ත්‍රිමාණ සිනමාව සමතික්‍රමණය කළ නිහඬ සළ රුව

මෙවර ඔස්කාර් උළෙලේ හොඳම චිත්‍රපටය

ජෝ ර්ජ් වැලන්ටීන් වේදිකාව මතට ආවේ ප්‍රේක්ෂකාගාරයේ අත්පොලසන් හඬ මහා වර්ෂාවක් මෙන් නැඟී ආ මොහොතකය. බැල්කනිය සිසාරා දිය රැල්ලක්ව ගලා එන අත්පොලසන් හඬ තුනී වී යන පෙනුමක් නම් නැත. වේදිකාවේ නොපෙනෙන තිරය පසුපස වැලන්ටීන්ගේ සිනමා පෙම්වතිය නොඉවසිල්ලෙනි.

ඒ ප්‍රේක්ෂකාගාරයේ අත්පොලසන් ශබ්දයේ ගිලී යාමටය. වැලන්ටීන් සිනාමුසු මුහුණින් වේදිකාවේ වමටත්, දකුණටත් ඇවිදිනු පෙනෙයි. නිළිය නොඉවසිලිමත්ය. තම කෙටි, බොකුටු කොණ්ඩය ඇඟිලි තුඩුවලින් සකසමින් ඕ බලා හිඳී.

මෙන්න මේ මොහොතේ වේදිකාවේ වම් පසින් මතු වූ ආලෝක කදම්බයක් සමඟ කුඩා බලු පැටවෙකු සාඩම්බර ලීලාවෙන් ඇවිද යනු පෙනෙයි. ජෝර්ජ් වැලන්ටීන් පළල් සිනාවක් පාමින් තම සුරතලාව පිළිගත්තෙන් නිළියකගේ ඇසක් රතුව කෝපයක් නැග එන්නට විය. ප්‍රේක්ෂකාගාර් යළිත් අත්පොලන් වරුසාවකින් නළු බලු පැටවාත් ස්වාමියාත් නහවන්නට විය. වැලන්ටීන් ජේම්ස් බොන්ඩ් මෙන් අතැඟිල්ලෙන් තුවක්කුවක් සාදා තම කීකරු බලු පැටවාට වෙඩි තැබීය.

‘ඩෝං’

නැත. එහි ශබ්දයක් නැත. මේ නිහඬ සිනමාපටයකි. නමුත් බලු පැටවා මැරී වැටුණෙන් වෙඩි හඬ ඇසී නෑසී ගියාක් මෙන් විය.

84 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සිනමාපටයට හිමි සාඩම්බර මුද්‍රාව තම නම ඉදිරිපිටින් තබා ගත් ‘ද ආර්ටිස්ට්’ අවු.83 ක අතීතය පසුපසට හැර වීය. පළමු ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය ලෙස තේරී පත් වූ ‘ද වින්ග්ස්’ පිළිබඳ මතකය හිස ඔසවන්නේ නොදැනීමය.

තෝමස් ලෑන්ග්මන් ‘ද ආර්ටිස්ට්’ හි නිෂ්පාදකය. මිෂෙල් හැෂනවිෂස් එහි අධ්‍යක්ෂකය. ලුඩෝවික් බර්ස් එහි සංගීතය ලියූ පුද්ගලයාය. 84 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සිනමාපටය ඇතුළු සම්මාන පහක් දිනා ගත් ‘ද ආර්ටිස්ට්’ තරඟ කළේ සාර්ථක සිනමාපට සමූහයක් සමඟය. ඒ අතර මුල් පේලියේ සිට හිනැහෙන වෝ හෝස්, හියුගෝ, මනි බෝල්, ඩිසෙන්ඩන්ට්ස්, ද හෙල්ප්, ට්‍රී ඔෆ් ලයිෆ්, එක්ස්ට්‍රීම්ලි ලවුඩ් ඇන්ඩ් ඉන්ක්‍රෙඩිබිලි ක්ලෝස් කෙතරම් තරඟකාරීව හැසිරුනේ ද කියා පුන පුනා කිව යුතු නොවේ.

නමුත් ‘ද ආර්ටිස්ට්’ ඒ සියල්ල පරදා සම්මානය ළඟ සිටගෙන සිටියේය. වර්ෂ 1927 හොලිවුඩ් සිනමාවේ කතාන්දරයක් කියන මේ සිනමාපටය නිර්භීත නිමැවුමකි. සිනමා යුගය ත්‍රිමාන මාදිලියට හැරී තිබෙන යුගයක, තාක්ෂණය, නළු, නළියන්ගේ රඟපෑමට බලපෑම් කරන ඩිජිටල් යුගයක නිහඬ කළු සුදු චිත්‍රපටයක් සෑදීම සිය දිවි නසා ගන්නා මාදිලියේ උත්සාහයකි.

එහෙත් අවසානයේ දිවි නසා ගැනීමේ උපක්‍රමය වැරැදී ඔස්කාර් සම්මානය වෙත ‘ද ආර්ටිස්ට්’ සපැමිණි හෙයින් එහි ප්‍රධාන චරිතයට පණ පෙවූ ජීන් ඩුජාඩීන් හොඳම නළුවාට හිමි සම්මානය හිමි කර ගති. හොඳම සිනමාපටය, අධ්‍යක්ෂණය, හොඳම ඇඳුම් නිර්මාණය සහ හොඳම සංගීතය යන සම්මාන 5 ක් ද දිනා ගති.

2012 ජනවාරි මස 20 වැනිදා නිකුත්වුණු ‘ද ආර්ටිස්ට්’ අමෙරිකානු ඩොලර් 15,000,000 ක ඇස්තමේන්තුවක් අනුව තැනූවකි. සිනමාපටය නිකුත් කර මුල් සතිය ඇතුළත බෙල්ජියමෙන් එය උපයා ගත් ආදායම යුරෝ 60,286 කි.

මෙහි ජෝර්ජ් වැලන්ටීන්ගේ චරිතයට පණ පොවන ජීන් ජුඩාජින් ප්‍රකට ප්‍රංශ නළුවෙකි, අධ්‍යක්ෂවරයෙකි. ආර්ටිස්ට් සිනමාපටයේ රඟපෑමත් සමඟම ලෝකයේ අවධානය එක වර තමාට ලබා ගත් ජීන් තම චරිතය වෙනුවෙන් ගෝල්ඩන් ගලෝබ් සම්මාන උළෙලේ හොඳම නළුවා වෙනුවෙන් සහ BAFTA සම්මාන උළෙලේ හොඳම නළුවා විය. කාන් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ ද ජීන්මය. ඒ ආර්ටිස්ට් සිනමාපටයේ රඟපෑම වෙනුවෙනි. ඔස්කාර් සම්මානයක් දිනා ගත් පළමු ප්‍රංශ නළුවා වීමේ භාග්‍ය දිනා ගත්තේ ජීන් ඩුජාඩීන්ය.

පෙපි මිලර් සුලලිත ගමනින් ජෝර්ජ් වැලන්ටීන් පසු කර යනු පෙනෙයි. නිහඬ සිනමාව හඬක් සොයා යන අතර පෙපි මිලර් ඒ මැදට පැන සිනාසුණි. දැන් සියලු ඇස් හොඳීන් නැටුම් දන්නා පෙපි මිලර් වෙතය. ඕ සිනාසෙන විට වැලන්ටීන් හඬන්නට නියමිතය. එක් යුගයකින් තරුවක් බැස යන විට ඊට වඩා දීප්තියක් ප්‍රාර්ථනා කරන නිළියක හෝ නළුවෙකු ප්‍රාදුර්භූත වනු නියතය. මේ ඒ අරුම ප්‍රාදුර්භූත වීමයි.

මිෂෙල් හැෂනවිෂස් අධ්‍යක්ෂණය කළ ‘ද ආර්ටිස්ට්’ හි නිෂ්පාදනය තෝමස් ලෑන්ග්මන්ගෙනි. ලුඩෝවික් බර්ස් ලියූ සංගීතය ‘ද ආර්ටිස්ට්’ වෙත එල්ල කළ ආලෝකයේ තරම දිනාගත් සම්මානවලින් මැන ගත හැකිය.

බර්නීස් බේර්ජෝ පෙපි මිලර් ලෙස කළ රඟපෑම ද වර්ණනා කළ යුතුය. මේ දශකයේ නිහඬ චිත්‍රපට ගැන සුවිශාල බලපෑමක් ඇති කළ හැකියි යන්න පිළිගැනීමට මැළි වූ ඩිජිටල් පුරවැසියන්ට බලෙන්ම හෝ ඒ ගැන සිතන්නට හුරු කළ ‘ද ආර්ටිස්ට්’ තවත් යුග කිහිපයක් මතකයේ රැඳෙනු නියතය.

ඉතින් ත්‍රිමාණ සිනමාකරුවනි, දඩයම්කාර යුගය පසු කර ගියෙන් අනාගතය අතීතයේ දිය සළකුණක් කොට තබා ගැනීම සුදුසු නොවේද?

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු