නුවර පාරේදී රස ආහාර වේලකට මර්සිගේ ගෙදරට එන්න

මර්සි යන අකුරු තුනෙන් ඇයව මුළු රටක් හඳුනනවා. රංගනයෙන්, ගායනයෙන්, හඬ කැවීමෙන් දශක පහකට ආසන්න කාලයක් ඇය අපව පින වූවා. එහෙම වුණත් මේ දවස්වල නම් ඇය වැඩිපුර ගැවසෙන්නේ කලා ක්ෂේත්‍රයේ නොවන වග තමයි දැනගන්නට ලැබුණේ.

එහෙම නේද මර්සි අක්කේ?

කතාව ඇත්ත. මං මේ දිනවල ගොඩක් වෙලාවට ඉන්නේ මුලුතැන්ගෙයක.

ඒ මොකෝ?

වසර දහයක් තිස්සේ දොරගුළුලා තිබුණු මගේ ආපන ශාලාව හෙළ බොජුන් නමින් යළි විවෘත කළා හරියටම මගේ උපන් දිනය දවසේ. එහි කෑම බීම වැඩිපුරම පිළියෙල වන්නේ මගේ අතින්.

ඇයි හෙළ බොජුන් නැවත ගෙන එන්නට හිතුණේ?

හෙළ බොජුන් පිහිටා තිබෙන්නේ නුවර පාරේ අඹේපුස්ස හන්දියේ සිට යාර දෙසීයක් නුවර පැත්තට වෙන්න. මගේ මහ ගෙදරමයි ඊට යොදා ගත්තේ. මං කලක් තිස්සේ නිරීක්ෂණය කළ දෙයක් සහ ක්ෂේත්‍රයේ අය බොහෝ දෙනෙක් පැවසූ දෙයක්, නුවර පාරේ පිරිසුදුවට ආහාර ගැනීමට නිසි තැනක් නොමැති එක. මම ඒ අදහස හිතේ තියාගෙන හිටියත් හෙළ බොජුන් යළි විවෘත කරන්න වුවමනාවක් දැඩිව තිබුණේ නැහැ. මන්දයත් මෙය මුලින්ම පටන් ගත්තේ මගේ මහත්තයා. එයාට හොඳට කෑම උයන්න හැකියි. ඔහුගේ අකල් වියෝව හින්දයි මෙහි වසා දැමීම සිද්ධ වුණේ. ඔහු නොමැතිව ආපන ශාලාව යළි අරඹන්න මගේ තුන් හිතකවත් නොතිබුණු දෙයක්.

ඒත් මනස සංවර්ධන සේවා ආයතනයේ සභාපති ශාන්ත ජයසුන්දර, හිටපු ප්‍රධාන සංවිධායක සම්පත් මායාකඩුව, ලේකම් ශිරාණි මහත්මිය වැනි අය මට වරින් වර මේ පිළිබඳ අදහස මගේ සිතේ ඉස්මතු වෙන්න ක්‍රියා කළා. ඔවුන් මෙය ආරම්භ වන තැනට මගේ මනස හැදුවා. මා පෙර සඳහන් කළ හේතූන් මත මම මෙය සුළුවෙන් හෝ අරඹන්න තීරණය කළා. පුදුමෙ කියන්නේ මෙයට අවශ්‍ය මුදල් මට නිරායාසයෙන්ම ලැබුණු එක.

මොන වගේ ආහාර වර්ගද හෙළ බොජුන් හි තිබෙන්නේ?

මෙය සියයට සියයක්ම දේශීය ආහාර වර්ග තියෙන තැනක්. ඒවා හදන්නෙත් මහ ගෙදර කුස්සියේ. කොස්, දෙල්, පොළොස්, මැල්ල කොළ මැල්ලුම්, කට්ට සම්බෝල, කොච්චි සම්බෝල ඇතුළු ආහාර වර්ග රැසක් මෙහිදී රස බැලීමට පුළුවන්. ඒ වුණත් කවුරුන් හෝ ඇවිත් ෆ‍්‍රයිඩ් රයිස් එකක් ඉල්ලුවොත් ක්ෂණිකව අපි ඒ අවශ්‍යතාවය ඉටු කරලා දෙනවා. මේ ළඟදී දවසක මරු වැඩක් වුණා.

කියන්නකෝ බලන්න?

විදේශිකයන් දෙදෙනෙකු හෙළ බොජුන් එකට ආවා. වෙලාවට මමත් එදා ඉස්සරහටම වෙලා හිටියා.

ඔවුන් ඇහැව්වෙ මොනවද කන්න තියෙන්නෙ කියලා. එදා තිබුණු කරවල, පොල් සම්බෝල ඇතුළු ආහාර වර්ග කිහිපයක්ම පෙන්නුවා. කරවල එහෙම හොඳට මිරිස් දාලා සැරට තෙල් දාලා තිබුණේ. ඔවුන්ට ඒවා බෙදලා දුන්නා. සු . . සු . . කිය කිය ඔවුන් ඒවා කෑවා. අන්තිමේ දෙන්නගෙම මූණවල් රතු වෙලා. ඔවුන් කිව්වා මීට ප්‍රථම මෙච්චර රසට කෑමක් ලංකාවේ වෙන කොහේදිවත් නොකෑව බවට. දෙන්නම පිටව ගියේ නැවත පැමිණීමේ පොරොන්දුව පිට.

මර්සි අක්කා දැන් කලාවේ නියැලෙන්නේ අඩුවෙන් වගෙයි?

මෑතකාලීනව අමන්දා හි පොඩි නෝනාගෙන් පසුව මට කරන්නට යමක් ඇති චරිතයක් ලැබුණේ නැහැ. ඒ වුණත් රංගනයෙන් ඈත් වෙලා නෙවෙයි. අල්ලපු ගෙදර, ස්ත්‍රී සහ වයිරා වැනි වේදිකා නාට්‍යවල ඉන්නවා. ඒ වගේම වෙනදා වගේ හඬ කැවීම් කටයුතුවල යෙදෙනවා. පසුගිය දිනෙක ‘මල වට කර බඹරු රෑන’ නමින් මගේ ජනප්‍රිය ගීත ඇතුළත් සංයුක්ත තැටියක් නිකුත් කළා.

මර්සි දැනට පෞද්ගලික සහකාර නිලධාරිනියක වශයෙන්ද සේවය කරනවා නේද?

ඔව්. ඒ ජ්‍යෙෂ්ඨ ඇමති, හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ.

ඒ කියන්නේ මර්සි එදිරිසිංහ මේ වන විට ඉතාම කාර්යබහුල චරිතයක්?

තරමක. ඒත් මං කිසිදු වැඩක්පළක් අතපසු කර ගන්නේ නැහැ.

මේ සංවාදය අවසන් කරන්නට ඔබේම තවත් අදහසක් තිබුණොත් හොඳයි?

මං හෙල බොජුන් ආයෙ පටන් ගත්තා කියලා දැනගත්තම වැඩිපුරම ආවෙ මගේ රසික රසිකාවන්. ඔවුනට බෙහෙවින් තුති පුදනවා.

ඒ වගේම අර්නස්ට් පෝරුතොට පියතුමා, රත්නසිරි වික්‍රමනායක මැතිතුමා, පත්මා පීරිස් මහත්මිය මේ වෙලාවේ හදපිරි භක්ති ආදරයෙන් මතක් කරනවා.

මට ආදරේ කරන රසික, රසිකාවන් නුවර පාරේ යන අතරතුර හෙළ බොජුන් වෙත පිය නගලා මගෙත් එක්ක කතාබහ කරලා යන්න එන්න කියලා පුංචි ආරාධනාවක් කරන්න කැමැතියි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු