මුද්දර පුදලද අපේ සිනමාකරුවෝ

සිනමාවට වසර 65 ක් පිරීම නිමිත්තෙන් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා, නිළි රැජින මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටයිටස් තොටවත්ත, සන්ධ්‍යා කුමාරි පසුගියදා මුද්දර මඟින් උපහාර ලදහ.

එහෙත් අපේ කලාකරුවන් කී දෙනෙක් මෙයට පෙර මුද්දර මඟින් පුද ලැබුවාද?

සිනමාවේ පනස් වසර සැමරීම සඳහා ද මුද්දර 4 ක් මෙයට පෙර නිකුත් කරන ලදී. ඒ සම්භාව්‍ය සිනමා නිර්මාණයන් 4 ක් මුල් කර ගනිමිනි. ඒ මුද්දර නිකුත් වූ දවස 1999 සැප්තැම්බර් 17 ය. එවායේ වටිනාකම,

කඩවුණු පොරොන්දුව

රුපියල් 17.00

ගම්පෙරළිය

රුපියල් 10.00

නිධානය

රුපියල් 4.00

හඳයා

රුපියල් 3.50

මේ හැරෙන්නට අපේ සිනමාවට සම්බන්ධ වූ තවත් කිහිප දෙනෙකු වෙනුවෙන් ද මුද්දර නිකුත් විණ.

මාර්ටින් වික්‍රමසිංහ

නිකුත් වූ දිනය – 1986 මැයි 22

ශත 75

හෙළයේ මහා ගත්කරු වූ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සුරතින් ලියැවුණු ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය, විරාගය හා මඩොල් දූව සිනමාවට නැඟිණි.

ආනන්ද සමරකෝන්

නිකුත් වූ දිනය – 1989 මැයි 22

ශත 75

ජාතික ගීයේ නිර්මාතෘ වූ ආනන්ද සමරකෝන් ශූරීන් 1953 සුජාතා චිත්‍රපටයෙන් පසුබිම් ගීත රචනයට පියවර තැබීය. මීට අමතරව සැඩ සුළං, දුප්පතාගේ දුක, දොස්තර, සූරසේන, වෙන ස්වර්ගයක් කුමට ද ආදී චිත්‍රපට සඳහා ඔහු ගීත නිර්මාණය කළේය.

රුක්මණී දේවි

නිකුත් කළ දිනය – 1990 ඔක්තෝබර් 28

රුපියල් 1.00

දේශීය කතානාද සිනමාවේ පුරෝගාමී නිළිය වූ රුක්මණී දේවිය වෙනුවෙන් මුද්දරයක් නිකුත් වූයේ 1990 ඔක්තෝබර් 28 වැනිදාය. ඒ ඇයගේ අභාවයෙන් වසර 12 ක් පිරුණු දවසේය.

ඩබ්ලිව්. ඒ. සිල්වා

නිකුත් කළ දිනය – 1991 මැයි 22

රුපියල් 1.00

ඩබ්ලිව්. ඒ. සිල්වා ශූරීන්ගේ සිනමාවට නැඟුණු මුල් නවකතාව කැලෑ හඳයි. හිඟන කොල්ලා, දෛවයෝගය, හඳපාන, සිිරියලතා, රදළ පිළිරුව ආදී කෘති රැසක්ම සිනමාවට නැඟිණි.

විජය කුමාරතුංග

නිකුත් කළ දිනය – 1992 ඔක්තෝබර් 09

රුපියල් 1.00

විජය කුමාරතුංගයන්ගේ සමරු මුද්දරය නිකුත් වූයේ ඔහුගේ උපන් දිනය දාය. ඒ වන විට ඔහු මිය ගොස් සිව් වසරක් ගත වී තිබිණි.

ටී. බී. ඉලංගරත්න

නිකුත් කළ දිනය – 1995 ජූලි 07

රුපියල් 2.00

කෘතහස්ත ලේඛකයකු මෙන්ම කීර්තිමත් දේ්ශපාලනඥයකු වූ ටී. බී. ඉලංගරත්න සූරීන් මෙරට සිනමා ඉතිහාසයේ සුවිශේෂී පුද්ගලයෙකු වනුයේ ඔහු එවකට පැවැති නාටකීය දෙබස් පළමුවරට වෙනස් කොට සජීවී දෙබස් රචනා කළ හෙයිනි. ඒ වරද කාගේද චිත්‍රපටයෙනි. රදළ පිළිරුව චිත්‍රපටයේ දෙබස් රචනා කළ එතුමන් එම චිත්‍රපටයට රංගනයෙන් ද දායක විය. එතුමන් අතින් ලියවුණු කෘති අතරින් ළසඳා, නෑදෑයෝ, මංගලා, තිලක හා තිලකා, කැලෑ මල්, සසර, නයනා ආදිය සිනමාවට නැඟිණ. අඹ යහළුවෝ ටෙලි වෘතාන්තයට පාදක වූයේ ද එතුමාගේ කෘතියකි.

මහගමසේකර

නිකුත් කළ දිනය – 1997 අප්‍රේල් 04

රුපියල් 2.00

තුංමං හන්දිය චිත්‍රපටය නිර්මාණය කිරීමෙන් පමණක් විශිෂ්ට සිනමාකරුවකු වූ සේකරයන් චිත්‍රපට ගීත රචකයකු ද විය. නවකතාකරුවකු, චිත්‍ර ශිල්පියකු, කවියකු වූ සේකර යනු මෙරට සිටි අග්‍රගණ්‍ය කලාකරුවෙකි.

සුනිල් ශාන්ත

රුපියල් 3.50

රේඛාව චිත්‍රපටයේ ගී තනු නිර්මාණය කිරීමෙන් සිනමාවට එක්වන සුනිල් ශාන්ත සුභාවිත ගීතය ජනප්‍රිය කරවීමෙහිලා මහත් මෙහෙයක් කළේය. ඔහුගේ සමරු මුද්දරය නිකුත් වූයේ 1999 දෙසැම්බර් 03 දාය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්

නිකුත් කළ දිනය – 2002 අප්‍රේල් 05

රුපියල් 3.50

අපේ සිනමාවේ මුල් වරට මුද්දරයකින් පිදුම් ලද ජීවමාන සිනමාකරු වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය.

මෙම මුද්දරය නිකුත් වූයේ එතුමනට අවුරුදු 83 සපිරි දිනයේදීය.

මෙම මුද්දරය නිකුත් කිරීමේ උළෙල සංවිධානය වූයේ සරසවිය පුවත්පත හා එවකට එහි කතුවර අනුර බණ්ඩාර රාජගුරුගේ මහත් උත්සාහයෙනි.

ඩබ්ලිව්. ඩී. අමරදේව

නිකුත් කළ දිනය – 2003 දෙසැම්බර් 05

රුපියල් 4.50

සරසවිය සම්මාන උළෙලේ මුල් වරට හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගත්තේ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ය. ඔහු මෙරට චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයේ ද, ගායනයේ ද යුග පුරුෂයකු වූයේය. අමරදේවයන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිති කොට මෙම මුද්දරය නිකුත් විණි.

මාපලගම විපුලසාර හිමි

නිකුත් කළ දිනය – 2004 පෙබරවාරි 28

රුපියල් 3.50

විශිෂ්ට කලාකරුවකු වූ මාපලගම විපුලසාර හිමියෝ දෛවයෝගය චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය සඳහා උපදේශකවරයා ලෙස කටයුතු කළේය.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

නිකුත් කළ දිනය

2004 ඔක්තෝබර් 06

රුපියල් 4.00

සරසවිය පුවත්පතේ තේමා ගීතය වූ සරසවිය අභිනන්දන ගීතය ඇතුළු මෙරට ගීත ඉතිහාසයේ විශිෂ්ටතම රචකයකු වූ මානවසිංහයන් මුල්ම සරසවිය සම්මාන උළෙලේ හොඳම ගීත රචකයා ලෙස සම්මාන දිනා ගත්තේය.

විශිෂ්ට ලේඛකයකු, පුවත්පත් කලාවේදියකු වූ මානවසිංහයන් අතින් රචනා වූ චිත්‍රපට ගී අතර රන්මුතුªදූව, සිකුරු තරුව, සීතල වතුර ආදිය කැපී පෙනේ. ගෞතම බුද්ධ වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපත රචනා කරන ලද්දේ ද මානවසිංහය.

මර්සලින් ජයකොඩි පියතුමා

නිකුත් කළ දිනය 2005 ජූනි 03

රුපියල් 20.00

චිත්‍රපට ගීත රචනාවේ වෙනසක් කරමින් රේඛාව චිත්‍රපටයේ ගීත රචනා කෙරුණේ මර්සලින් ජයකොඩි පියතුමා අතිනි.

විශේෂ ස්තූතිය:

ශ්‍රී ලංකා නිදහස් මුද්දර ලෝලීන්ගේ සංගමයේ සභාපති මෙන්ම මුද්දර කාර්යාංශයේ උපදේශක සහ අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ජනක මල්ලමාරච්චි, ශ්‍රී ලංකා නිදහස් මුද්දර ලෝලීන්ගේ සංගමයේ ලේකම් ගාමිණී සිල්වා යන මහත්වරුන්ට

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු