සියයට එක් පමණක් වැඩගත් නිළිය

දිල්හානි ඒකනායක

සබීතා පෙරේරාගෙන් පසු බිහි වූ චිත්‍රපට නිළියන් අතරින් නිළියෝ තිදෙනෙක් සුවිශේෂ වෙති. ඒ දිල්හානි ඒකනායක, සංගීතා වීරරත්න හා යශෝධා විමලධර්මය. ඒ සුවිශේෂත්වයට හේතුව ඔවුන් දක්ෂ චරිතාංග නිළියන් වීමය.

දිල්හානි සිනමා රංගනයට යොමු වූයේ යසපාලිත නානායක්කාරගේ ‘දේදුන්නෙන් සමනළියක්’ චිත්‍රපටයෙනි. වාණිජ චිත්‍රපට ඔස්සේ සිනමාවතීර්ණ වුවත් ඇය පසු කලෙක දක්ෂ චරිතාංග නිළියක ලෙසට ද ස්ථාපිත වූවාය.

1970 උපන් දිල්හානි මූලික අධ්‍යාපනය ලැබුවේ වැල්ලවත්ත ශාන්ත ක්ලේයාර් විදුහලෙනි.

සිනමාවට පිවිසීමට පෙර දිල්හානි කුසලතා ප්‍රකට කළේ නර්තන ශිල්පිනියක ලෙසිනි. පාසලේදී චන්ද්‍රලතා ප්‍රතාපසිංහ ගුරුවරිය වෙතින් නර්තනය හැදෑරූ ඇය පසුව ‘විශ්ව ගීතය’, ‘සාමා’ වැනි මුද්‍රා නාට්‍යවල රඟපෑවාය. 1987 දී පැවති ‘සරසවිය’ සම්මාන උළෙලේදී චන්න විජේවර්ධන සමඟ එක්ව මුද්‍රා නර්තනයක් (උකුස්සි ලෙස) ඉදිරිපත් කරන ලද්දේ ඇය විසිනි. චිත්‍රපට නිළියක වීමේදී මේ නර්තන හැකියාව ඇයට මහෝපකාරී වූවාට කිසිදු සැකයක් නැත.

තමා රඟපෑ මුල්ම චිත්‍රපටයෙන්ම (දේදුන්නෙන් සමනළියක්) 1991 ‘සරසවිය’ සම්මාන උළෙලේදී හොඳම නවක නිළිය සඳහා වන සම්මානය දිනා ගැනීමට දිල්හානි සමත් වූවාය.

එකල දිල්හානිට වාණිජ ධාරාවේ චිත්‍රපට රැසක රඟපෑමේ අවස්ථාව ලැබිණි. ‘ආසයි බයයි’, ‘මල්සර දෝනි’, ‘චණ්ඩි රැජන’, ‘සුරනිමල’, ‘ප්‍රතිඥා’, ‘මැවිලා පෙනේවි රූපේ හදේ’, ‘සුරවීර චණ්ඩියෝ’, ‘ලව් 94’, ‘එදත් චණ්ඩියා අදත් චණ්ඩියා’, විජේ සහ අජේ’ ඉන් කීපයකි. සබීතාගෙන් පසු බිහි වූ නිළියන් අතරින් සුරූපීම නිළිය වන්නේ ද දිල්හානිය. ඒ රූප සෞන්දර්ය වාණිජ චිත්‍රපටවලට අතිශයින්ම අවශ්‍යය.

එකල දිල්හානි මොන තරම් ජනප්‍රිය වී ද කිවහොත් 1991 දී හොඳම නවක නිළිය වී වසරක් ගත වන්නටත් ප්‍රථම ඇය ජනප්‍රිය නිළි කිරුළ දිනා ගත්තාය. ඒ 1992 සරසවිය සම්මාන උළෙලේදීය.

ඒ අවස්ථාවේ ජනප්‍රිය නළුවා වූයේ ශෂි විජේන්ද්‍රය. මෙහිදී උත්ප්‍රාසයට තුඩු දෙන කරුණ වන්නේ ඊළඟ වසරේදී සරසවිය සම්මාන උළෙලින් ජනප්‍රිය නළුවා - නිළිය, ජනප්‍රිය නවක නළුවා - නිළිය යන සම්මාන හතර අහෝසි කර දැමීමය. ඊට හේතු වූයේ කූපන් ක්‍රමයේ පැවති නොයෙකුත් අක්‍රමිකතාය.

1993 දී මේ අහෝසි කිරිම සිදු වූ අතර එය පුරා දස වසරක් ක්‍රියාත්මකව පැවතිණි. යළි ජනප්‍රිය නළුවා - නිළිය සඳහා වන සම්මාන ප්‍රදානය ඇරඹූයේ 2003 වසරේදීය. එවර රන්ජන් රාමනායක ජනප්‍රිය නළුවා වූ අතර සංගීත වීරරත්න ජනප්‍රිය නිළිය වූවාය.

විකට රැල්ලේ චිත්‍රපටවලදී ද (ඒවා කොමඩි නොව මගෝඩිය) විකටයාගේ පෙම්වතිය ලෙස රඟපෑමේ අවස්ථාව බහුලව ලැබුණේ ද දිල්හානිටය. එවායේ ඇය රඟපෑවා නොව හුදෙක් පෙනී සිටියා පමණි. එහෙත් එබඳු අති සරල චිත්‍රපටයකදී එය වුව ප්‍රමාණවත්ය.

එබඳු නිළියක් සම්භාව්‍ය මට්ටමේ චිත්‍රපට නිර්මාණයෙහිලා ව්‍යාවෘතව සිටින ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, සුදත් මහදිවුල්වැව, ලින්ටන් සේමගේ වැනි තරුණ සිනමාකරුවන්ගේ අවධානය දිනා ගැනීම සුවිශේෂ කරුණකි.

දිල්හානිගේ විශිෂ්ටතම රංගනය අප දුටුවේ අශෝක හඳගමගේ ‘මේ මගේ සඳයි’ චිත්‍රපටයේදීය. එහිදී ඇය වාචිකාභිනයෙන් තොරව හුදෙක් ස්වකීය දේහ භාෂාවෙන් (BODY LANGUAGE) පමණක් හැඟීම් ප්‍රකාශයක යෙදෙමින් කළා වූ රංගනය අතිශයින්ම ප්‍රශස්තතර ය. මෙහි රඟපෑම් සඳහා දිල්හානිට ජාතික කතෝලික සිනමා පර්ෂදයේ (ඕ. සී. අයි. සී) උත්තමාචාර උළෙලේදී ප්‍රතිභාන්විත රංග කුසලතා සම්මානය ලැබිණි. (මෙම සම්මානය ඇයට ලැබුණේ ස්වර්ණා මල්ලවආරච්චි (අන්තිම රාත්‍රිය) හා සම සමව වීම විශේෂත්වයකි).

සුදත් මහදිවුල්වැවගේ ‘සුදු කළු සහ අළු’ චිත්‍රපටයේ ද දිල්හානිගේ චරිතාංග නිරූපණය අග්‍රගණ්‍යය. එහි ඇය රඟපෑවේ ගණිකා වෘත්තියට වැටෙන හමුදා සෙබළෙකුගේ බිරියකගේ චරිතයකි. එම චරිතය ඉතාම යථාර්ථවාදී අයුරින් රඟපෑමට ඇය සමත් වූවාය. 2005 සරසවිය සම්මාන උළෙලේදී දිල්හානි හොඳම නිළිය වූයේ මෙහි චරිතාංග නිරූපණය වෙනුවෙනි.

‘කළු සුදු මල්’, ‘මගේ වම් අත’ (වසන්ති)’ ‘සුළඟ (ක්‍රිශාන්ති), දිල්හානි මාහැඟි ලෙස රඟපෑ තවත් සිනමාපට තුනකි. එයින්’සුළඟ’ චිත්‍රපටයේ රඟපෑම් සඳහා ඇය 2007 ජනාධිපති සම්මාන උළෙලේදී දක්ෂතම නිළිය වූවාය.

අප මෑතදී දිල්හානිගේ ප්‍රාමාණික රංගනයක් දුටුවේ ප්‍රසන්න විතානගේ ගේ ‘ආකාශ කුසුම්’ චිත්‍රපටයේය. එහි ශාලිකා නම් වූ චිත්‍රපට නිළියක ලෙස ඇය එකී චරිතයේ ස්වභාවය මනාව වටහා ගනිමින් ඊට සාධාරණත්වය ඉටු කළාය.

දිල්හානි ටෙලි නාට්‍ය නිළියක ද වන්නීය. ‘මීදුම’, ‘සත්සඳ කිරණ’, අමරපුරය’ ඇය රඟපෑ ටෙලි නාට්‍ය අතර වෙයි. ඇයට ඕනෑම චරිතයක් නිරූපණය කිරීමේ සුවිශද හැකියාව ‘අමරපුරය’ ටෙලි නාට්‍යයෙන් වුව ප්‍රකට වෙයි.

අවසාන විග්‍රහකදී කිව හැක්කේ දිල්හානි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂ චරිතාංග නිළියක බවය. ඇගේ රංගන හැකියාවෙන් මේතාක් ප්‍රයෝජනය ගෙන ඇත්තේ සියයට එකක් පමණි. ඉතිරි සියයට අනූනවයෙන් ප්‍රයෝජන ගැනීමට අපේ සිනමාව උත්සුක වේද නැද්ද යන්න මත ඇය සිංහල සිනමා ඉතිහාසය තුළ පිහිටන තැන තීරණය කරනු ඇත.

දිල්හානි විවාහ වී සිටින්නේ ගායකයකු වන ප්‍රියංකර පෙරේරා සමඟය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු