|
||||
දන්සලක් ළඟින් සොයා ගත් දෝණි
ඔහු මීට ප්‍රථම නිෂ්පාදනය කළ සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ ‘ජීවිතේ ලස්සනයි’ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයක් මේ දිනයේදීම සවස 5.00 ට චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා පරිශ්‍රයේදී පැවැත්වූවා. මාධ්‍ය දර්ශනයෙන් පසුව සියලුම සම්භාවනීය අමුත්තන් ද සහිතව ඔහුගේ නවතම සිනමා නිර්මාණය වූ ‘දෝණි’ හි මුහුරත් උත්සවය පැවැත්වූවා. ‘දෝණි’ අධ්‍යක්ෂණය කරනුයේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයකු වන වී. සිවදාසන් විසින්. දෝණි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වනුයේ කුඩා දැරියකි. මේ සඳහා කුඩා දැරියක් සොයා ගැනීමට අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකවරයා මාස ගණනාවක් වෙහෙස ගත්ත ද එය පසුගිය වෙසක් පොහොය දා වනතුරුම නිශ්ඵල ප්‍රයත්නයක් වී ඇත. පුවත්පත් දැන්වීම් මාර්ගයෙන් දූ දරුවන් පන්සිය දෙනෙකුට වැඩි පිරිසක් සම්මුඛ පරීක්ෂණයට භාජනය කළ ද අධ්‍යක්ෂවරයා සෙවූ ‘දෝණි’ මුණ ගැසී ඇත්තේ අහම්බෙන්. මේ ඒ පිළිබඳ එහි අධ්‍යක්ෂ වී. සිවදාසන් කියූ කතාවයි. ‘දෝණි’ චිත්‍රපටය සඳහා හුරු බුහුටි දැරියක් මම කාලෙක සිටම හොය හොයා හිටියා. ඒත් මට මගේ චිත්‍රපටයට සුදුසු කෙනා මුණ ගැසුණේ නෑ. එත් පසුගිය වෙසක් පොහොය දවසේ කොළඹ මහජන බැංකුව ඉදිරිපිට පැවැත්වුණු දන්සලක් ළඟ මගේ ‘දෝණි’ ඉන්නවා මම දැක්කා. ඒ අනුව තමයි මේ දෝණිව චිත්‍රපටයට හොයා ගත්තේ. ‘දෝණි’ චිත්‍රපටයේ මේ පුංචි නිළියත් සමඟ ප්‍රධාන චරිත සඳහා රංගනයට එක් වනුයේ සංගීතා වීරරත්න හා කමල් අද්දරආරච්චියි. සංගීතා - කමල් දීර්ඝ කලකට පසු ‘දෝණි’ චිත්‍රපටයෙන් යළි සිනමාවට එක්වෙනවා . සංගීතා සිය දියණියගේ උපතින් පසු රංගනයට එක්වෙන පළමුවැනි චිත්‍රපටය වන්නේ ද දෝණියි. මේ තිදෙනාට අමතරව තවත් නළු නිළියන් රැසක් මේ සඳහා රංගනයට එක්වීමට නියමිතයි. ‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම මොහොතේත්, දෝණි මුහුරත් උළෙලේදීත් නිවේදකයා වශයෙන් කටයුතු කළේ එම්. පී. අයි. චිත්‍රපට සමාගමේ වීමාන්න මහතායි. ඔහුගේ කතා ශෛලිය පැමිණ සිටි කාගේත් ප්‍රීති ප්‍රමෝදයට හේතුවක් වූ බව පසක් වූයේ කතාව අතරතුරදී නැගුණු සිනා හඬ, අත්පොළසන් හඬ විසිල් හඬයි. මේ සියලු හඬවල් දසතින් ගලා එද්දී වීමාන්න මහතා පැවසුවේ ‘ඔය හැමෝම හිනා වෙන්නේ, ශබ්ද කරන්නේ මට කතාව නවත්තන්න කියලනේ, මම කතාව නවත්තන්නේම නෑ’ කියා තවත් විනාඩි 5 – 10 ක් ඔහු කතාව ඇදගෙන ගියා.
සංගීත වීරරත්න, කමල් අද්දරආරච්චි, ශ්‍රීයානි අමරසේන, රොබින් ප්‍රනාන්දු, රෝයි - සුමනා, නදීකා ගුණසේකර, සේමිණි ඉද්දමල්ගොඩ, රන්ජන් රාමනායක ඇතුළු ප්‍රවීණ සහ ආධුනික නළු නිළියන් රැසක් ද මේ අවස්ථාවට සහභාගි වී සිටියා. නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු අධ්‍යක්ෂණය – වී. සිවදාසන් කැමරාකරණය - සුජිත් නිශාන්ත (මයියා) කලා අධ්‍යක්ෂණය - සුමිත් හිරාන් ප්‍රනාන්දු සහය අධ්‍යක්ෂණය – කීර්ති රුවන් ලාල්සන් සංගීතය - සෝමපාල රත්නායක නිශ්චල ඡායාරූප – උදේනි අල්විස් අංග රචනය – මනෝජ් ලක්සිරි තිර රචනය – බර්නාඩ් ජයතුංග නිෂ්පාදන සම්බන්ධීකරණය - සුනිල් ධර්මසිරි ගීත ගායනය – නන්දා මාලිනී, බාචි සුසාන්, සුරංජි ශ්‍යාමලී, රවිඳු ලක්ෂාන් ගීත රචනා - සේන ලියනගේ, සුනිල් ධර්මසිරි කැමරා උපකරණ (HD තාක්ෂණය) - ෆයින් විෂන් (රොහාන් වැලිවිට) රංගන ශිල්පීන් – කමල් අද්දරආරච්චි, සංගීතා වීරරත්න, සනත් ගුණතිලක සමඟ පුංචි දරුවන් 20 කට අධික ප්‍රමාණයක්
|
||||