සෑම කලා උළෙලකම හිරු එළිය පතුරන රවී

අර්නස්ට් වඩුගේ රස ආවර්ජනයක

චිත්‍රපටයක මුහුරත් උළෙල . . .

මුහුරත් උළෙල යනු ළමයකු ඉපදී කරන රන්කිරි කට ගෑමේ උත්සවයක් වැනි චාරිත්‍රානූකූල වැදගත් කටයුත්තකි.

චිත්‍රපටයක මංගල දර්ශනය . . .

චිත්‍රපටයක මංගල දර්ශනය යනු එම රන්කිරි කට ගාන ලද දරු පැටියා, ලොකු මහත් වී සිදු කරන විවාහ මංගල උළෙල වැනි අතිශය වැදගත් කටයුත්තකි.

චිත්‍රපට සම්මාන උළෙල. . .

සම්මාන උළෙල යනු එම දරුවාට උදාවෙන ජීවිතයේ කිසියම් අභිමානනීය අවස්ථාවකි.

තවද උපන් දින උළෙල . . .

අවමංගල උළෙල . . .

යම් යම් පොත කලා කෘති එළි දක්වන උළෙල . . .

වෙනයම් පැවැත්වෙන යම් යම් විවිධ උත්සව – එකතුවීම් - හමුවීම් වැනි අවස්ථා . . .

මෙකි නොකී සෑම විවිධ තරාතිරමේ උත්සවයකදීම දැකිය හැකි අපූරු ‘ඉන්විසිබල් මෑන් (INVISIBLE MAN) කෙනෙක් අපේ සිනමවේ සිටියි. ඕනෑම තරාතිරමේ සිනමා උළෙලක හෝ එවන් සමාන අවස්ථාවකදී ම නිරන්තරයෙන්ම හමුවෙන එකම නළුවා ඔහුය.

මේ ‘ඉන්විසිබල් මෑන්’ අප හඳුන්වන්නේ රවීන්ද්‍ර රන්දෙණිය යනුවෙනි. වඩාත් යථාර්ථවාදීව පැවසුවහොත් අපේ සම්මානනීය අග්‍රගණ්‍ය සිනමා නළුවකු වන රවීන්ද්‍ර රන්දෙණියයි.

ඇත්ත වශයෙන්ම රවීගේ මෙම ලෙන්ගතු උදාර ප්‍රතිපත්තිය අප නිරතුරුවම අගය කළ යුතුය. ඔහුට චිත්‍රපටය සම්භාව්‍ය ද නැත්හොත් වානිජ ද කියා වෙනසක් නැත. ශිල්පියා ශිල්පිනිය ප්‍රවීණ ද උසස් ද නැතහොත් නවක ද සාමාන්‍ය ද කියා ඔහුට වෙනසක් නැත. උත්සවය නෙළුම් පොකුණේ ද, නැතහොත් බණ්ඩාරනායක සමරු රඟහලේ ද, ටවර්, එල්ෆින්ස්ටන්, ජෝන් ද සිල්වා ද නැතහොත් ගෙදරක හෝ අතුපැළක ද කියා ඔහුට මෙහි භේදයක් නැත.

මේ හැම තැනටම නිරතුරුවම පායන ‘හිරු’ රවීය. ඔහුගේ නමෙහි අර්ථාන්විතව මෙම ඕනෑම තැනකද ඔහුගේ සහභාගිත්වය ‘හිරු’ පෑයූවාක් මෙන් එතන බැබලෙන්නේය.

වෙනත් බොහොමයක් නළු නිළියන් ඇතුළු ශිල්පීන් ශිල්පිනියන් මෙන්ම රවීන්ද්‍ර රන්දෙණිය ද මා හඳුනා ගත්තේ මුල්ම ආරම්භක අවදියේය. ඔහු ප්‍රධාන චරිතයක් රඟපෑ සිංහල නිපැයුම වූයේ ‘තරංගා’ චිත්‍රපටයය. ‘තරංගා’ තිරගත වීමට පෙරතුව සිටම මම ඔහුව පෞද්ගලිකවම හඳුනන්නෙමි.

‘තරංගා’ චිත්‍රපටයේ රවී සමඟ ඔහුගේ පෙම්වතිය ලෙස රඟපෑවේ අද දක්ෂ නිළියක වන මානෙල් වානගුරුය. තවද එම චිත්‍රපටයෙන් නවක සුරූපී තාරකාවක් ද සිංහල සිනමාවට පෑයුවාය. නමින් ප්‍රීති සෙනෙවිරත්න නම් වූ ඇය සැබැවින්ම උඩරට ගැමි යුවතියකගේ ස්වරූපයෙන් යුතු අතිශය සීදේවී පෙනුමකින් හෙබි තරුණියක වූවාය.

මෙම සීදේවි නවක නිළිය කෙරෙහි ‘තරංගා’ සමඟම රටේ අවධානය ද යොමු විය. රසික රසිකාවන් මෙම සීදේවි කෙල්ලට ආදරය කරන අතර, ඇය ගැන අපෙන් තොරතුරු විමසන්නට ද වූහ.

එහෙත් අපෙන් තොරතුරු නොවිමසා පසුව ඇය ගැන රහසක් අපිට කියා පෑවේ රවීය. රසික රසිකාවන් මෙන් නොව ඔහු ඇත්තටම මෙම සීදේවි කෙල්ලට පෙම් කරන බව රවී දිනක් මා සමඟ පැවැසීය.

කිසියම් නළුවෙක් තමා සමඟ රඟපාන නිළියක සමඟ තිරෙන් බැහැරව ප්‍රේම සම්බන්ධතා සිනමාවේ ද විරල නැත. එහෙත් එවන් ‘දේදුනු ප්‍රේමයන්’ වැහි වළාවන් සමඟම මැකී යන්නේය. එනමුත් මෙම හිරුගේ හදවතේ පෑයුවා වූ එම රන් තාරකාවිය කවදාවක් මැකී ගියේ නැත.

ප්‍රීති සෙනෙවිරත්න ‘තරංගා’ අවදියේම ප්‍රීති රන්දෙණිය බවට පත් වූවාය.

රවී – ප්‍රීති පෙම් කතාව සමඟ ඔවුනගේ විවාහ මංගල උළෙල පිළිබඳව සරසවියට ලියන්නට පැවරුණේ මටය. අප තිදෙනා පෞද්ගලිකව මුණ ගැසී එම පෙම් කතාව විවාහ මංගල්‍යයේ සියලු රස තතු මා විචිත්‍ර විශේෂාංගයකට සම්පාදය කළේ වී නමුදු ‘ලොකු ප්‍රශ්නයක් ද’ උද්ගත විය.

රවී – ප්‍රීති පෙම් කතාව මම සරසවියේ මැද පිටු දෙක සඳහා සකස් කළෙමි.

‘අර්නස්ට්, ආර්ටිකල් එකත් සමඟ අපි දෙන්නගේ කවර් පේජ් එකකුත් යනවනේ’

රවීන්ද්‍ර ප්‍රශ්න කළේය. මම නිරුත්තර වීමි’

ඒ වන විට රවීගේ තිරගතව තිබුණේ ‘තරංගා’ පමණි. සාමාන්‍යයෙන් ‘සරසවියේ’ කවරයක් සැරසීමට එකල එම සුදුසුකම ප්‍රමාණවත් වුණේ නැත. ඔහු හෝ ඇය ඊට එහාට ගිය තරුවක් විය යුතුව තිබුණි.

වත්මනෙහි නම් අද එකම එක ඇඩ් එකකට පෙනී සිටි නිළියකගේ කවරයක් පමණක් නොව ප්‍රධාන විශේෂාංග ද ඇය ගැන පළ කරන පුවත්පත් ද අප අතර නැතුවා නොවේ. ගීතමය ‘විෂුවල්’ එකක හෝ ටෙලි නාට්‍යයක පොඩි චරිතයක් සඳහා හෝ පෙනී සිටි අයගේ හෝ පවා පූර්ණ පිටුවක් පළ කරන ජාතික පුවත්පත්ද අප අතර නැතුවා නොවේ. එහෙත් ‘සරසවිය’ නළු නිළි ප්‍රචාරයේ වැදගත්කම එදත් අදත් කවදත් සුරක්ෂිතව සුරකින බව මෙහි ඉඳුරාම පැවසිය යුතුය.

රවී – ප්‍රීති යුවළගේ කතාව සමඟ කවරයක් පළ කිරීමට අවකාශ නොලැබෙන තත්ත්වයක් උද්ගත විය. රවීට විශේෂයෙන් සැලකුව ද ප්‍රතිපත්තියක් වශයෙන් ‘කවරයකට’ ඒ වන විට ඔහු නුසුදුසු බවක් කියැවුණිි.

‘එහෙනම් අපේ කතාව පළ කරන්නත් අවශ්‍ය නැහැ’

රවී තද ස්ථාවරයක පසු විය.

රවීන්ද්‍ර රන්දෙණියගේ තිරගතව තිබුණේ එකම එක චිත්‍රපටයක් වුවද ඔහුට එය තිරගතවීමට ද පෙරාතුව තව චිත්‍රපට කීපයකම ප්‍රධාන චරිත රඟපෑම සඳහා ආරාධනා ලැබී තිබුණි.

අවසානයේ රවී – ප්‍රිති පෙම් යුවළගේ අති සුන්දර ඡායාරූපයකින් සහ පෙම් කතාවෙන් ‘සරසවිය’ කලාපයක් ආලෝකමත් විය. ඡායාරූප ගන්නා ලද්දේ එවකට අතිශය ජනප්‍රිය ඡායාරූප ශිල්පියකු වූ බන්දු එස්. කොඩිකාරය.

අපේ සිනමාවේ මූලාරම්භයේ සිටම අපේ ඇතැම් සිනමා ශිල්පීන් සහ දේශපාලනය අතර බලවත් සහසැබැඳියාවක් පැවතුණේය. අපේ මුල්ම නළුවා ආචාර්ය එන්. එම්. පෙරේරා පවා එසේමය. සුප්‍රකට දේශපාලනඥයෙකු වූ ආචාර්ය එන්. එම්. පෙරේරා අපේ මුල්ම චිත්‍රපටය වූ ‘රාජකීය වික්‍රමය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේය.

එඩී ජයමාන්න - රුක්මණී දේවි යුවළ ද දේශපාලනඥයන්ගේ සුහද මිතුරු යුවළක් වූහ. එඩී – රුක්මණී රහසිගතව විවාහ වී අනතුරුව කලක් නවාතැන් ගෙන සිටියේ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නිවසේය.

අපේ සිනමා සක්වති ගාමිණී ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයෙන් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වී පසුව නියෝජ්‍ය කථානායක ධූරයෙන් පවා පිදුම් ලැබීය.

විජය කුමාරතුංග මහජන පක්ෂයේ නිර්මාතෘවරයා වූ අතර කීප වතාවක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූවේය.

රවීන්ද්‍ර රන්දෙනිය කලක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වෙයි. අද ඔහු ජනාධිපති මාධ්‍ය උපදේශක වරයෙකි.

ජීවන් කුමාරතුංග හා සනත් ගුණතිලක දෙදෙනාම බස්නාහිර පළාත් සභාවට තරග කළේය. පසු කලෙක සනත්, චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ මාධ්‍ය උපදේශක විය. ජීවන් අද රජයේ තැපැල් ඇමතිවරයා වන්නේය.

රන්ජන් රාමනායක අද එක්සත් ජාතික පක්ෂ පාරලිමේන්තුª මන්ත්‍රිවරයෙකි. මාලිනී ෆොන්සේකා සහ උපේක්ෂා ස්වර්ණමාලි වත්මන රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ යුවළකි. අනර්ලී ආකර්ෂා දකුණු පළාත් සභාවේ මන්ත්‍රිවරියකි.

ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු අසුනකට තරග කළාය. අද ඇය බෙන්තර ඇල්පිටිය ජනප්‍රිය ක්‍රියාශීලී දේශපානඥවරියකි.

වතුරට වඩා රුධිරය ඝණය. එය සැබෑවකි. එහෙත් දේශපාලනය හා කලා ලොවේදී මෙය තරමක් මීට වෙනස් වන්නේය. කලාව දේශපාලනයට වඩා ඝණකමය. බලත්වය.

මගේ මතකය නිවැරැදි නම් එදා චිත්‍රපටයක මංගල දර්ශනයෙන් පසු විචිත්‍රවත් සාදයක් පැවැතියේ වැල්ලවත්තේ ඔමේගා ඉන් සුපිරි හෝටලයේය. චිත්‍රපටය සුනිල් සෝම පීරිස් අධ්‍යක්ෂණය කළ ‘ජය අපටයි’ විය. එය සුනිල් සහ සෝනියා දිසා නිෂ්පාදනයකි.

ඔමේගා ඉන් හෝටලය චමත්කාරජනක තරු පෑයූ ආනන්ද ජනක රාත්‍රියක් විය. එයට ජය අපටයි කට්ටිය මෙන්ම තවත් සුනිල්ලාගේ ආරාධිත ශිල්පීන් ශිල්පිනියක් රැසක් සාදයට සහභාගී වූහ.

ඒ වන වට විජය ජනප්‍රිය නළුවා සම්මානය හිමි කර ගනිමින් දේශපාලන කරළියේ ද ජනප්‍රිය මානව හිතවාදී දේශපාලනඥයා කිරුළ ද පැළද සිටියේය. ඔහු දේශපාලන ක්ෂේත්‍රයේ මහා ආන්දෝලනාත්මක චරිතයක් විය. පාලකයන් පමණක් නොව දැවැන්ත දේශපාලනඥයන් ද විජයගේ අති මහත් ජනතා ප්‍රසාදය දැක මහත්සේ නොසැලුනා නොවේ. ඔහු මතු ජනාධිපති ලෙස තරඟ වදීීවිය යන විශ්වාසයක් ද ජනතාව අතර නොපැවතියා නොවේ. විජය එදා ජය අපටයි උළෙලට සහභාගි වූයේ ද දේශපාලන රැස්වීමකට සහභාගී වී අවසන් කරය.

සාදය අතරතුර මාව දුටු විජය අර ‘මනමාල’ හිනාව පාමින්ම මා අසලට පැමිණියේය. ‘හෙලෝ . . . කොහොමද අපේ අනාගත ජනාධිපතිතුමා’

මම ඔහුව වැළඳ ගනිමින් පැවසූවෙමි. විජය කිසිවක් මුවින් නොපැවසුවේය. අප්‍රමාණව බලාපොරොත්තු පැතුම් කන්දරාවක දීප්තිමත් සේයා ඔහුගේ රටක් වසඟ කරගත් දෑසේ සටහන් වී තිබුණි.

අප කතාබහ කරමින් සිටින අතර රවීන්ද්‍ර රන්දෙනිය පැමිණියේ. විජය ඉමහත් වූ සෙනෙහසින් යුතුව රවීව වැළඳ ගත්තේය.

‘මේ අපේ අනාගත ජනාධිපතිතුමා. එහෙම නේද රවී’

මම රවීන්ද්‍රගෙන් ඇසුවෙමි. රවී අව්‍යාජ වූ සිනහවක් විජය වෙත හෙලීය. විජය ද තම පාසල් මිතුරා වෙත එවන්ම වූ ලෙන්ගතු සිනහවක් පෑවේය.

‘මොනව කියනවද අර්නස්ට්, අපි කාගේත් බලාපොරොත්තුව විජය දේශපාලන ක්ෂේත්‍රයේ රජ වෙනවා දැකීමනේ’

රවී අර මහා පෞරුෂයෙන් යුත් හඬින් සිනාසී හැඟීම්බරව පැවසීය.

රවීන්ද්‍ර රන්දෙණිය යනු එවකට එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත ක්‍රියාකාරකයෙකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව පවා සිටියේය.

එහෙත් විජය ඊට සහමුලින්ම වෙනස් ප්‍රතිවිරුද්ධ පාක්ෂික නායකයෙකි. එක්සත් ජාතික පක්ෂ රජය ජීවත් වෙද්දී විජය අත් අඩංගුවට ගත්තේය. විජයට හිරබත් කෑමට පවා සිදු විය.

අපේ දේශපාලනය වෙනස්. ඒත් අපේම ක්ෂේත්‍රයේ අපේ මිත්‍රයා රජ වෙනවා නම් මොන තරම් අපටත් ගෞරවයක් ද, රවින්ද්‍ර පැවසීය. සැබැවින්ම එය දෑස කඳුළින් තෙත් වන මිනිසත්කම උතුරා යන මොහොතක් මෙන්ම එවන් වූ උදාර ප්‍රකාශයක් විය.

කලාව දේශපාලනයට වඩා බලවත්ය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු