ඇලිස් ගයිගේ පරම්පරාව
අද මාර්තු 08 වැනිදායි. 1977 වසරේ සිට එක්සත් ජාතින්ගේ සංවිධානය අද දවස වෙන්
කරන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය හැටියට ය. එයට පෙර ද ලෝකයේ විවිධ රටවල කාන්තා දිනය
ලෙස තම හිතුමතයට දවසක් යොදාගෙන සැමරුව ද දැන් එය සමරනුයේ මාර්තු 08 වැනිදා ටය.
අද ලෝකයේ රට පාලනය කිරීමේ සිට බොහෝ විවිධ වගකීම් සහිත තනතුරු කාන්තාවන් හෙබවුවද
සිනමාව වැනි කර්තව්‍යයක තවමත් නිර්මාණශීලි පාර්ශවයෙන් කාන්තාවන් දායක වනුයේ අඩුවෙන්
බැව් ලෝක සිනමාව සැසඳීමේ දී මනාව පෙනෙන්නකි. එයට හේතුව වනුයේ නිර්මාණය කවරතරම්
සුන්දර වුවද සිනමාව යනු ඉතා දුෂ්කර කටයුත්තක් නිසාවෙන් දැයි මම නොදනිමි.
65 වසරක් ගෙවුණ සිංහල සිනමාවේ අධ්‍යක්ෂවරියන් ලෙස සඳහන් වනුයේ සය දෙනෙකු පමණී. එනම්
පිළිවෙළින් ගතහොත් ෆ්ලොරිඩා ජයලත්, රූබි ද මැල්, සුමිත්‍රා පීරිස්, මාලිනී
ෆොන්සේකා, ඉනෝකා සත්‍යාංගනී සහ මොරීන් චාරුනී පමණී. මේ අතරින් සිව්දෙනෙකුම සිනමා
නිළියන් වූ අතර එයින් ද නිළි රැජන මාලිනී හැරුණ විට සෙසු නිළියන් සියල්ලම චිත්‍රපට
තැනුවේ එකක් බැගිනි. මාලිනිය සිනමාවට අමතරව ටෙලි නාට්‍යකරණයට ද පිවිසියා ය.
සුමිත්‍රා පීරිස් යනු මුල්වරට මෙරට සිනමාවට කාර්මික අංශයෙන් දායක වූ තැනැත්තියයි.
සංදේශය චිත්‍රපටයට සහාය අධ්‍යක්ෂිකාව ලෙස දායක වූ ඇය අනතුරුව සම්මානනීය සංස්කරණ
ශිල්පිණියක ද වූවාය. ඉනෝකා සිය මුල්ම චිත්‍රපටයෙන් ම ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර
වූවාය. සුමිත්‍රා පීරිස් සහ ඉනෝකා සත්‍යාංගණී යන දෙදෙනාම සරසවිය සම්මානයෙන් හොඳම
අධ්‍යක්ෂිකාවන් හැටියට සම්මාන දිනා ගත්හ. ඉනෝකා වසර ගණනක් පෙරුම්පුරා සිය දෙවන
චිත්‍රපටයේ වැඩ මේ වනවිට නිම කොට ඇත්තීය.
සුමිත්‍රා පීරිස් මහත්මිය ඇයගේ නවතම
චිත්‍රපටයේ රූ ගැන්වීම් කරමින් සිටින්නීය. කලකට ඉහත රජයේ චිත්‍රපට අංශය වෙනුවෙන්
වාර්තා චිත්‍රපට රැසක් තැනූ සුසීමා දමයන්ති මෙන්ම මෙරට වත්මන් වාර්තා සිනමාවේ ඉහළම
නමක් රැන්දූ අනෝමා රාජකරුණා වෘතාන්ත සිනමාවට දායක වූයේ නැති නමුදු මෙහිලා නම් සඳහන්
කළ යුතුව ඇත.
කෙසේ වෙතත් ලෝක සිනමාව හා සසඳද්දී ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හෝ ඇකඩමි සම්මාන උළෙලේ
හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය කාන්තාවන් දිනා ඇත්තේ එක් වරක් බැගින් පමණක් වීම
කැපී පෙනෙන්නකි. ඇකඩම් සම්මාන උළෙලේ ඉතිහාසයට ම එම සම්මානය දිනා ගත්තේ ගිය වසරේ ය.
ඒ හාට්ලොකර් චිත්‍රපටය වෙනුවෙන් කැත්රින් බිග්ලොව් දිනාගත් සම්මානයයි. ෆිල්ම්
ෆෙයාර් ඉතිහාසයටම එම සම්මානය කාන්තාවක් දිනා ගත්තේ මේ වසරේ ය. ඒ සින්දගී නා
මිල්ලෙගී දෝබරා චිත්‍රපටය වෙනුවෙන් සෝයා අක්තාර් දිනාගත් සම්මානයයි.
එහෙත් සිනමා ඉතිහාසයේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ පළමු කාන්තාව වීමේ වාර්තාව
පැරැණි එකකි. එම වාර්තාවට හිමිකම් කියන්නිය ඇලිස් ගයි නම් වන්නී ය. ඇය කලක් ඇලිස්
ගයි බ්ලාච් නමින් ද හැඳීන් වූවා ය. ඒ ඇයගේ එකම විවාහය වූ හර්බට් බ්ලාච් සමඟ විවාහ ව
සිටි කාලයේ ය. ඇලිස් සිනමාවට එක්වනුයේ සිනමාව සිය බහ තෝරන අවදියේ ය. 1873 වසරේ දී
සුවිසල් පොත්හල් සමූහයක් හිමි මාපිය යුවළකට දාව චිලී රාජ්‍යයේ දි උපත ලද ඈ පසුව
හැදුණේ ස්ව්ට්සර්ලන්තයේ ය.
ඒ ඇයගේ මිත්තණිය සමීපයයේ ය. පසුව ප්‍රංශයේ ඉගැනුම ලැබූ
ඇයගේ මුල්ම රැකියාව වූයේ ලියෝන් ගෝමේන් නම් ප්‍රංශ ව්‍යාපාරිකයාගෙ ් ලේකම්වරිය
හැටියට ය. එපමණක් නොව මේ අවදියේ ඇය නිශ්චල ඡායාරූපකරණය ද ප්‍රගුණ කළා ය. මේ ලියොන්
ගෝමේන් යනු සිනමා ඉතිහාසයේ එසේ මෙසේ කෙනෙකු නොවන්නේ ය.
සිනමාව ඇරැඹූ මුල් යුගයේම
එහි ව්‍යාපාරික වටිනාකම වටහාගත් ප්‍රංශ ජාතිකයන් අතරින් කෙනෙකි. කොටින්ම අද ද පවතින
ලොව පැරැණිතම සිනමා සමාගම් දෙකින් එකක් වන ගෝමන් සමාගමේ නිර්මාතෘවරයා ඔහු ය. අනෙක්
සමාගම නම් ප්‍රංශයේම පාතේ ෆෙරර්(සහෝදරයෝ) සමාගමයි. ගෝමන් පසු කලක සිය චිත්‍රපට
සමාගම අරඹද්දී ඇලිස් ද එහි සේවයට ගියා ය.
ඒ වනවිටත් එනම් 1897 වනවිටත් ඇය ද කැවේජ්
ෆේරි නමින් තනි රීලයක චිත්‍රපටයක් තනා තිබුණා ය . ඒ ද ලියෝ ගෝමන් වෙනුවෙනි. ගෝමන්
චිත්‍රාගාරයේ පරිපාලිකා වූයේ ඇයයි. 1906 වසරේ දී ඇය සිය මුල්ම වෘතාන්තය නිර්මාණය
කළා ය . එය අතිරේක නළු නිළියන් 400 ක පමණ දායක කරගත් දැවැන්ත චිත්‍රපටයක් විය. මේ
චිත්‍රපටය ද ලයිෆ් ඔෆ් ක්‍රයිස්ට් ය. එය අතිශය සාර්ථක චිත්‍රපටයක් විය. පැරිසියේදී
එය නැරැඹූවන් අතර එක් අයෙක් වූයේ ඉන්දියානු ජාතික දාදා සහාබ් පාල්කේ ය. පාල්කේ ඉන්
කෙතරම් වසඟවූයේ ද යත් එයින් පසු යළි මව්රට පැමිණ තම බිරියගේ කනකර උගස් කොට
ඉන්දියාවේ පළමු චිත්‍රපටය වූ රාජා හරිශ්චන්ද්‍ර නිර්මාණය කළේ ය.
පසුව ගෝමන් සමාගමේ කටයුතු වෙනුවෙන් අමෙරිකාවට ගිය ඇලිස් එහි සමාගමේ නියෝජිතවරයා වූ
හර්බට් බ්ලාච් සමඟ විවාහ වූවාය. පසුව ඇය සිය සැමියා සමඟ සොලක්ස් සමාගම ගොඩ නැංවූවේ
එයින් පසුව ය. එවකට සුන්දර වනපෙතක් සහිත හොලිවුඩ් පෙදෙස්හි මුලින්ම චිත්‍රපට රූගැන්
වූ පිරිස අතරට ඇලිස් ද අයත් වූවාය.
එහෙත් දස වසරකින් පමණ පසු ඇයගේ විවාහය කෙළවර වූ
අතර එයින් පසු ඇය සිනමාවට දායක වූයේ චිත්‍රපට නිෂ්පාදන කළමනාකරණයෙනි. යළි මව්බිම
බලා පැමිණි ඇලිස් එයින් පසු අලුත් පරම්පරාවකට සිනමාව ඉගැන්වීමේ යෙදිණ.
ඇය සිනමාව
පිළිබඳ කළ මෙහෙය කෙතරම් ද යත් ප්‍රංශ රජය මගින් එරට පුරවැසියකුට පුදන ඉහළ ම සම්මානය
වූ ලෙජන් ඩි ඔනර් සම්මානයෙන් ද පුදනු ලැබුවා ය. කෙසේ වෙතත් 1964 මාර්තු 24 වැනි දින
ඇය මිය ගියේ ඒ වනවිට අමෙරිකාවේ ජීවත ්වූ දියණිය සමීපයෙ ය.
ඇලිස් ගයිගෙන් පසු ලොව තවතවත් සිනමාවේදිනියන් බිහිවිය. මේ සිනමාවේදිනියන් යනු
කාන්තාව පිළිබඳ දුක් ගැහැට පමණක් විග්‍රහ කරන්නියෝ නොවෙති. එමෙන්ම කාන්තාව සතු
සිනමාව වඩා උරගා බැලිය හැකි නිර්මාණ ශක්තිය වනුයේ සිනමාකරණය පමණක් නොවේ.
කැමරාකරණය
මෙන්ම අති දැවැන්ත චිත්‍රපට නිෂ්පාදනයේ දි ද ඔවුහු පෙරමුණ ගෙන සිටිති. සිනමා
සංස්කරණයේදී වඩාත්ම සාර්ථක වනුයේ කාන්තාවන් යැයි එක්තරා කාලයක පතළ මතයක් විය. එයට
හේතු වන්නට ඇත්තේ එය අසුනකට බර දී කල්පනාකාරිව කළ යුතු කාර්යක් නිසා විය යුතුය.
එහෙත් හම් කටයුත්තේ දී ගැහැනිය සතු ඉවසීමේ ගුණයට නම් වැඩි තැනක් ලැබෙන බව ඇත්තකි.
ලොවපුරා වනිතාවන් සිනමාකරණයේ නියැලි සංඛ්‍යාව මිනිය නොහැකි තරම් ය. ඔවුන් හමුවේ
පවතින ගැටලු සමහර එකිනෙකට වෙනස් වන අතර තවත් ඒවා සමාන වෙයි. අද පවා අමෙරිකානු කළු
ජාතික සිනමාකාරියන්ගේ ගැටලු කියැවීමේදී ආසියාතික සිනමාකාරියන් සතු නිදහස පුදුම සහගත
එකකි.
එහි අදහස ආසියාතික සිනමාකාරියන් හමුවේ ඇති ගැටලු ලුහු කිරීමක් ලෙස නොසැලකිය
යුතු ය. ඉන් කියැවෙනුයේ සිනමාව පිළිබඳ බොහෝ කතිකාවන් හි ආසියාතික ගැහැනිය ඉදිරියෙන්
ඇති බව ය. විශේෂයෙන් ඉරානය වැනි රටක සිනමාකාරියන්ගේ නිර්මාණ අද ආසියාවේ සිනමාව
පිළිබඳ ප්‍රධාන සාධකයක්ව පවතී. එහෙත් මෙරට පවා අපේ සිනමාකරණයේ කාන්තා දායකත්වය
තවමත් වැඩි පුරම ඇත්තේ තාරකා ගොන්න මත පමණී.
සිනමාව නම් විෂය ක්ෂේත්‍රය පුරා පැතිර යන්නේ පුරුෂාධිපත්‍ය බව කෙනෙකු ඍජුවම චෝදනා
කරති. එහෙත් සිනමාකරණයේ නියැලෙන කාන්තාවන් එය ඔවුන් අත සුගම කලාවක් බිහිි කරන බව
නොරහසකි. වර්තමානයේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළත සිනමාව හදාරන ශිෂ්‍ය -
ශිෂ්‍යාවෝ එමට ය.
සිනමාවේ අනාගතය පිළිබඳ ඔවුන් තීරණාත්මක සාධකයක් වනු ඇතැයි මෙතෙක්
ඔවුන් තැනූ ඇතැම් කෙටි චිත්‍රපටයක් දැකගත් පසු මට සිතිණ. ඉඳහිට කෙටි චිත්‍රපට
නිර්මාණයේ යෙදෙන ඇතැම් තරුණියන් ද තම නිර්මාණ ප්‍රතිභාව දීග තල ගිය පසු කුස්සියේ
සිර කරනු දැකිය හැකිය. බොහෝ දෙනාගේ අභිලාෂය සිනමාවට පිවිසෙන තරකා සිහින සැබෑ කර
ගැනීම විනා පමණී. ඇලිස් ගයි පරම්පරාවේ මෙරට ඉදිරි අනාගතය ගැන අපේ සිනමාකාරියන්ගේ
අදහස් වඩා වටිනා බැවි මගේ විශ්වාසයයි.
|