්ට් ප්‍රශ්න කළේය. කෙසේ වෙතත් සමහර සඟරා ක්ලින්ට්ව හැඳින් වූයේ Man With No Name (නමක් නැති මිනිසා) ලෙස නොව Man With No Shame (ලජ්ජාවක් නැති මිනිසා) යනුවෙනි. ඒ ඔහු සිය ජීවිත කාලය පුරා කාන්තාවන් ඇසුරු කළ හා ඔවුන්ගෙන් ඈත් වූ ආකාරය සලකාය. පෙනී ගියේ ඩිනා ක්ලින්ට්ගේ නියම අර්ධය බවය. මේ වන විට ක්ලින්ට්ගේ වයස අවුරුදු 82 ක් වන අතර 1996 දී ඩිනා හා විවාහ වීමෙන් අනතුරුව නම් ඔහු අනියම් සබඳතා පවත්වා ඇති බවක් වාර්තා වී නැත.
සමාප්තයි |