|
ඈ බොල උඹ කැප් එකෙන් ලෙන්ස් එක වහලා
සරසවිය පුවත්පතේ ගෙවුණු අතීතය පිළිබඳ එහි එදා වැජඹුණු ජ්‍යෙෂ්ඨයන් පවසන තොරතුරු ගොනු වූ ලිපි මාලාවේ සරසවිය පුවත්පතේ හිටපු ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පී රෙජී බුලත්සිංහල පිළිබඳ ලියන ලද ලිපියේ අවසන් කොටස අද පළ වේ. තට්ටු ගොඩනැගිලිවල සිටි සමහරු අපට මුදල් ආධාර ලබා දුන්නේ මුදල් පහලට විසි කිරීමෙන්ය. එදා එලෙස බිමට දැමූ සල්ලි කොළ, කාසි අහසේ පාවී ඇවිත් බිමට වැටෙන හැටි මම ඡායාරූප ගත කළෙමි. නළු නිළියන් සමඟ ගංවතුර ආධාර එකතු කිරීමේ මෙම කටයුත්තට ඉහළ ජනතා ප්‍රසාදයක් ලැබිණි. සමහරු නළු නිළියන් කැටයක් ඇල්ලුවොත් අතේ තියෙන කීය හරි කැටයට දැමීමට මිනිසුන් ලෝභ වූයේ නැත. එම කටයුත්තෙන් විශාල මුදලක් එකකු කර ගංවතුර ආධාර සඳහා පරිත්‍යාග කිරීමට ලේක්හවුස් ආයතනයට හැකියාව ලැබිණ. ගංවතුර ආධාර එකතු කරන්න ගිය දවස ද මට අමතක නොවන දිනයකි. මේ දිනයට ආසන්න දින කීපයක සිට මට නිතර ලේක්හවුස් එකට නිර්නාමික දුරකථන ඇමතුම් කීපයක් ලැබිණි. බොහොමයක් ඒවා පැමිණියේ නිළියන් සම්බන්ධ කරමිනි. මේ සියලු දුරකථන ඇමතුම් මාව නොමඟ යවන ඒවා විය. ඒ කාලයේ මෙවැනි ඇමතුම් දීමේ රුසියකු වූ ටෝනි රණසිංහ මට නිතර නිතර වෙනත් කටහඬවල්වලින් ඇමතුම් දීම සිරිතක් විය. නවනන්දන විජේසිංහ ද හඬ වෙනස් කර මා හට මෙවැනි ඇමතුම් දීමට රුසියෙකි. මෙවැනි ඇමතුම්වලින් හෙම්බත් වී සිටි මා නළු නිළියන් සමඟ ගංවතුර ආධාර එකතු කිරීමට එදා පිටත්ව ගියෙමි. දහවල් කාලයේ විවේක ගැනීම සඳහා නාරාහේන්පිට කිරුළ පාරේ සිලෝන් ස්ටුඩියෝ එකට ගියෙමි. මේ වෙලාවේ එතනට දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ කතා කර තිබුණේ එවක සිළුමිණ ප්‍රධාන කර්තෘවරයා වූ එස්. සුබසිංහ මහතාය. ඔහුගේ කඩහඬ වෙනස්ම ආකාරයක් ගත්තේය. ඔහු මට කීවේ ගංවතුර ආධාර එකතු කරන පින්තූර කීපයක් ඔහුට ද ලබා දෙන ලෙසය. මීට පෙර ද ඔහුගේ කට හඬට සමාන හඬින් විවිධ දුරකථන ඇමතුම් ලබා දී තිබූ නිසා මෙය ද එවැන්නක් කියා මා අදහස් කළ හෙයින් මා පරුෂ වචනයෙන් මගේ කේන්තිය නිම වෙන තුරු බැන දුරකථනය තැබුවෙමි.
ඒ කාලේ හරි අපූරු සිද්ධි කීපයක් මට වුණා. මම අද කාලේ වගේ නෙමේ. එදා නළුවකු වූ ආනන්ද ජයරත්නට සමාන හැඩ හුරුකමක් තිබුණා. සමහර චිත්‍රපටවල ආනන්ද ජයරත්න රඟපා වැඩ ඉවර කරන්න නොයන චිත්‍රපට සඳහා මාව යොදා ගන්නත් සමහර නිෂ්පාදකයන් මට කතා කළා. ඒත් ඒ වැඩේට මම එතරම් ප්‍රිය කළේ නෑ. දවසක් රන්සළු චිත්‍රපටය රූපගත කිරීම් ඉවර කරපු දවසක මට විමලසිරි පෙරේරා කිව්වා පුණ්‍යාගේ පින්තූර ටිකක් කරන්න කියලා. මම ඇයව සොයාගෙන මීරිගම ගෙදරට ගියා. හොඳ පින්තූර ටිකක් එහෙම කළාට පස්සේ පුණ්‍යා මගෙන් ඇහුවා නම මොකක්ද කියලා. මම කිව්වා රෙජී බුලත්සිංහල කියලා. පත්තරේ නම දැකල තිබුණට මම අද වෙනකල් හිතන් හිටියේ ඔයත් අනිත් කට්ටිය වගේ ඕල් මෑන් කෙනෙක් කියලා. ඔයා වගේ හැන්ඩ්සම් අය තවත් ඔතන ඉන්නවද කියලත් එදා පුණ්‍යා මගෙන් ඇහුවා. දවසක් හතර වංශයේ හතර දෙනා චිත්‍රපටයේ රූපගත කිරීම් සදහා මාව විමලසිරි පෙරේරා යැව්වා. චිත්‍රපටයේ රූපගත කිරීම් තිබුණේ රත්මලානේ සර් ජෝන් කොතලාවල මහතාගේ කඳවල වලව්වේ. රූපගත කිරීම් සිදු වෙන අතරේ වලව්වේ තරප්පු පෙළ බැසගෙන පහළට ආවේ සර් ජෝන් කොතලාවල මහත්තයා. ඔහු පහළට බහින වෙලේ රූපගත කිරීම් තේ විවේකය සඳහා නතර කරලයි තිබුණේ. සර් ජෝන් තරප්පු පෙළ බැහැගෙන එන විට ඒ අසල සිටියේ පර්ල් කුරේ. මමත් ඒ කිට්ටුවම තමයි හිටියේ. සර් ජෝන් මගෙන් ඇහුවා කොලුවෝ මට මෙයත් එක්ක (පර්ල් කුරේ සමඟ) පින්තූරයක් අරන් දෙන්න පුළුවන් ද කියලා. මම පුළුවන් සර් කිව්වා. එහෙනම් ගනින් කියලා පර්ල් කුරේගේ කරට අත දැම්මා. මම හනිකට කැමරාව අරන් පින්තූරය ගන්න හදන කොටම සර් ජෝන් කෑගැහුවා ඈ බොල උඹ කැප් එකෙන් ලෙන්ස් එක වහලා පින්තූරෙට මගෙ කොහෙද ගන්නේ කියලා. වෙලා තිබුණේ සර් ජෝන් තකහනියේ හදිසියේ පින්තූර ගන්න කිව්වහම මමත් කලබලේම කැමරාවේ ලෙන්ස් කැප් එක අයින් කරලා නෑ. හනිකට මමත් ගැහි ගැහී කැප් එක අයින් කරලා පින්තූර කීපයක් ගත්ත. ඊට පස්සේ සර් ජෝන් ආපසු හැරිලා පර්ල් කුරේ එක්ක පඩි පෙළ නගින ගමන් ආයෙත් මට කොලුවෝ මෙහෙමත් පින්තූර ටිකක් ගනින් කිව්වා. ආයෙත් මම ඒ විදියටත් පින්තූර කීපයක් ගත්තා. සර් ජෝන්ට හරිම සතුටුයි. අපේ මුළු චිත්‍රපට කණ්ඩායමටම සර් ජෝන් ගානේ ඊට පස්සේ ටී පාටියක් විතරක් නෙමේ, මධුවිත තොලගාන අයටත් ඉස්තරම්ම බීම හිතේ හැටියට ලැබුණා. මා වර්ණ කවරයක් මුලින්ම ගත්තේ රන්මුතු දූව චිත්‍රපටයේ ජීවරාණිගේ කවරයකි. මා හට දිය යට කිමිදී තරමක් දුර ගොස් කැමරා කිරීමේ හැකියාවක් ද තිබුණි. ලංකාවේ මුල්ම වර්ණ චිත්‍රපටය වූ රන්මුතු දූව රූපගත කිරීම සඳහා වර්ණ දල සේයාපට ගෙනවිත් තිබුණි. මා එයින් කැබැල්ලක් මගේ කැමරාවට දැමීමට ඉල්ලා ගත්තේය. එයින් මා ජීවරාණිගේ පින්තූරයක් ගතිමි. ඒ වකවානුවේ වර්ණ පින්තූර මුද්‍රණය සඳහා මෙහි පහසුකම් ද නොවීය. මා ගත් මේ පින්තූරය එදා වර්ණයෙන් මුද්‍රණය කිරීමට සරසවියට අවශ්‍ය විය. ඒ සඳහා දල සේයා පට ගෙනවිත් තිබූ කොම්පැණියට ගියෙමි. ඔවුන් එය භාරගෙන එදිනම එය තලේමන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවේ පූනායි වෙත ඇරියේ මුද්‍රණය සඳහාය. පසු දිනම එය මුද්‍රණය වී අප අතට පත් විය. ඒ පින්තූරයත් සමඟ බ්ලොක් මැෂිමක් එම කොම්පැණිය ගානේ ලේක්හවුස් එකට ලැබිණි. මා හට පින්තූර ගැනීම පමණක් නොව රී ප්‍රින්ටින් කිරීමේ උපන් හැකියාවක් ද තිබුණි. මේ නිසාම මා හට ඡායාරූප ශාලාවලින් ද ඉල්ලුමක් තිබුණි. මම කවදාවත් පින්තූර ගැනීමේදී ෆෝකස් කිරීමක් කළේ නැත. මා හට කැමරාව අල්ලන විධියෙන් පින්තූරයේ අගය වැඩි වන ලෙස ගැනීමත් මා අත්දැකීමෙන් ලත් දැනුමක් තිබුණි. මා පින්තූර ගන්නා මේ ක්‍රමය නිසාම කරංජියා ද පුදුම වී ඔහුගේ කැමරා ශිල්පියා වූ චවුඩාව මෙහි ගෙන ආවේ මේ පුදුම සහගත දේ පෙන්වීමටය.
චිත්‍රපට රූපගත කිරීමකදී චිත්‍රපට කැමරාව ස්ථානගත කරන තැන් පිළිබඳ මුලින්ම
අධ්‍යයනයක් කරමි. ඒ සහාය චිත්‍රපට කැමරාකරුවන්ගෙන්ද මා හට උපරිමයෙන් ලැබිණි. ඒ අනුව
රූපගත කිරීමේදී මා මගේ අත් කැමරාව මෙහෙය වීම සිදු කළෙමි. එය සැබැවින්ම තාත්වික
පින්තූර ගැනීමට ලොකුª රුකුලක් විය. රටේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයෝ ද එවක මාව හොඳින් හඳුනා ගෙන තිබුණි. බොහොමයක් අයගේ පින්තූර මා අතින් ගනු ලැබීය. ඩඩ්ලි සේනානායක මහතාට ඒ වකවානුවේ පින්තූර ටිකක් ගැනීමට අවශ්‍ය වූ විට මා හට පණිවිඩයක් එවා කර ගත්තේය. 2004 වසරේදී කුරුණෑගල බස් නැවතුම්පලේදී කොන්ක්‍රිට් ලෑල්ලක් කඩාගෙන මාව කාණුවකට ඇද වැටුණි. එහිදී මගේ කකුල කීප පලකින් කැඩී ගොස් වසරක් පමණ මා රෝහලේ එක තැන ප්‍රතිකාර ගතිමි. අද ඒ තුවාල සුව වුව ද මගේ කකුලේ ආබාධය අදටත් මට ඇති කරන්නේ දැඩි අපහසුතාවයකි. නිමල් පෙරේරා අබේගුණවර්ධන මහතා මා අසරණ වූ විට මා හට සෑම මසකම රුපියල් හාර දහසක් ලබා දුනිමි. ඔහු මිය යන තුරුම ඒ මුදල මා වෙත සෑම මසකම ලබා දුනිමි. මම උපතින් කතෝලිත බැතිමතෙක් වෙමි. මුලින්ම විජය කුමාරතුංගගේ පින්තූර ගැනීමේ භාග්‍යය මා හට උදා වූ හෙයින් එය මගේ ජීවිතයේ අමතක නොවන සිද්ධියක් බවට පත් විය. විජය කුමාරතුංග ගේ පින්තූර ගත්තේ මුලින්ම මම බව දන්මෝ දනිති. එවන් දැනගැනීමක් නිසා මා හට පිහිටක් ද ලැබුණි. සීදුවේ විජය කුමාරතුංග රෝහලට මාගේ ඇසේ ආබාධයකට මම ප්‍රතිකාර සඳහා ඇතුළත් වුණෙමි. එහි සිටි හෙදියක් මාගේ නම දැනගෙන විජය කුමාරතුංගගේ මුල්ම පින්තූර ගත්තේ ඔබදැයි මගෙන් ඇසුවේය. මා ඒ බව ඇයට කිවු පසු ඇය රෝහලේ ප්‍රධාන දොස්තර මහතාට මේ බව කීමෙන් එහි ප්‍රධාන දොස්තර මහතා මගේ ඇසට කළ යුතුව තිබූ සැත්කමත් සිදු කර ඇසට කාචයක්ද දමා දුන්නේය. අද මගේ ඇසකට පෙනීම ලැබී ඇත්තේඒ විජය කුමාරතුංග රෝහලෙන් මගේ ඇසට දමන ලද කාචය නිසාය. එදා දොස්තර මට මෙහෙම කතාවක් ද කිව්වා මතකය. රෙජී එදා විජයගේ පින්තූර ගත්තේ මේ ඇස් දෙකෙන්. පසුව ජනකාන්ත නළුවකු වූ ඒ විජය සිහි කරලා මේ තනල තියෙන රෝහලෙන් එදා විජයගේ මුල්ම ඡායාරූප පෙළ අරන් විජයව රසිකයන් අතරට ගෙනා රෙජීට විජයගේ නාමයෙන් සුවපත් කරන එක අපේ යුතුකමක්. මා කවදාවත් මෙවැන්නක් පෙරලා බලාපොරොත්තුව කාගේවත් පින්තූර නොගත්තෙමි. මම රැකියාව ලෙස ඡායාරූප ගතිමි. ඒ ඡායාරූප අතරේ නිළි රැජිනියෝ, ජනකාන්ත නළුවෝ ද විය. මා සරසවිය වැඩ කරන කාලයේ ලේක්හවුස් සභාපතිවරයා වූයේ රංජිත් විජයවර්ධන මහතාය. කවදාවත් අපි දෙදෙනා කතාබස් කර නොතිබුණ ද ලේක්හවුස් පිය ගැට පෙළේදී කීප වරක් මා හට රංජිත් විජයවර්ධන මහතා මගේ පිටට තට්ටුවක් දමා ලස්සන පින්තූර කීපයක් පත්තරේ දැක්කා. තවත් හොඳට පින්තූර ගන්න කියලා අවස්ථා කීපයකදීම මට කීවා මතකය. එදා චිත්‍රපටවල රඟපෑ නළු නිළියන්ට වඩා පිළිගැනීමක් චිත්‍රපට නිෂ්පාදකවරු අධ්‍යක්ෂවරු අතර අපට තිබුණි. සමහර නළුවන් නිළියන් චිත්‍රපට සඳහා ඔවුන්ව සම්බන්ධ කර ගන්නා ලෙස නිෂ්පාදකවරුන්ට, අධ්‍යක්ෂවරුන්ට හඳුන්වා දෙන ලෙස අපෙන් ඉල්ලීම් කළ අවස්ථා ද ඕනේ තරම් තිබුණි. එදා සරසවිය පත්තරයේ නළුවෙකුගේ හෝ නිළියකගේ තම පින්තූරය පළවෙනවා කියන්නේ රටක් රාජ්‍යයක් ලැබුණා වැනිය. අද මෙන් එදා සිනමාව සඳහා විවිධ වූ පත්තර නොතිබුණි. විශාල පාඨක පිිරිසක් සඳහා අලෙවි වූ සරසවිය එදා නළුවන් නිළියන් සිනමාවට කැන්දාගෙන එන්නට ලොකුª අත්වැලක් විය. සරසවිය නිසා මට සිංහල සිනමාවට නිළි රැජනක් හඳුන්වා දෙන්නට ලැබිණි. ජනකාන්ත නළුවන් ද ඒ අතර විය. එදා අතීතය දෙස වසර පණහක් සපිරී සිටින සරසවියේ සිට බලන විට මා සිත තුළ සතුටක් උපදින්නේ මේ සිංහල සිනමාවට අපිත් යම් දෙයක් කළා කියන හැඟීම පමණයි.
|