වර්ෂ 2012 ක්වූ මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පැන විසඳුම්

සිනමා, කලා පිළිබඳ ගැටලු විමන්නට ඔන්න නැවතත් අවස්ථාව එළැඹිලා. ඔබ කළ යුත්තේ ඔබේ ගැටලු තැපැල් පත් මඟින් ‘අර්ජුන්ගෙන් පැන විසඳුම්, සරසවිය, ලේක්හවුස්, කොළඹ’ යන ලිපිනයට එවීමයි.

ප්‍රසිද්ධ දේශපාලනඥයකු වූ ගරු එන්. එම්. පෙරේරා මහතා රඟපෑ ‘මන ප්‍රයත්නය’ සිංහල චිත්‍රපටය ගැන යමක් දැන ගැනීමට කැමැත්තෙමි.

කමලා සෙනෙවිරත්න – හෝකන්දර

මන ප්‍රයත්නය කියන චිත්‍රපටයේ එන්. එම්. පෙරේරා රඟපෑවේ නැහැ. මන ප්‍රයත්නය යනු සිංහල දෙබස් කවන ලද තෙළිඟු චිත්‍රපටයක්. ආචාර්ය එන්. එම්. පෙරේරා මහතා රඟපෑවේ යැයි කියන්නේ රාජකීය වික්‍රමය චිත්‍රපටයේ. එම යුගයේදී සිනමාවට ශබ්දය හඳුන්වා දී තිබුණේ නැහැ.

පැරැණි ජනප්‍රිය සිංහල චිත්‍රපටවල ගීත නිකුත් කළ මරදානේ ශාන්ති හා ආනන්ද පොත්හල් තවමත් තිබේද? එමෙන්ම ජෙම්ටෝන් හැර චිත්‍රපට ගීත තැටි නිකුත් කළ වෙනත් සංගීත ආයතන මොනවාද?

ලෙනාඩ් ප්‍රනාන්දු – දූනගහ

මෙම පොත් සාප්පු දෙකම අසූ තුනේදී විනාශ වුණා.

ජෙම්ටෝන් හැරුණු විට සූර්යයා, එච්. එම්. වී., කොලොම්බියා වැනි ආයතන රැසක් ගී තැටි නිකුත් කළා.

එච්. ආර්. ජෝතිපාල ගායනා කරන ‘මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇති’ ගීතය ඇතුළත් චිත්‍රපටය කුමක්ද?

යූ. ජී. පාලිත කුමාරසිංහ – ගඩලාදෙණිය

හොඳයි නරකයි චිත්‍රපටයට.

දැනට වසා දමා ඇති සිනමාහලක ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට එම සිනමාහලේ හිමිකාරීත්වයට අයිතියක් නැතිද?

සමන් ගාල්ලගේ – කැටපල

සිනමාහලක් සහිත ගොඩනැගිල්ලක් ඉවත් කර නැවත ගොඩනැගිල්ලක් ඉදි කරනවා නම් අනිවාර්යයෙන්ම තිබූ ප්‍රමාණයේම සිනමාහලක් ඉදි කළ යුතු යැයි නීතියක් තියනවාලු. කෙසේ වෙතත් ලංකාවේ සිනමාහල් කැඩූ තැන්වල නැවත ගොඩනැගිලි ඉදි කළ හැම තැනම ඒ නීතිය බලනොපෑවේ ඇයිදැයි මා දන්නේ නැහැ.

සමහර ස්ථානවල අලුතෙන් ඉදි වී ඇති සිනමා ශාලා පැරැණි ප්‍රමාණයේ ඒවා නොවේ. කොළඹ එම්ෆයර් සිනමාහල, වැල්ලවත්ත ප්ලාසා සිනමාහල යන ස්ථානවල අලුත් ගොඩනැගිලිවල අලුත් සිනමාහල් නැහැ.

අනුරාධපුරයේ නිව් විජේන්ද්‍ර සිනමාහල තිබූ ස්ථානයේ අලුතෙන් හැදුනෙත් බැංකුවක්.

1947 සිට මේ දක්වා තිරගත කළ සිංහල චිත්‍රපට අතරින් නිෂ්පාදන වියදම පවා උපයා ගැනීමට නොහැකි වූ චිත්‍රපට තිබේද?

ෆෙ‍්‍රඩී ප්‍රනාන්දු – කල්දෙමුල්ල

එහෙම චිත්‍රපට තියෙනවා. තුන්වැනි සිංහල චිත්‍රපටය වූ දිව්‍ය ප්‍රේමයේ සිට සෑම සාර්ථක චිත්‍රපටයක් පසුපසම අසාර්ථක චිත්‍රපට දෙකක්වත් තිරගත වූ බව නොරහසක්.

වන් ෂොට් වන් චිත්‍රපටයේ විදුහල්පති ලෙස රඟපෑවේ කවුද?

මහින්ද වෑකඩ - බෙලිගල

ඔහු රංජිත් පෙරේරා, දැනට ජීවතුන් අතර නැහැ.

ගාමිණී ෆොන්සේකා මහතාගේ රංගන පරාසය ගැන රසික පැනයට ඔබ පිළිතුරු දී තිබුණේ ගම්පෙරළිය ජිනදාස හා යුගාන්තයේ සවිමන් කබලාන යන්නයි. පරසතු මල්වල බොනී මහත්තයා හා නිධානය හි විලීගේ චරිත ගාමිණීගේ රංග භූමිකාවේ ප්‍රමුබතම රංගනය බවයි මගේ හැඟීම. එය ඔබ අමතක කළේ ඇයි?

කරු මන්දාවල – නාත්තන්ඩිය

මා හිතාමතාම ගාමිණී රංගනයෙන් ඔපවත් කළ කිසිම චිත්‍රපටයක් අමතක කළේ නැහැ.

මගේ කෙටි උත්තරයෙන් එකින් එක විග්‍රහ කළේ නැහැ. ගාමිණීගේ රංග පරාසය ගැන කියන්න තියෙන හොඳම උදාහරණය නම් ජිනදාස හා සවිමන් කබලාන යන්නෙන් මා අදහස් කළේ කෙසඟ ජිනදාස හා ප්‍රතාපවත් සවිමන් කබලාන නමැති අන්ත දෙකේ චරිත පරාසය ගාමිණී කළ රඟපෑමයි.

අනෙක් ඔහු රඟපෑ සියලුම චරිත මේ පරාසය තුළ කැටි කරන්නට හැකියි. මන්ද යත් මේ සිංහල සිනමාවේ ආ චිත්‍රපට ත්‍රිත්වයක දෙඅන්තයක චරිත යුගලයක් රඟපෑවේ එකම නළුවෙකු යැයි කිසිවෙකුට කියන්නට නොහැකි බැවිනි.

විලී අබේනායක පමණක් නොව ගාමිණී රඟපෑ වික්‍රම රන්දෙණිය, ධාරා, බොනී මහත්තයා ඇතුළු අනෙකුත් චරිත මේ පරාසය යටතේ විග්‍රහ කළ හැකියි.

කලක් ලංකාව කැලඹ වූ කැලැත්තෑවේ අපරාධ මංකොල්ලවලට ප්‍රසිද්ධ සොයිසා යනු දෛවයෝගය චිත්‍රපටය තැනූ සොයිසා සහෝදරයන්ගෙන් කෙනෙක්ද?

මල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස්

ඔව්, මට හිතෙන්නේ දෛවයෝගය කියන්නේ ඒකටයි. අවුරුදු දහයකට කලින් දකුණු ඉන්දියාවේ නොව උතුරු ඉන්දියාවේ පූනා නගරයේ කලාත්මක චිත්‍රපට තැනූ ප්‍රභාත් චිත්‍රාගාරයේ හොඳම සිංහල චිත්‍රපටයේ නිෂ්පාදක වීමේ අදහසින් දෛවයෝගය තනන්නට ගිය නිෂ්පාදකවරයෙක්, එමෙන්ම උතුරු ඉන්දියාවේ ඉතාම විශිෂ්ට සංගීතඥයකුත් යොදා ගත්තා මෙන්ම හොඳම සාහිත්‍ය කෘතිය සිනමාවට නගන්නට උත්සාහ කළ නිෂ්පාදකවරයෙක් හැටියට ඔහුගේ කලා රසිකත්වය කොපමණ මට්ටමක තියෙනවාදැයි සිතෙන්නට ඇත්ද? හේතුව දෛවයෝගය කෘතිය තෝරා ගැනීම, එහි නිෂ්පාදනය පිළිබඳ පසු කතන්දරත්, මාහැඟි චිත්‍රපටයක් කිරීමේ උනන්දුව ප්‍රකටව තිබුණු බව පෙනී යන්නක්.

ඒත් අවුරුදු දහයකට පසු කැලැත්තෑවේ බිහිසුණු අපරාධවලට සම්බන්ධ වෙන්නේ එයින් එක් අයෙක් වීමද දෛවයෝගයකැයි මට සිතෙයි.

සිංහල සිනමාවට මේ වන විට වැඩිම චිත්‍රපට ගණනක් නිර්මාණය කළ අධ්‍යක්ෂ හා නිෂ්පාදක කවුරුන්ද?

මිල්ටන් ප්‍රනාන්දු - උතුරු මූදුකටුව

අධ්‍යක්ෂක සුනිල් සෝම පීරිස්. නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු.

සිංහල සිනමාවේ නළුවකු වූ ශෂී විජේන්ද්‍ර දැන් කෝ?

කවිඳු ඩී. රාජගුරු - කුරුණෑගල

ඔහු දැන් සිනමාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා. ශෂී විජේන්ද්‍ර නමවත් භාවිත කරන්නේ නැහැ. දැන් ඔහුගේ සැබෑ නම වන හනීෆා මොහොමඩ් නමින් පෙනී සිටිනවා.

එම්. ජී. රාමචන්ද්‍රන්, ජෙයි සංකර්, සත්‍යරාජ්, කමල් හසන්, රජිනි කාන්ත් කෙතරම් වීර චරිත රඟපෑවත් අපේ චණ්ඩියගේ අහලකින්වත් ඔවුන්ට යා හැකිද?

ලක්ෂ්මන් රණසිංහ - හේකිත්ත

අපේ චණ්ඩියා දැක්කම ඔය පුස් ලෝඩන් වීරයෝ ඔක්කොම මට දැනෙන්නේ ස්ත්‍රීන්ටත්, පුරුෂයන්ටත් අතරමැදි කට්ටියක් ලෙසයි.

ද්‍රවිඩ සිනමාවේ පැරැණි නළු ජෙමිණි ගනේෂන් විවාහ වී සිටියේ කා සමඟද?

වියානි ගුණවර්ධන - වෙන්නප්පුව

ජෙමිනි ගනේෂන් නීත්‍යානුකූලව විවාහ වී සිටියේ අලමේලු ගනේෂන් සමඟ පමණයි. 1940 විවාහ වූදා සිට ඔහු 2005 දී මිය යන තුරු නීත්‍යානුකූල බිරිඳ වූයේ ඇයයි. එහෙත් ජනප්‍රිය පුෂ්පවල්ලි හා සාවිත්‍රි යන දෙමළ නිළියන් සමඟත් ඔහු නීත්‍යානුකූල නොවන විවාහ දිවියක් ගත කළා. අවසාන කාලයේදී ඔහුගේ භාර්යාව වූයේ ජුලියානා නම් දහනව හැවිරිදි යුවතියයි. අතිශය ජනප්‍රිය නිළි රේඛා යනු ජෙමිනිට දාව පුෂ්පවල්ලි ලද දියණියයි. දෙමළ සිනමාව ඔහු හඳුන් වන්නේ ‘කාදල් මන්නන්’ හෙවත් ආදර රජු ලෙසයි.

දවස නිවසින් බිහි කළ ‘විසිතුර’ පුවත්පතේ කර්තෘත්ව ය දැරුවේ කවුද? ඔහු ලැබූ සරසවිය සම්මානය කුමක්ද?

ඩඩ්ලි ගෝමස් – මොරටුව

ආතර් යූ අමරසේන මහතායි. සරසවිය සිනමා උළෙල සිනමා සාහිත්‍ය වෙනුවෙන් පිදෙන රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සම්මානයෙන් ඔහුව පිදුවා.

(අර්ජුන්)