එක්ටැම්ගේ දර්ශනතලයට ගිය ගමනක්

පුංචි තිරයේ

උන්මාද සිතුවම් මැවේ බිඳේ

ම ධ්‍යහන හිරුට සැඟවෙන්නට අහසේ එක වළාකුලක් හෝ නොමැත. එහෙයින් අකීකරු හිරු කිරණ කිසිදු බලපෑමකින් තොරව මිහිකත සිප ගන්නේ අපගේ ඉහ මොළ ද රත් කරමිනි. මම අප යනුවෙන් හැඳින්නුවේ මමත් සරසවියේ නියෝජ්‍ය කර්තෘවරයකු වූ තිස්ස ධම්මිකත්ය.

අප දෙදෙනා සිටියේ පුවත්පතෙහි කාර්යයකට ගොස් අපසු එන අතරතුර පිළියන්දල නගරයේ ඇතුළට වන්නට පිහිටා තිබූ ග්‍රාමීය ප්‍රදේශයකය.

අපි මුකුත් කාල යමුද?

‘බත් කඩය’ යන වචනය සටහන් වූ තැනක් වූයෙන් ඒ් යෝජනාව තිස්ස අයියාගෙනි.

එතැන ආහාර වළඳනු පිණිස තවත් එක් අයකු පමණක් සිටියේය. ඔහු ලංකාවේ ජනප්‍රියම රංගන ශිල්පියකු මෙන්ම නිවේදකයකු ද වන අමිල අබේසේකරයි. අමිල සමඟ සුහදශීලීව සිනහා වූ අප අසල අසුනක් ඇද වාඩි වුණෙමු.

පුදුමයකි . . .

අමිලට ආහාර බෙදන්නට පැමිණියේ පියුමි ශානිකායි. ඇය අමිලට ආහාර පමණට ලබා දී මුලුතැන්ගෙය බලා පිටත් විය.

ස්වල්ප වේලාවක් ගතවීමට මත්තෙන් දූවිලි අවුස්සමින් ඉතාම පැරැණි තාලයේ ලොරි කබලක් කඩය ඉදිරියේ නතර කෙරිණි. රියදුරු අසුනේ සිට රොජර් සෙනෙවිරත්න බැස ආවේය. ඔහු අනුකරණය කරමින් සහායක අජිත් ලොකුගේ ද ඔහු පසුපසින් පැමිණියේය. මෙතැන වෙන දේ අපට සිතා ගත නොහැකිය. තවත් කිහිප දෙනෙකු ද මෙතැනට ආවේය. ඔවුන්ගේ පිහිටෙන් අපි මේ නූල් බෝලය ලිහා ගත්තෙමු.

අමිල වෙනුවට එදා සිටියේ රවීන්ද්‍ර රන්දෙණියයි. අප නිළි රැජන මාලිනිය පියුමිගේ තැන ගත්තීය. අද රොජර් රඟන්නේ අග්‍රගණ්‍ය විශිෂ්ට නළු ජෝ අබේවික්‍රමයන් මැවූ චරිතයයි. රවීන්ද්‍ර, මාලිනී, ජෝ ඇතුළු පිරිස එකට එකතු කොට රිදී තිරය වෙනුවෙන් අධ්‍යක්ෂණය කළේ හර්බට් රංජිත් පීරිස්ය. ඒ 1980 වර්ෂයේදීය.

එක්ටැම් ගේ ලෙස එම සිනමාපටය නම් කෙරිණ. ඒ නම වෙනස් නොකොට එම නිර්මාණයම පුංචි තිරයට සැකසෙයි. අප දැන් සිටින්නේ ඒ දර්ශන තලයේය. ඉරේෂ් ලොකු බණ්ඩාර එක්ටැම් ගේ ටෙලි සිතුවමේ අධ්‍යක්ෂවරයාය.

සිංහල සිනමාවෙහි බිහි වූ ලස්සන ආදර කතාවක් වුයේ එක්ටැම් ගේ යි. බත් අමමා කෙනෙකුගේ දියණියක් මැදි වියේ රියදුරෙකු තරුණයෙකුත්වටා ගෙතුණු ත්‍රිකෝණාකාර ප්‍රේමය එකල අතිශය සාර්ථක වූයේය. විශාරද ගුණදාස කපුගේ ගේ උන්මාද සිතුවම ගීතය අයත් වූයේ එම චිත්‍රපටයටයි.

ඉහත නළු නිළි පිරිසට අමතරව භද්‍රා නන්දනී ද දර්ශන තලයට ආවාය. ඇය රඟන්නේ පියුමිගේ මව හැටියටයි. අජිත් ලොකුගේ සමඟ ඇය සිටින සේයාරුවක් ගැනීමට මා සැරසින. ස්ථානය වූයේ මුලුතැන්ගෙයයි. එවිටත් ලිප දල්වා තිබිණ. එහි දුම් රොටු පියඹා ඇවිත් නැවතුණේ අජිත් ගාවය. ඔහු කිහිප සැරයක් අතින් ඒවා එහා මෙහා කොට ඡායාරූපයට පෙනී සිටින්නට උත්සාහ කළ නමුදු ඔහුගේ මුහුණ දුම්වලින් වැසුණු අතර ඉතාම අපහසුවෙන් එක් සේයාරුවක් මම කාචයට හසු කර ගත්තෙමි.

රොජර් අයියාට හොඳ ලොරි කට්ටක් හම්බ වෙලා වගෙයි?

ඒක තමයි. ටිකක් අදිනවා හොරයි. ඒත් නියම පරණ ලොරියක් මේක.

ලොරියත් හරියට පියුමි වගේ නේද?

ඒ තැනට කොනේදෝ පැමිණි බුද්ධික ලොකුකැටියයි.

අර මොකෝ එහෙම කියන්නේ?

පියුමිගේ මුහුණ ඇඹුල් විය.

නෑ ඉතින් පියුමිත් පරණ ලොරි බාගයක් වගෙයි. කොයි වෙලාවෙත් බර බරේ දානවනේ.

Hey, What a Beautiful Bird is it. I,m Hungry. I Want to Eat Some One.

පියුමි හදිසියේම ඉංග්‍රිසියෙන් කියවන්නට පටන් ගත්තීය. ඇයගේ මේ ඉංග්‍රීසි දෙඩවිල්ලේ හේතුව පසුව මම සොයා ගත්තෙමි. ඇය පුංචි කාලයේ ඉංග්‍රීසිලවලට බය තැනැත්තියකි. එහෙයින් ඇය ඉංග්‍රීසි ඉගෙන ගැනීමට පවා බිය වූවාය. දැන් දැන් ඇය ඉංග්‍රීසි බස හැදෑරීමට පංතියකට යයි.

ඉංග්‍රීසි කියෙව්වා ඇති, පියුමියි අමිලයි ඊළඟ සීන් එකට රෙඩි වුණොත් හොඳයි.

ඉරේෂ්ගේ විධානයට ඔවුන් දෙදෙනා ඇතුළු නිෂ්පාදන කණ්ඩායම නතු විය. දැන් ඇත්තේ අමිල කේන්තියෙන් යතුරු පැදියක නැගී බත් කඩයෙන් පිටව යන දර්ශනයකි.

ඇක්ෂන්.

පියුමිත් සමඟ බහින්බස් වීමකින් අනතුරුව අමිල යතුරු පැදියට නැගී එය පණ ගන්වන්නට අවස්ථා කිහිපයක් උත්සාහ කළ මුත් එය අසාර්ථකය.

පෙට්‍රල් ඉවර වෙලා වගෙයි.

අමිල මීටර් කටුව බලා කීවේය.

වෙන්න බැහැනේ.

මං ඊයේ මේක ෆුල් ටෑංක් කළානේ. කවුද බයික් එකේ රවුම් ගැහැව්වේ.

නිෂ්පාදන කළමනාකරු අකලංකගේ හඬට බුද්ධික ලොකුකැටිය හැරෙන්නට අනෙක් සියලුම දෙනා තැති නොගත්තේය.

එක්ටැම් ගේ ටෙලි සිතුවමේ සෙසු

නළු නිළියන්:

නුවංගි ලියනගේ, නිල්මිණි කෝට්ටේගොඩ, කෞශල්යා සමරසිංහ, හැරී විමලසේන.

කැමරාකරණය – ගාමිණී සුසන්ත.

සංස්කරණය – චන්දන ලියනගේ.

නිෂ්පාදන කළමනාකරණය - අකලංක හිරිලියද්ද.

පිටපත - මහේෂ් රත්සර මද්දුමආරච්චි.

සංගීත අධ්‍යක්ෂණය - ශාන්ත ජයලත්.

රේඛීය නිෂ්පාදනය – මංජුල සිල්වා.

අංග රචනය – නාරද ධනංජි තොටගමුව.

සහාය අධ්‍යක්ෂණය - සමීර මාලිංග

නිෂ්පාදනය – සෙනුර හෝල්ඩිංස් වෙනුවෙන් ජයලත් පීරිස්.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු